ලියන්නේ කන්තලේ ආර් ජී ධර්‍මදාස

ත්‍රිකුණාමල ලංකාදීප මාධ්‍යවේදිනියක්ව සිටි විශාකා ජයසේකර නංගී වසර විසිතුනකට පමණ පෙරදී එක්තරා දවසක මට හමුවූ අවස්ථාවක මෙසේ පැවසුවාය.

“අයියේ! බී බී සී සංදේශයට ත්‍රිකුණාමල දිසිත්‍රික්කයෙන් වාර්‍තාකරුවෙකු සොයනවා. ඉතාම අපහසුකම් මැද්දේ වාර්‍තාකරණයෙහි යෙදෙන කෙනෙක් තමයි එයාලා හොයන්නේ. මට මේ කථාව කිව්වේ එල්මෝ අයියා. මම ඔයා ගැන කිව්වා. මොකද කියන්නේ කැමතිද?”

විශාකාගේ මෙම යෝජනාවට “එකපයින් ම හා හොඳයි“ කියන්නට තරම් කැමත්තක් මට නොවීය. මන්ද ඇය ඒ වනවිටත් සංදේශයට ප්‍රවෘත්ති ලබාදෙමින් සිටි බැවිනි.

“නංගී එතකොට ඔයා”?

මා ඇසුවේ ඒ නිසය. ඇගේ පිළිතුර වූයේ දෙන්නම එක්ව වැඩකරමු කියා  ය.මම යෝජනාවට කැමත්ත පළ කළෙමි. මා බී බී සී සංදේශයට සම්බන්ධවූයේ එපරිද්දෙනි. එහෙත් සිදුවූයේ එතන්සිට මගෙන් පමණක් ප්‍රවෘත්ති ලබාගනීමය. මා සංදේශයට සම්බන්ධවූයේ විශාකා නංගී නිසා බව මම අදටත් ඉතා නිහතමානීව පවසමි. ඇය දැන් කොහේ සිටී දැයි මම නොදනිමි.

බී බී සී සංදේශයට එක්වීම නිසා මා දැඩිසේ ආදරය කළ ලක්බිම පුවත්පතෙන් සමුගැනීමට මම හිත හදාගත්තෙමි. ලංකාවේ පත්තරයකට ලියනවාට වඩා ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වූ බී බී සී සංදේශයට පුවත් සැපයිම අසීරු කාරියකි. ඒ බව මට වැටහුනේ වැඩකරගෙන යනවිටය.

විශේෂයෙන්ම යුධ බිමක සිට යුද්ධය වාර්‍තා කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. බී බී සි ය කොටි සංවිධානයට පක්ෂව ප්‍රචාරණයක යෙදෙන මාධ්‍ය ආයතනයක් බවට චෝදනා එල්ල වූ පසුබිමක තත්වය වඩාත් භයානක විය. අවි දැරූ සියළු පාර්‍ශවයන්ගෙන් ප්‍රවේශම් වීමට අපට සිදු විය.

කෙසේ හෝ අපි අභියෝගවලට මුහුණ දෙමින් ලොවට සත්‍යය අනාවරණය කළෙමු. යුද්ධය පමණක් නොව විවිධ රසවත් විශේෂංග ද අපේ මාතෘකා අතර විය. අපේ මාධ්‍ය සගයන් වූයේ වව්නියාවේ දිනසේන රතුගමගේ, අම්පාරේ වසන්ත චන්ද්‍රපාල, පොළොන්රුවේ තක්ෂිලා දිල්රුක්ෂී ජයසේන,මඩකළපුවේ ශාන්ති සෙල්වදොරේ, රත්නපුරේ අජිත් ශාන්තලාල් උදය, කොළඹ කේ එස් උදයකුමාර,  හලාවත ප්‍රශාද් පූර්ණමාල් ජයමහ, කොළඹ ඥණසිරි කොත්තිගොඩ ය. මේ අතර බී බී සී තමිල් ඕසේ මාධ්‍යවේදීන් ද අපගේ ගජ මිතුරෝ වූහ. ඔවුන්ගේ නම් මතකයට නඟා ගැනීම අසීරුය. සමාවෙන්න. පසුව තොළඹ බී බී සී වාර්‍තාකරු අසාම් අමින් ද අප අතරට එක්විය. එල්මෝ ප්‍රනාන්දු මහතා අප සියළු දෙනාගේම නියමුවා විය. ඇත්ටම ඔහු නැතිනම් සංදේශයක් නැති තරමිය.

ලන්ඩන් නුවර සිට විකාශය වූ බී බී සී සිංහල අංශයේ ප්‍රධානියාව සිටියේ අප කවුරුත් ආදරය කරන ප්‍රියාත් ලියනගේ මහතාය. දක්ෂ මාධ්වේදීන් වන චන්දන කීර් ති බණ්ඩාර, උපාලි ගජනායක, විමලසේන හේවගේ, ඉන්දිරා රාමනායක, එම් ජේ ආර් ඩේවිඩ්, ඇතුළු තවත් කීපදෙනෙකු ප්‍රියාත් මහතාගේ කාර්‍ය්‍යමණ්ඩලයට අයත් වූහ. එම වකවානුවේ ලොවපුරා ලක්ෂ විසිඑකක ජනතාවක් බී බී සී සිංහල සංදේශයට සවන් දුන්හ.

