දෙසැම්බර් 6 වන දින, ‘සාගර් බන්දු‘ මෙහෙයුම යටතේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් නවවන (09) යානය කොළඹට ළඟා විය. එහි අඩි 110ක් දිගැති බේලි පාලම් (Bailey Bridge) ඒකක ටොන් 55ක් ඇතුළුව ටොන් 65ක බරින් යුත් ආධාර තොගයක්, එක් කැනීම් යන්ත්‍රයක් (Excavator) සහ අනෙකුත් පස් ඉවත් කිරීමේ උපකරණ ද සමඟ ඉන්දීය යුද හමුදා ඉංජිනේරුවන් 13 දෙනෙකු මෙරටට පැමිණියහ.
ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සම්බන්ධීකරණය වෙමින්, ගංවතුරින් සේදී ගිය හෝ හානියට පත් වූ පාලම් වෙනුවට බේලි පාලම් ඉදිකිරීම සඳහා ඉන්දීය ඉංජිනේරු බලකාය විසින් ස්ථාන කිහිපයක මූලික සමීක්ෂණ සහ ගවේෂණ කටයුතු සිදු කරන ලදී. ඒ අනුව ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති අතර, කිලිනොච්චිය ප්‍රදේශයේ එක් ස්ථානයක බේලි පාලමක් ඉදිකිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.
ඉන්දීය මහකොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා හමුවී ‘සාගර් බන්දු‘ මෙහෙයුම යටතේ දැනට සිදුවන ඉන්දීය ආධාර පිළිබඳව සමාලෝචනය කළ අතර, නැවත ගොඩනැගීමේ සහ පුනරුත්ථාපන අදියරේදී සහයෝගයෙන් කටයුතු කළ හැකි මාර්ග පිළිබඳව ද සාකච්ඡා කළේය.
එමෙන්ම, මහකොමසාරිස්වරයා ‘Rebuilding Sri Lanka Fund’ (ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදල) සමඟ සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකික ආයතනික නායකයින් ද හමුවිය. එහිදී ඉදිරි ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කළ ඔහු, ඉන්දියාවේ පුළුල් මැදිහත්වීම සහ මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සිට ගැනීමට ඇති කැපවීම පිළිබඳව ඔවුන්ව දැනුවත් කළේය.
![]()
