”නිතරම අපි ඔට්ටුවට තබන්නේ මරණයයි. ගෙස්ටාපෝවට හසුවීම යනු අවසානය බව අපි දන්නෙමු. එම අවසානය ගැන මා හට සඳහන් කල නොහැක. අවිනිශ්චිතයි. එහෙත් මෙය සැබෑ යථාර්තයකි. අවසන් ජවනිකාවට තිරය විවෘත කිරීමට ආසන්නය. මිත‍්‍රවරුනි මම ඔබලාට ආදරය කරමි. එබැවින් ආරක්ෂාවන්න”.
හිට්ලර්ගේ නට්සි පාලන යුගයේ කෲර වද බන්ධනයන්ට යටත්ව මරා දමන ලද උත්තරීතර ජනමාධ්‍යවේදියෙකු වූ ජූලියස් ෆූචික් (Julius Fucik) ප‍්‍රකාශ කළ ඒ වදන් සදාකල්හිම අප හදවත් තුළ රැව් දෙන්නේ ඔහු ඒ තරම්ම පරමාදර්ශි මාධ්‍යවේදියෙකු වූ නිසාමය.
ලෝකයේ මේසා අවධානයකට යොමු වූ ශ්‍රේෂ්ඨ, ජූලියස් ෆූචික්, චෙකොස්ලෝවැකියාවේ ප‍්‍රාග් නගරයේ, ස්මිඩෝව් නම් ප‍්‍රදේශයේදී, 1903 පෙබරවාරි 23 වැනිදා උපත ලැබීය. ඔහුගේ ලේඛණ හැකියාවන් ඔප් නැංවූයේ දොළොස් හැවිරිදි වියේ පසුවෙන විටයි. එවකට චෙකොස්ලෝවැකියාවේ පැවැති ”වහලා” නම් පුවත් පතට ඔහුගේ නිර්මාණ ඉදිරිපත් කළේය. විසිවන වියේදි වැඩිදුර අධ්‍යාපනය පිණිස ප‍්‍රාග් විශ්වවිද්‍යාලයට බැදෙමින් ජනමාධ්‍යවේදී උපාධිය හිමි කරගත් ඔහු, ඉන් පසුව ජනතාව අතර ඉමහත් ජනප‍්‍රියත්වයට පත් වූ සඟරා කිහිපයක කතුවරයෙකු වශයෙන් කටයුතු කළේය.
ජූලියස් ෆූචික්, 1938 දී ගුස්ටා පුචිකෝවා සමග විවාහ වීය. 1939 දි චෙකොස්ලෝවැකියාව ආක‍්‍රමණය කළ හිට්ලර්ගේ හමුදාවෝ එරට ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත යුදෙව් ජාතික බාල, තරුණ, මහළු පුරවැසියන් ලක්ෂ ගණනින් අත්අඩංගුවට ගත්හ. ගෑස් කාමරවල දමා මරා දැමූහ. මෙවැනි දුෂ්ඨ ක‍්‍රියාවන්ට එරෙහිව ජූලියස් ෆූචික් තම පුවත්පත මෙහෙයවීය.
අදීන මාධ්‍යවේදියෙකු ලෙස හිට්ලර්ගේ මර්දනකාරී පාලනය විවේචනය කළේය. මෙය පාලකයන්ගේ ඇසේ ඇනුණු කටුවක් මෙන් වේදනා ගෙන දෙන්නක් විය. නොයෙකුත් තෑගි බෝග අල්ලස් සහ පදවි තානාන්තර වරදාන, වරප‍්‍රසාද පිළිබඳ යෝජනා ගලා එන්නට පටන් ගත්තේය. එහෙත් ඒ කිසිවකට ජුලියස් ෆූචික් නම් වූ එම අභිමානවත් මාධ්‍යවේදියා, ජාතියේ නිදහස හා මාධ්‍යවේදියෙකුගේ ඓතිහාසික කාර්යභාරය පාවා නොදුන්නේය.
ඔහු දුෂ්කර මාවත තෝරා ගත්තේය. නිසැක මරණය තමාගේ අනාගත ඉරණම බව දැන දැනත් මාධ්‍යකරුවෙකු සහ ලේඛකයෙකුට අත්‍යන්තයෙන්ම සතුවිය යුතු අදීනත්වය හා තම සමාජ වගකීම පිළිබඳ කැපවීම සිහියේ නඟා ගනිමින් යුක්තියේ මාවත තෝරා ගත්තේය.
ගෙස්ටාපෝ ජර්මන් රහස් පොලිසිය, 1942 අපේ‍්‍රල් 24 වෙනිදා ජූලියස් ෆූචික් අත්අඩංගුවට ගනු ලැබීය. මාස කීපයක් තිස්සේ දරුණු වධ බන්ධනයට ලක්කිරීමෙන් පසුව වුවද, ඔහුගේ මුවින් පොලිසියට අවශ්‍ය එකදු වචනයක්වත් ලබා ගැනීමට නොහැකිවීමෙන් ඔව්හු කෝපයට පත් වූහ.
