සමාජය සහ සාමයික කේන්ද්‍රය හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාග කළ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව පැමිණිලිකරුවන් විසින් කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්‍තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ලකළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම සම්බන්ධයෙන් ඉල්ලා ඇති තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙස නියෝගකර තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය වෙත නියෝගය කළේ සමාජය සහ සාමයික කේන්ද්‍රය හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන යොමු කළ තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමකට අදාල අභියාචනයක් විභාග කර තීන්දුව ලබා දෙමිනි.

මේ සියළු තොරතුරු මහජන වැදගත්කමක් සහිත තොරතුරු බව තීන්දු කළ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව එම තොරතුරු නොවැම්බර් 14 වැනිදාට පෙර මුදා හරින ලෙස ද වැඩිදුරටත් ශ්‍රී ලංකා පොලිසියට නියෝගකර තිබේ.‍

නොවැම්බර් 14 වැනිදාට පෙර අදාල තොරතුරු පෙත්සම්කරුවන් වෙත මුදා හැරීම්ට ශ්‍රී ලංකා පොලිසිය අපහොසත් වන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියට සහ එහි අදාල නිලධාරීන්ට එරෙහිව තොරතුරු පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද කොමිසම තීන්දුකර තිබේ.

මෙම තොරතුරු ලබාගැනීම  පිළිබඳ ඉල්ලීම ජීවිතයට සහ පෞද්ගලික නිදහසට අදාල තොරතුරු පනතේ ප්‍රතිපාදන යටතේ ඉදිරිපත් කළ ඉල්ලීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව හා ඉල්ලා ඇති තොරතුරු සමාජයේ වඩාත් සංවාදයකට ලක්වූ තොරතුරු බැවින් තොරතුරු නිලධාරීන් ද පනතේ ප්‍රතිපාදන පිළිබඳව මීට වඩා උනන්දුවක් දැක්විය යුතුබව ද කොමිෂන් සභාව සිය තීන්දුව මගින් අවධාරණය කර තිබේ.

මාස දෙකකට ආසන්න කාලයක් පුරා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව මෙම අභියාචනය විභාග කළ අතර එම විභාගය සඳහා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ සමඟ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා පෙනී සිට ඇත.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න, අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු රෝහිණී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන කිෂාලි පින්ටෝ ජයවර්ධන, ජගත් ලියන ආරච්චි සහ මොහොමඩ් නහියා යන කොමසාරිස්රුන්ගේ අත්සන සහිතව ය.