මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඉන්දිරා නවගමුව මහත්මිය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමඟ 2022 නොවැම්බර් 22 වැනි දින එම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වමින්, ශ්‍රී ලංකාවේ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ දුක්ඛිත සේවා කොන්දේසි පිළිබඳව දීර්‍ඝ හෙළිදරව් කිරීමක් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ බහුතර වෘත්තීය මාධ්‍යවේදීන්ට හිමිවිය යුතු මූලික වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් හිමිව නොමැති බවත්, ශ්‍රී ලංකාවේ මූලික හිමිකම් පවා අහිමි එකම වෘත්තිය ජනමාධ්‍යවේදය බව මාධ්‍ය සේවක සංගම් සම්මේලනය මෙම සාකච්ඡාවේදී ඇමතිවරයා වෙත පැහැදිලි කරනු ලැබීය.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය  විසින් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය සහ මාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග පිළිබඳව සිදුකළ සුවිශේෂී ගවේෂණයක් අනුසාරයෙන් සම්පාදනය කරන ලද වාර්‍තාවක් මගින් අමාත්‍යවරයා වෙත මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කරන ලදී.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) මගපෙන්වීම සහ සහාය ඇතිව IFJ-Union to Union (UTU) Global Union 2022 මාධ්‍ය වෘත්තීය සමිති දිරිගැන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන වෘත්තීමය ගැටළු හා මාධ්‍ය කර්‍මාන්තය මුහුණදෙන අභියෝග පිළිබඳව පුළුල් සාකච්ඡාවක් දෙසැම්බර් 13 වෙනි දින ජනමාධ්‍යවේදීන්ගේ පුළුල් නියෝජනයක් සමග පැවත්වීමට ද මෙහිදී කම්කරු ඇමතිවරයා එකඟතාවය පළකරනු ලැබීය.