මාධ්‍ය නිවේදනය
2022 නොවැම්බර් 26

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳ ගවේෂණ වාර්‍තාව – 2022

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (International Federation of Journalists-IFJ) මග පෙන්වීම හා සහයෝගය ඇතුව IFJ-Union to Union (UTU) Global Union වැඩසටහන යටතේ, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය විසින් මාධ්‍යවේදීන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය හා ජනමාධ්‍ය කර්‍මාන්තය මුහුණදෙන අභියොග පිළිබඳව සුවිශේෂී ගවේෂණයක යෙදෙමින් වාර්‍තාවක් සම්පාදනය කරනු ලැබ ඇත. විශේෂයෙන් තරුණ පිරිස් මාධ්‍ය කර්‍මාන්තයට ප්‍රවේශ නොවීම හා තරුණ මාධ්‍යවේදීන් මාධ්‍ය සංවිධාන නායකත්වයට යොමු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් විය.

ඒ සඳහා මුලිකව සකස් කරන ලද ප්‍රශ්නාවලියක් මාර්‍ගගත ගූගල් අයදුම් පත්‍රයක් ලෙස යොමුකොට මාධ්‍යවේදීන්ගේ දත්ත එක් රැස්කර ගනු ලැබීය. මාධ්‍යවේදීන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයේ සිට සෑම තොරතුරක්ම වෙන් වෙන්ව හඳුණාගැනීම හා ඔවුන් විඳින වෘත්තීමය පීඩාවන් පිළිබඳව හා ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්‍මාන්තය අභියෝග හඳුණා ගැනීමේ අවකාශයක් විවරකර ගැනීම මෙම ගවේෂණයේ මුලික අපේක්ෂාව විය.

එම වාර්‍තාව සැකසීම සඳහා ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි විද්‍යුත් හා මුද්‍රිත කේෂේත්‍රයේ 300 කට අධික, ප්‍රධාන දහරාවේ සහ ප්‍රාදේශීය වශයෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා මාධ්‍ය වෘත්තිකයන් පිරිසක් සහභාගී කරවා ඇත.

මේ ගවේශණය හා සම්බන්ධ වෙමින් තරුණ මාධ්‍යවේදීන් විශේෂ පුහුණුවකින් පසු මාධ්‍ය කර්‍මාන්තය හා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ප්‍රශ්ණ පිළිබඳව සිංහළ, දෙමළ හා ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් සැකසූ වීඩියෝපට 15ක් ද නිෂ්පාදනය කර ප්‍රකාශයට පත්කොට තිබේ.

සම්පූර්‍ණ වාර්‍තාව, වීඩියෝ පට 15, සමීක්ෂණයට සහභාගීවූ පිරිස් පිළබඳ සම්පූර්‍ණ විස්තර සටහන් https://fmetu.org/?page_id=9839 අප වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර තිබේ.

එම සමීක්ෂණයෙන් මාධ්‍යවේදීන් හා මාධ්‍ය කර්‍මාන්තය සම්බන්ධ සුවිශේෂි කරුණු රාශියක් හෙළදරව්කර ගැනීමට හැකියාව ලැබි ඇත.

එම සමීක්ෂණ වාර්‍තාවට අනුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයන්හි සේවය කරනු ලබන මාධ්‍යවේදීන්ගෙන් 59% කට නියමිත දිනක වැටුප් නොලැබෙන බව හෙළිදරව් වී තිබේ. එම මාධ්‍යවේදීන් අතරින් 91% පමණ ප්‍රතිශතයකට කිසිදු විශේෂ දීමනාවක් හිමි නොවන බවත්, හෙළිදරව් වී ඇති අතර ඔවුන්ට ලැබෙන වර්‍තමාන වේතනය මාධ්‍යවේදීන්ගේ වෘත්තිය සුදුසුකම් සඳහා ප්‍රමාණවත් නොවන බව 92% ක පිරිසක් පවසා ඇත.