මරණය තමා කරා එළඹෙන තෙක් සිරකූඩුවේ වේදනාවෙන් කල්ගත කරන අතරතුර, සිරගෙදර ජේලර්වරයෙකුගේ උපකාර ඇතිව අඟනා කෘතියක් රචනා කරන ලද්දේ ඉමහත් ප‍්‍රයත්නයකිනි. සිගරට් පෙට්ටිවල ඇති කුඩා තීරු මත, පැන්සල් අකුරින් ලියන ලද සටහන්, දිනපතා එම නිලධාරියා විසින් පිටතට ගෙන යන ලද්දේ මරණය අතේ තබාගෙනය.
1943 මැයි මාසයේදී ෆූචික් ජර්මනියට ගෙන එන ලදී. 1943 අගෝස්තු 25 වෙනි දින බර්ලිනයේදී, ඔහුගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් රාජද්‍රෝහී චෝදනා එල්ල කරනු ලැබීය. ෆූචික් වරදකරු කළ අතර ඔහුට මරණ දඬුවම නියම විය. ඉන් සති දෙකකට පසුව, එනම් 1943 සැප්තැම්බර් 8 වන දින බර්ලිනයේදී, ජූලියස් ෆූචික් එල්ලා මරා දමනු ලැබීය.
ඒ වන විට ජූලියස් ෆූචික්ගේ බිරිඳ වූ ගුස්ටා පුචිකෝවාද සිටියේ ජර්මන් සිරභාරයේය. ඇය සිරගෙදර සිටියදීම සෝවියට් රතු හමුදාව ප‍්‍රාග් නගරය අල්ලාගනු ලැබු හෙයින් ජීවත්වීමට තරම් වාසනාවන්තියක විය. 1945 මැයි මාසයේ දී ගුස්ටා නිදහස්ව තම නිවසට පැමිණිමෙන් අනතුරුව, ඇය තම ආදරණීය සැමියා කොහේ වෙසෙන්නේදැයි සෙවීමට උත්සහ කළහ.
ෆූචික් සමග හිරගෙදර සිටි සමකාලීන සිරකරුවන් ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව, ඔහු මරා දමා ඇති බව ඇයට දැනගන්නට ලැබුණි. ප‍්‍රාග් නුවර ෆන්ක‍්‍රාප්ට් සිරගෙදර සිටිය දී ඔහු සටහන් වගයක් ලියනු තමන් දුටු බව ද සිරගෙදර සමකාලීනයෝ ඇයට පැවසූහ. ඇය මෙම සටහන් කඩදාසි සොයා යාම ඇරඹු අතර අවසානයේදී ඒවා සොයා ගැනීමට හැකි විය.
ඒ සෙලෙන්ස්කි නම් වූ ජේලර්වරයා විසින් සියදිවි පරදුවට තබා සිරගෙදරින් පිටතට ගෙනවුත් විශ්වාසවන්ත මිනිසුන් ලඟ සඟවා තිබියදීය. ”පෝරකයේ සිට ලියූ සටහන්” (Notes from the Gallows) ලෙසින්, ජූලියස් ෆූචික්ගේ නමින් පළවී ඇති විශ්ව සම්භාවනීය ග‍්‍රන්ථය, මරණයේ සෙවණැල්ල යට සිට ඔහු ලියූ ඒ අවිධිමත් සටහන් ගොන්නය.
වානේ කම්හලක කම්කරුවෙකු වූ සිය පියාගේ අඩි පාරේ නොගොස් අදීන මාධ්‍ය කලාවක් වෙනුවෙන් ජූලියස් ෆූචික්, සිය ජීවිතය පූජා කළේ අවුරුදු හතළිහක් තරම් වූ අඩු වයසේදීය. ඉතිහාසයේ සැබෑ වීරවරයන්ගේ අගය හා වැදගත්කම වඩාත් දැනෙන්නේ ඔවුන් ජීවත්ව සිටි යුගයට වඩා ඉන් පසු යුගයන්ටය.
ෆූචික්ගේ මරණයෙන් පසුව ”අන්තර්ජාතික පුවත්පත්කලාවේදීන්ගේ සංගමය” විසින් සිය හතර වැනි සමුළුව 1958 බුකාරෙස්ට් නගරයේ පවත්වමින්, ඔහු මියගිය දිනය ලොව පුරා ”පුවත්පත් කලාවේදීන්ගේ සහයෝගිතා දිනය” ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී.
අද දවසේ ලංකාවේ පුවත්පත් කලාවේදීන් සහ පොදුවේ ජනමාධ්‍ය වෘත්තිකයන් මුහුණ දෙන දුෂ්කර අභියෝග හමුවේ පවා මනුෂ්‍යත්වයේ නාමයෙන් පෑන හසුරුවන්නට වගකීමක් අප හමුවේ ඇත. පෑන, කැමරාව, සමාජ මාධ්‍ය වෙත යොමුවෙන සෑම වෘත්තිය මාධ්‍යවේදියෙකුගේම අධිෂ්ඨානය විය යුත්තේ, එම වගකීම ඔබට ගන්න කියා බලකරන, මිනිස් වර්ගයාගේ උවමනාවන් වෙනුවෙන් භාවිතා කිරීමය. එය ඉටු කළ හැක්කේ අන් කිසි ආකාරයකින් නොවේ, වඩා යහපත් මිනිස් සමාජයක් වෙනුවෙන්, මිනිස් හෘද සාක්ෂිය ඇතිව මාධ්‍යවේදය හැසිරවීම තුළින්මය.
(පොතපත හා අන්තර්ජාලය ඇසුරින් සටහන් කළේ නුවරඑළියේ සම්පත් ජයලාල්)