2006 වසරේදි ත‍්‍රිකුණාමලයේදී ඝාතනය කළ මාධ්‍යවේදී, එස්. සුකීර්තරාජන් ගේ 16 වන අනුස්මරණ සැමරුම අද (24) දින මඩකලපුව මාධ්‍ය මධ්‍යස්ථානයේදී සහ මඩකලපුව ගාන්ධි උද්‍යානයේ පිහිටි, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ගේ ස්මාරකය ඉදිරිපිටදී පැවැත්විණි.

ත‍්‍රීකුණාමලය දිස්ත‍්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම්වරයෙකුද වූ, එස්. සුකීර්තරාජන්, නාඳුනන තුවක්කුකරුවන් අතින්, 2006 වසරේ ජනවාරි 24 දින, ත‍්‍රීකුණාමලය, ඕර්ස්හීල් ලෝවර් පාරේදී ඝාතනයට ලක්වූ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් මේ දක්වා යුක්තිය ඉටුවී නොමැත.

මාධ්‍යවේදී එස්. සුකීර්තරාජන් අනුස්මරණය කිරීමෙන් අනතුරුව, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්විය. ඉන්පසු මාධ්‍යවේදීන්ට සිදුවන අසාධාරණයට එරෙහිව සටන් පාඨ කියමින් බැනර් ප‍්‍රදර්ශනය කරමින් සාමකාමී විරෝධතාවයකද නිරත වූහ.

මොඩියුලර් මාධ්‍ය මධ්‍යස්ථානය, මඩකලපුව දිස්ත‍්‍රික් දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නැගෙනහිර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, උතුරු, නැගෙනහිර සහ දකුණු මාධ්‍ය සංවිධානවල සහයෝගයෙන් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.

ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පී. ආරියනන්දරන්, එන්. ශ‍්‍රීනිවාසන්, රදගුරු ජෝසප් මරියා පියතුමා, මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදී සංගම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(සිවම් පාක්‍යයනාදන්, කේ. විජයරත්නම්)