ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (International Federation of Journalists-IFJ) මග පෙන්වීම හා සහයෝගය ඇතුව IFJ-Union to Union (UTU) Global Union වැඩසටහන යටතේ, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය විසින් මාධ්‍යවේදීන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය හා ජනමාධ්‍ය කර්‍මාන්තය මුහුණදෙන අභියෝග පිළිබඳව සුවිශේෂී ගවේෂණයක යෙදෙමින් සකස්කරණ ලද සමීක්ෂණ වාර්‍තාව හා මාධ්‍යවේදින්ගේ වෘත්තීමය ගැටළු පිළිබඳව දැක්වෙන විඩියෝ පට 16 ක් ඇතුලත් ඩී.වී.ඩී. පටය, යාපනය දිස්ත්‍රික් මාධ්‍යවේදි, කේ. සෙල්වකුමාර් මහතා විසින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට කම්කරු අමාත්‍යාංශයේදි පිරිනමන ලදී.

එම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්, ආර් පී. ඒ. විමලවීර, කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්, ධර්මසිරි ලංකාපේලි, එහි ජාතික සංවිධායක ඩග්ලස් නානායක්කාර ඇතුළු මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ දිස්ත්‍රික් නායකයන් විශාල පිරිසක් සහභාගි විය.

මෙහිදි මාධ්‍යවේදීන් අමතමින් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, කෑලි ක්‍රමයට සේවය කළත් කොන්ත්‍රාත් ක්‍රමයට සේවය කළත් නිදහස් මාධ්‍යවේදී ක්‍රමයට සේවය කළත්, ඒ සියලු‍ දෙනාගේම වෘත්තීය සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීම ප්‍රතිපත්තියක් ලෙස කළ යුතු බවයි. කම්කරු අමාත්‍යාංශය ලෙස තමන් බැදි සිටින්නේ එලෙස සේවය කිරීමට බවත්, පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ද කොන්ත්‍රාත් සහ අර්ධකාලීන රැකියා කරන අයවලුන් ඇතුළත් වන පරිදි කම්කරු නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ බව සිහිපත් කළේය.

කම්කරු නීති සම්පාදනයේ දී පෙර මෙන් මාස අවුරුදු ගණන් ප්‍රමාද කිරීමට තමන් බලාපොරොත්තු නොවන බවත්, කම්කරුවාත් ව්‍යවසායකයාත් ආරක්ෂා වන පරිදි ඉතාම කඩිනමින් අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළ ඔහු මාධ්‍යවේදීන් අමතමින් වැඩි දුරටත් සදහන් කළේ මෙම නව නීති සම්පාදනයේදී මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමටත්, 2023 වර්ෂය අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමටත් තමන් බලාපොරොත්තු වන බවයි.

මෙම අවස්ථාවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ විධායක සභා නිළධාරීන් හා සියලුම මාධ්‍යවේදීන් නියෝජනය කරමින් දිස්ත්‍රික් නායකයින් ගණනාවක් සහභාගි වු අතර අදාල සමීක්ෂණ වාර්තාව හා වීඩියෝ පට ඇතුලත් ඩී.වී.ඩී. පට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා කම්කරු කොමසාරිස් වරයාට වෙතද ඔවුන් විසින් භාරදෙනු ලැබිය.