2021 නොවැම්බර් 28 දින පෙරවරුවේ මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් සිය මාධ්‍ය වාර්‍තාකරණයක යෙදී සිටියදී මුලතිව් හිදි අමානුෂික ප්‍රහාරයක ලක්ව තිබේ. මුල්ලිවෛක්කාල නාමපුවරුවෙහි ඡායාරූපයදී ගනිමින් සිටි අවස්ථාවේදී කටුකම්බි ඔතන ලද තල් පිත්තකින් විසින් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුකර තිබේ.  ප්‍රහාරය සිදුකර ඇත්තේ එම ස්ථානයේ රැඳීසිටි හමුදා භට පිරිසක් විසින් බව සිද්ධිය ඇසින් දුටු මාධ්‍යවේදීන් පවසා සිටී. මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරිකවරයා ද වන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතා මේ වන විට බරපතල තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්‍තා වේ.

මුලතිව් මාධ්‍යවේදින් විසින් පහරදුන් අයගේ ඡායාරුප සාක්ෂි ද සහිතව මේ පිළිබඳව මුලතිව් පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබේ.  මේ පිළිබඳව විමසීමේදී මුලතිව් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා පවසා ඇත්තේ සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භකර ඇති බවකි. ප්‍රහාරය පිළිබඳව අදාල විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් වැඩිදුර විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසන ලෙස ද වැඩිදුරටත් පවසා තිබේ.‍

විශේෂයෙන් උතුරු නැඟෙනහිර මාධ්‍යවේදීන් නිරන්තරයෙන් විවිධමය වූ හිරිහැරයන්ට ලක්වන අතර වරින්වර පොලිස්පතිවරයා ඇතුළු රජයේ වගකිවයුත්තන්ගේ අවධානයට යොමුකළ ද ඒ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු නොවිම කණගාටුවට කරුණකි.

මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතාට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය, ලෝකයේ රටවල් 160 ක මාධ්‍ය සංවිධාන 170 ක පමණ නියෝජනයක් සහිත ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (International Federation of Journalists-IFJ)  සාමාජික සංව්ධානයක් ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය දැඩිලෙස හෙළා දකි.

මෙම ප්‍රහාරය සමස්ථ මාධ්‍යවේදීන්ට නිදහසේ වාර්‍තා කිරීමට ඇති අයිතියට එල්ල කළ ප්‍රහාරයක් ලෙස සළකන අප සම්මේලනය ප්‍රහාරයට වගකිවයුත්තන් වහාම නීතිය හමුවට කැඳවන ලෙසත් මෙවැනි සිදුවීම් වළක්වාලීමට ගතහැකි සියළුම ක්‍රියාමාර්‍ග වෙත යොමුවීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු රජයේ සි‍යළුම බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.