රත්මලාන අත්තිඩිය ප‍්‍රදේශයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කොට 2022 ජනවාරි 08 වන දිනට වසර 13 ක් සම්පූර්ණ වේ.

කොළඹ අධිආරක්ෂක කලාපයක දී මහ දවල් ලසන්ත වික‍්‍රමතුංග මහතාට නාදුනන ඝාතකයෙක් වෙඩි තබා පලා ගියේ එවකට තිබූ හමුදා මුරකපොලූ කිහිපයක් පසු කර ගෙන බව කවුරුත් දන්නා සත්‍යයකි. නමුත් එවකට එම මුරකපොලූවලින් එසේ බේරී පළා යාමට හැක්කේ කාටද යන්න? අදද කවුරුත් දන්නා ප‍්‍රසිද්ධ රහසකි. කෙසේ නමුත් වෙඩි වැදීමෙන් පසුව කලූබෝවිල රෝහලට ඇතුලත් කල ලසන්ත වික‍්‍රමතුංග මහතා සදහටම මෙලොවින් සමු ගත්තේය. ඒ 2009 ජනවාරි 8 වනදාය.


ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ පුවත්පතක කතුවරයෙකු මහ දවල් අධිආරක්ෂක කලාපයක ඝාතනය කර ඝාතකයින්ට රිසි සේ පළා යා හැකිද යන්න විමසිය යුතු පැනයකි. ඝාතනය කරන ලද සිවරාම්, නිමලරාජන් මෙන්ම අතුරුදහන් කරන ලද ප‍්‍රගීත් වැනි මාධ්‍යවේදීන්ද, පෝද්දල, කීත් නොයාර් වැනි බරපතල ප‍්‍රහාරයන්ට ලක් වූ සියලූ මාධ්‍යවේදීන්ට මෙම තත්ත්වය අත්කර දුන්, ඝාතකයින් සහ ප‍්‍රහාරකයින් මෙන්ම එයට අනුබල දුන් මර්ධකයින් වහාම රටට හෙළි කරන ලෙස, බළධාරීන්ට බල කල යුතුව ඇති සේම, ඒ වෙනුවෙන් සියළු පුරවැසියන් පෙළගැසිය යුතු කාලය කල්දැමීම යනු, වරදක් කර දඩුවම් නොළබා සිටීමේ ඓතිහාසික පුරුද්දට තවදුරටත් සහය දීමක් බව අපගේ හැගීමයි. නමුත් එයම නැවත වරක් ලියන්නට වීම ගැනද ඇත්තේ කණගාටුවකි


වසර 10ක් පුරා නොවිසඳුන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය,

2009 ජනවාරි 8 දින, රත්මලානේ අත්තිඩිය ප‍්‍රදේශයේදී ඔහු ඝාතනයට ලක්වූ අතර, 2010 පෙබරවාරි 26 දින ඝාතනයට පැමිණි කල්ලිය භාවිත කළ බවට සැකකෙරෙන ජංගම දුරකථන අංක, නුවරඑලිය ප‍්‍රදේශය පදිංචි පී ජේසුදාසන් නැමැත්තෙකුගේ හැඳුනුම්පත යොදාගෙන මිලදී ගෙන තිබූ බව පවසමින් පොලිස් ත‍්‍රස්ත විමර්ශන අංශය ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය. එදිනම කන්දෙගෙදර පියවංශ නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකුද, පී ජේසුදාසන් හා සම්බන්ධතා පැවැත්වූ බවට සැකකරමින් පොලිස් ත‍්‍රස්ත විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබුණි.

2010 මාර්තු මාසයේදි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 17 දෙනෙකු ත‍්‍රස්ත විමර්ශන අංශය මගින් ප‍්‍රශ්න කිරීමට ලක් කළේය. ඔවුන්ගෙන් 7 දෙනෙකු රඳවාගෙන දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර පසුව මුදා හැරුණි. 2011 ඔක්තෝබර් 13 දින අත්අඩංගුවේ පසුවූ සැකකරු පී. ජේසුදාසන් හදිසියේ බන්ධනාගාරය තුළදි මිය ගියේය. ස්වභාවික මරණයක් ලෙස හැඳින්වූ ඔහුගේ මරණය සැක සහිත බව ජේසුදාසන්ගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.

2013 සැප්තැම්බර් 6 දින නිසි සාක්ෂි නොමැති නිසා කන්දෙගෙදර පියවංශ නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා උසාවිය විසින් නිදහස් කරනු ලැබූහ. එම අත්අඩංගුවට ගැනීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, එය පිළිගත් අධිකරණය, කන්දෙගෙදර පියවංශට රුපියල් 1,00,000 ක් ගෙවන ලෙස ත‍්‍රස්ත විමර්ශන අංශයේ ප‍්‍රධානියෙකුට නියෝග කළේය.