බී බී සී ලෝක සේවය තම සියවස් පූරණය පසුගිය දා සමරනු ලැබීය. අසන්නට දකින්ට ලැබුන උදානයන් බොහෝය. එහිදී බී බී සි යට පණ දුන් ප්‍රියාත් ලියනගේ, සහ එල්මෝ ප්‍රනාන්දු යන මහත්වරුන් දෙදෙනා ගැන එක වචනයක් අසන්නට දකින්නට නොලැබුනි. හැබයි සුද්දන් පිළිබඳ පුරවරුණාවේ නම් අඩුවක් නොවීය.

ඉතින් ලංකාවේ අප වැනි දුගී තීරුවේ අය ගැන කවර කථා ද? අපට ආවඩන්නැයි අපි කිසිසිවෙකුටත් කිසිසේත් ම නොකියමු. බී බී සී ලෝක සේවයේ ශ්‍රී ලංකාවේ වාර්‍තාකරුවන්ට සිදුකළ අසාධාරණය පමණක් ඉතා සැකවින් කියමු.

බී බී සී ලෝක සේවය යනු මුළු ලොව පුරා ග්‍රාහකයන් විශාල පිරිසක් සිටින අති දැවන්ත සහ පිළිගැනීම අතින් අංක එකේ මාධ්‍ය ආයතනයක් බව අවිවාදිතය. මෙය පවත්වගෙන යන්නේ මහා බ්‍රිතාන්‍යයයි. එම ආයතනය හා සම්බන්ධ මාධ්‍යකරුවන් පුහුණු කිරීම සඳහා වැයකරන ධනස්කන්ධය ද අසීමිත ය. ලංකාවේ අපට ලබාදුනනේ ද එම පුහුණුවම ය.

බී බී සී ආයතනයෙන් විශේෂ හැඳුනුම් පතක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවෙන් විදේශීය මාධ්‍යවේදීන් සඳහා ලබාදෙන හැඳුනුම් පතක් අපට ද නිකුත්කර තිබුනි. මේ අතර වසරක් පාසා අළුත් කෙරෙන ගිවිසුමක් ද අප අතර විය. මේවා බ්‍රිතාන්‍ය රජය දන්නවාද නැද්ද යන්න අපි නොදනිමු. එහෙත් එකක් දනිමු. එනම්, වසර විස්සක්, විසි පහක් ජීවිත පරදුවට තබා බී බී සී සංදේශයට සේවය කළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් තඹ දොයිතුවක්වත් නොදී ඉවත්කර ඇති බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව නොදන්නා බව නම් අපි ඉඳුරාම දනිමු.

දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ලංකාව පාලනය කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. එහිදි බ්‍රිතාන්‍යය රාජකීය හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකිකයන් දස දහස් ගණනින් බඳවා ගැනුනි. යුද්ධය අවසන් වූ වහාම ඔවුන් සියළු දෙනා විශ්‍රාම ගැන්වූයේ මියෙන තුරා ලැබෙන විශ්‍රාම වැටුපක් ද සමඟය. සිය රටේ වැදගත් මාධ්‍ය ආයතනයක සේවය කළ ශ්‍රී ලාංකික මාධ්‍යවේදින් පිරිසක් නිකම්ම නිකම් දොට්ට දමා ඇති බවක් බ්‍රිතාන්‍ය රජය තවමත් නොදන්නා බව අපි සපථකර කියා සිටිමු.

මා ඉතාමත්ම වගකීමෙන් යුතුව ප්‍රකාශකරන්නේ අපට මෙම වින්නැහිය කළේ ප්‍රියාත් මහතාගෙන් පසුව බී බී සී සිංහල අංශයේ ප්‍රධානියා බවට පත්වූ සංගීත් කළුබෝවිල නැමත්තා බවයි. ඔහු ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති විශේෂංග ලෙස දුටුවේ ගැණුන්ගේ යට ඇඳුම්, යෝනි සාර, මාස් සුද්ධිය වැනි ජරා ගොඩවල්ය. එයින් පිටස්තර පුවත් ලෝකයක් ඔහුට නොවීය. අපේ ගැටළු මේ උම්මත්කයාට ගැහැණුන්ගේ යටි බඩවල් තරම් වැගත් නොවීය.

අවසන් වශයෙන් සඳහන් කරන්නට ඇත්තේ බී බී සී ලෝක සේවයට වසර සියයි. එහි සේවය කළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වන අපට ප්‍රශ්ණ කෝටියයි යන්න ය

ධර්‍මදාස කියන ඉහළ කථාවත් අහන්න

තවත් විස්තර දැනගැනීම සඳහා……