මේ වන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන මාධ්‍යවේදීන්ගෙන් වයස අවුරුදු 35 ට අඩු අය පිරිස ඇත්තේ 26% ක පමණ ප්‍රතිශතයකි. වයස අවුරුදු 35 ත් 45 ත් අතර 31% පමණ ප්‍රමාණයක් ද, වයස අවුරුදු 45 ත් 55 ත් අතර 25% ක ප්‍රමාණයක් ද, සේවය කරන අතර, මේ වන විට වයස අවුරුදු 55 ද ඉක්මවා මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සේවක කරන පිරිස 16% කි.

මෙම මාධ්‍යවේදීන් වැඩිම කොටසක් අ. පො. ස. උසස් පෙළ හැදෑරුවන් වේ. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත්, 36% කි. එමෙන්ම අ. පො. ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදා ඇති අය 19% ප්‍රමාණයක් ක්ෂේත්‍රයේ කටයුතු කරන අතර, ඩිප්ලෝමා ලාභින් 28% ප්‍රතිශතයක්ද, උපාධිධාරින් 9% ක පමණ ප්‍රතිශතයක්ද ජනමාධ්‍යවේදිනියන්, ජනමාධ්‍යවේදීන් ලෙස මාධ්‍ය කර්‍මාන්තයේ නිරත වේ.

මෙම වාර්‍තාවට අනුව සිංහළ භාෂා මාධ්‍යයෙන් 65.2% ද, දමිළ මාධ්‍යයෙන් 34.3% ද, ඉංග්‍රීසි මාධ්‍යයෙන් 10.5% මාධ්‍ය වෘත්තියේ නියැලෙති. මේ අතරින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ 53.3ක් ද, රූපවාහිණී ක්ෂේත්‍රෙයේ 47.9% ද, ගුවන්විදුලි සේවාවන්හී 27.8% ද, ඩිජිටල් මාධ්‍යකරණයේ 27.5% ද සේවයේ නිරත වෙති. විශේෂත්වය වනුයේ ඔවුන්ගෙන් 90% ක්ම පුර්ණකාලින මාධ්‍ය වෘත්තියේ නිරත වීමයි. එහෙත් මෙම සමීක්ෂණය මගින් අනාවරණය වී ඇත්තේ ඔවුන්ගෙන් 18% කටම කිසිදු මාධ්‍ය පුහුණුවක් සඳහා අවස්ථාව ලැබි නොමැති බවයි.

මාධ්‍යවේදීන් අතුරින් ස්ථිර සේවයේ පිහිටුවා ඇත්තේ 21% කි. එසේම ඔවුන්ගෙන් ද උසස්වීම් පිළිබද ක්‍රියාපටිපාටියක් හිමිව ඇත්තේ 14% පමණ පිරිසකට පමණි. මාධ්‍යවේදීන්ගෙන් 52% පමණ ප්‍රතිශතයක් සේවය කරනු ලබන්නේ කෑලි ගණනට (peace rate) වන අතර තවත් 26% ක ප්‍රමාණයක් කොන්ත්‍රාත් පදනමින් සේවයේ යෙදෙයි. වන අතර අනිත් 86% ක පමණ ප්‍රමාණයකට කිසිදු උසස්වීම් ක්‍රියා පරිපාටියක් නොමැති බව තහවුරුකර ඇත.

දිවයිනේ මුද්‍රිත, විද්‍යුත් හා ඩිජිටල් මාධ්‍ය ආයතනයන් සඳහා සේවය ලබාදෙන 80% වඩා වැඩි පිරිසකට වාර්ෂික වැටුප් වර්‍ධක, සේවක අර්‍ථසාධක අරමුදලේ‍ ප්‍රතිලාභ, සේවක භාර අරමුදලේ ප්‍රතිලාභ, සේවා පාරිතෝෂික හෝ ප්‍රසාද දීමනා හිමි නොවන බවද මෙම සමීක්ෂණය මගින් හෙළිවී තිබේ.