2014 ජනවාරි 8 දින පැවති ලසන්ත වික‍්‍රමතුංගගේ පස් වන අනුස්මරණ ගුණ සමරුවේදී ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික‍්‍රමතුංග ප‍්‍රකාශ කළේ, ”ජෙනරාල් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ” කියා ජනාධිපති මහින්ද රාජපක්ෂ, තමාට තුන් වරක් ප‍්‍රකාශ කළ බවයි. හිටපු හමුදාපතිවරයා එම චෝදනාව ප‍්‍රතික්ෂේප කළේය.


2015 ජනවාරි 10 දින බලයට පත්වූ නව යහපාලන ආණ්ඩුව ලසන්ත ඝාතන පරීක්ෂණ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් අතර, 2015 ජනවාරි 21 දින ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සිදුකල ආකාරය මෙන්ම ඊට නියෝග දුන්නේ කවුද යන තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බව, එවකට රජයේ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේය. එහෙත් පරික්ෂණ ඉතා මන්දගාමි විය. එම තත්ත්වය තුළ, 2015 අගෝස්තු 6 දින ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පරීක්ෂණ නොපවත්වන්නේ ඝාතනයේ සැකකරුවන් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රශ්න කළේය.

2016 පෙබරවාරි 17 දින ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ හැඩරුව දැක්වෙන කටු රූ සිතුවම් දෙකක් ශ‍්‍රී ලංකා පොලිසිය විසින් ප‍්‍රකාශයට පත් කරන ලදි. ඔවුන් හඳුනාගැනීමට මහජන සහය පැතීය. 2016 ජුලි 16 දින ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේය.


2016 ජුලි 27 දින අත්අඩංගුවට පත් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා, තමන්ට ලසන්ත ඝාතනයෙන් පසු දිනක තර්ජනය කළ පුද්ගලයා බව ලසන්ත වික‍්‍රමතුංගගේ රියදුරා උසාවියේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනා ගත්තේය. මෙම හමුදා සාමාජිකයා හිටපු පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලබා ඇති බව පොලිසිය උසාවියට දැන්වීය. 2016 සැප්තැම්බර් 27 දින නව මරණ පරීක්ෂණයට ලසන්තගේ දේහය ගොඩ ගැනුණි. එහෙත් අදාල පරික්ෂණ යම් සීමාවකදි ඇන හිටින ලදි.

2019 වසරේදි යහපාලන ආණ්ඩුව බිඳ වැටීමත් සමගම නැවත වරක් රාජපක්ෂලා බලයට පැමිණ තිබේ. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන විදෙස් මාධ්‍යයක් විමසු විට ”ලසන්ත කවුද” යැයි ඇසූ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ගෝඨාභය රාජපක්ෂ, දැන් රටේ ජනාධිපති ලෙස පත් වී ඇත. එසේම ලසන්ත ඇතුළු මරාදැමුණු, අතුරුදහන්කළ සහ පහරකැම්වලට ලක්වූ කිසිදු මාධ්‍යවේදියෙක් හෝ ප‍්‍රහාරයන්ට ලක්වූ කිසිදු මාධ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් එවකට තිබූ රාජපක්ෂ පාලනය, පිළිගතහැකි, විනිවිදබාවයකින් යුතු කිසිදු ආකාරයේ විමර්ශණයක් සිදු කලේ නැතුවාක් මෙන්ම ඒ සම්බන්ධයෙන් ජනතාවට පොරොන්දු දෙමින් බලයට පත් යහපාලන රජය විසින්ද සාධාරණයක් ඉටුකිරීම මඟ හැරීය. එබැවින් ලසන්ත ඝාතනයෙන් වසර 13 කට පසුත් අපට අවශ්‍ය වන්නේ යුක්තියම යැයි යළිත් ලියන්නට වී ඇත්තේත් ඒ යුක්තිය සදහා කිසිදු වෙහෙසක් නොදැරූ, ඒ නපුරු බිහිසුණු අතීත මතකයන්ගේ මුහුණු ඉදිරිපිට තබා ගෙනය.


ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට යුක්තිය ඉල්ලමින්, 13 වන සංවත්සරය යෙදි ඇති ජනවාරි 08 දින, දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වල සමරු උත්සව පැවැත්වු අතර, ඉන් එක් සමරුවක්, මඩකලපුව දිස්ත‍්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය සහ මොඩියුලර් මාධ්‍ය මධ්‍යස්ථානය එක්ව සංවිධානය කොට තිබුණි. එහිදි මඩකලපුවේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමක්, දිස්ත‍්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති වී.ක‍්‍රිෂ්ණකුමාර් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළහ. ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ රුව සහිත ස්මාරකයක් ඉදිකර සමරු උත්සවයක් ද පැවැත්විණි.

 

සටහන – සම්පත් ජයලාල්. විධායක කමිටු සාමාජික, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය. 077 3711919