මෙම වාර්‍තාවට අනුව පත්වීමේ ලිපියක් හිමිව ඇති පිරිස 66.8කි. පත්වීම් ලිපියක් රහිත පිරිස 31.2කි. බොහෝවිට අනුමාන කළ හැක්කේ සේවාව අළුත්කරනු ලබන ලිපිය, මොවුන් පත්වීමේ ලිපිය ලෙස සළකන බවකි. මාධ්‍ය හැදුණුම්පතට හිමිකම් කියන පිරිස 78.2% ක් වන අතර 21.8 ට හැඳුණුම්පතක් හිමිව නැත.

මෙවන් අඩු සැළකිළි යටතේ සේවය කරන අතරම, වෘත්තිමය වශයෙන් තමන් පීඩාවට පත්වූ අවස්ථාවන් සුලභ බව 68% ක පමණ ප්‍රමාණයක් දක්වා තිබේ. මාධ්‍ය වෘත්තිය කරගෙන යාමේදි තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව දක්වා ඇති මාධ්‍යවේදීන් සංඛ්‍යාව 77% කි. ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත පදනම්ව ප්‍රචන්ඩත්වයට ගොදුරු වූ පිරිස 16.4%කි.

මෙවන් තත්ත්වයක් යටතේ තම සේවා තත්ත්වය උසස් කර ගැනීම සදහා 98% කම අදහස වී ඇත්තේ තමන් සංවිධාන ගත විය යුතු බවකි. එසේම ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර සහය අවශ්‍ය බව 95% ක්ම පිළිගෙන තිබේ.

මෙම සමීක්ෂණය සඳහා මුද්‍රිත මාධ්‍යයට සම්බන්ධ මාධ්‍යවේදීන් 188 ක් සහභාගි වී ඇති අතර ඔවුන් ප්‍රතිශතයක් ලෙස ගතහොත් 53.3% කි. රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධව සහභාගිවී ඇති මාධ්‍යවේදීන්ගේ ප්‍රතිශතය 47.9% ක් වේ. එම ප්‍රමාණය සංඛ්‍යාත්මතව ගතහොත් 169 කි. මෙම සමීක්ෂණය සදහා ගුවන් විදුලි මාධ්‍යවේදීන් 98 ක්ද, ඩිජිටල් මාධ්‍යවේදීන් 97 ක් ද සම්බන්ධවී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 27.8% ක හා 27.5%ක අගයක් ගනියි.

ලංකාවේ වෘත්තීන් අතර අතිමහත් බහුතරයකට මූලික වෘත්තීය හිමිකම් අහිමි එකම වෘත්තිය ජනමාධ්‍ය වෘත්තිය බව මෙම සමීක්ෂණ වාර්‍තාව මොනවට පැහැදිළි කෙරේ. රටේ හතරවැනි පුරවැසියා, ජාතියේ මුරපල්ලා වැනි විශේෂිත ගෞරව නාමයන්ගෙන් හැඳින්වුවද ඒ සියල්ල කිසිදු වටිනාකමක් නැති ප්‍රලාපයන් සමූහයක් බව මෙම සමීක්ෂණ වාර්තාව මොනවට පැහැදිළි කරණු ලබයි.

2022 සැප්තැම්බර් මාසයේ සම්පූර්‍ණ කළ මෙම සමීක්ෂණ වාර්‍තාව, වෘත්තීමය ගැටළු පිළිබඳ විඩියෝපට 15 නිෂ්පාදනය, සමීක්ෂණය සඳහා තොරතුරු සපයමින් සහය දැක්වූ දිවයින පුරා මාධ්‍යවෙිදිනියන්, මාධ්‍ය සගයන් සැමට, IFJ-Union to Union (UTU) Global Union සම්පූර්‍ණ වැඩ සටහන සාර්‍ථක කිරීමට සහය දුන් සැමට, විශේෂයෙන් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයට (International Federation of Journalists-IFJ) මාධ‍්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සිය ප්‍රසාදය පළකර සිටී.

මෙයට, විශ්වාසී,

                                       

ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්
විධායක සභාව වෙනුවෙන්.