ආණ්ඩුව හැර සෙසු පක්ෂවලට “තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් ” කරුණු 10ක ලිපියක්

වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පාර්ලිමේන්තුවේ කෙලින්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ හැර සෙසු පක්ෂ නායකයන්ට සහ මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර තිබේ.
එම සම්පූර්ණ ලිපිය පහත පළවේ.

සජිත් ප්‍රේමදාස මහතා, නායක, සමගි ජන බලවේගය.

ආර් සම්පන්දන් මහතා, නායක, ඉලංකෙයි තමිල් අරුසුකච්චි,

අනුර කුමාර දිසානායක මහතා, නායක, ජාතික ජන බලවේගය.

රිෂාඩ් බදියුදීන් මහතා, නායක, සමස්ත ලංකා මහජන කොංග්‍රසය.

රාහුෆ් හකීම් මහතා, නායක, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා, නායක, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්

සී වී විග්නේෂ්වරන් මහතා, නායක, තමිල් මක්කල් තේසිය කූට්ටනි

සෙල්වම් අඩෛක්කලනාදන් මහතා, නායක, ටෙලෝ

ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා, නායක, ප්ලොට්

ඒ එල් එම් අතාවුල්ලා මහතා, නායක, ජාතික කොංග්‍රසය

මනෝ ගනේෂන් මහතා, නායක,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ

රනිල් වික්‍රමසිංහ මහතා, නායක, එක්සත් ජාතික පක්ෂය

මෛත්‍රිපාල සිරිසේන, සභාපති, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය

ආණ්ඩුව නියෝජනය නොකරන සියලුම පක්ෂ නායකවරුනි, මන්ත්රීවරුනි,

කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවීම සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීම සම්බන්ධවයි!

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් සහ වර්තමාන ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් කෙරෙන ජනතා අරගලය අධෛර්යමත් කිරීම සඳහා ආණ්ඩුව විසින් විවිධ මර්දනකාරී ක්‍රියාකාරකම් සිදු කරන අයුරු පසුගිය සති දෙක තුළ දක්නට ලැබිණි.

එවැනි මර්දනාකාරී වටපිටාවක් රටේ ක්‍රියාත්මක වෙද්දී, මහජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වය ගැන සතුටුදායක මට්ටමක් මහජනතාව තුළ මෙන්ම අප තුළද නැත. මහජන අරගලයේ ප්‍රධාන සටන් පාඨය ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකිරීම වන අතර ජනාධිපතිවරයාගේ මෙන්ම රාජපක්ෂවරුන්ගේ බලය ද පාර්ලිමේන්තුව තුළ අක්‍රීය කිරීමට ඔබ පක්ෂවලට හැකියාව තිබියදී ඒ සඳහා උද්යෝගයෙන් සහ සක්‍රීයව කටයුතු කරන බවක් පෙනෙන්නට නැත.

විශේෂයෙන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගකට අත්සන් ගැනීමේ කාර්යය ඔබ ආරම්භ කළ යුතුව තිබුණේ ජන අරගලය ආරම්භ කළ දිනවලදීම වුවද පාර්ලිමේන්තුවේ පසුගිය සතියේ විවාද අවසන්වනතුරුත් ඔබට එය සිදු කිරීමට නොහැකි විය. ඇතැම් පක්ෂ නායකයන් දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන යාම, එක්නැලිගොඩ අතුරුදන් කිරීම සහ පෝද්දල ජයන්තට පහරදීම ඇතුළු ජනමාධ්‍යවේදීන්ට සම්බන්ධ සිදුවීම් රැසකට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල වූ බව ඔබ සියලු දෙනාම හොඳාකාරව දන්නවා ඇතැයි අපි සිතමු. ඒ හේතුව සහ වෙනත් හේතු ගණනාවක් නිසා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ මංගමය ලෙස අපගේ ස්ථාවරය ද මේ මොහොතේ ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. රාජපක්ෂවරුන් ද තනතුරුවලින් ඉවත් කළ යුතු බව අපගේ ස්ථාවරයයි. ඔවුන් බලයේ සිටියහොත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධවලටද යුක්තියක් බලාපොරොත්තු විය නොහැකි අතර යුක්තිය ඉෂ්ඨ වීම නතර කිරීමට කුමන්ත්‍රණකාරී වැඩ සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. එවැනි කුමන්ත්‍රණකාරී වැඩ ගැන ලසන්ත වික්‍රමතුංග විමර්ශනවලදී මෙන්ම වසීම් තාජුදීන් ඝාතන විමර්ශනවලදී ද අනාවරණය විය.

රටේ සෑම ප්‍රදේශයකින්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරද්දී වෙනත් දේශපාලන පක්ෂවල කටයුතු ගැන ද මේ වන විට ජනතාව ප්‍රශ්න කරන තැනට තල්ලු වී තිබේ.

එසේ හෙයින් මේ මොහොතේ වහාම මැදිහත්වී පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
  1. මිරිහානේ පැවැති විරෝධතාවයේ දී ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිස් වහාම මුදා හැරීමට අවශ්‍ය බලපෑම් කිරීම සහ මිරිහානේ උද්ඝෝෂණයේදී ජනතාවට පහර දුන් පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමට බලපෑම් කිරීම,
  2. විරෝධතා මර්දනය කිරීමට ගන්නා උත්සාහයන් පරාජය කිරීමට අවශ්‍ය බලපෑම් කිරීම,
  3. අරගලකරුවන්ට සහාය දක්වමින් සහ ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාකාරිත්වයට විරෝධය පළකරමින් රට පුරා විරෝධතා නොනවතින මාලාවක් සියලුම පක්ෂවල එකමුතුවෙන් හෝ වෙන් වශයෙන් හෝ සිදු කිරීම,
  4. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස කෙරන උද්ඝෝෂණ මාලාව විශේෂ තත්ත්වයක් සේ සලකා වහාම හෙටම (14) පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීම,
  5. පාර්ලිමේන්තුව ඇතුළේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම සහ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභිගෝයක් ගෙන ඒම,
  6. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම,
  7. කඩිනමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් හෝ විධායක ජනාධිපතිගේ අත්තනෝමතික බලතල අහෝසි කෙරෙන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර සම්මත කර ගැනීම,
  8. නිශ්චිත කාලයක් ඇතුළත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම,
  9. රාජපක්ෂවරුන් කළ අපරාධවලට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලපෑම් කිරීම,
  10. ජනතාව ස්වාධීනව කරන අරගලයේ හිමිකාරිත්වය කිසිම පක්ෂයකින් නොගැනීම,

මෙම යෝජනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර සියලුම දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කරන අතර මේවා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස බල කර සිටිමු. මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරිපත් නොකරන්නේ එම පක්ෂයේ ප්‍රධානීන් දිගින් දිගටම අරගලය මර්දනය කිරීමට සහාය දක්වන බැවින් සහ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට මැදිහත්වන බැවිනි.

ස්තුතියි.

මෙයට,

විශ්වාසී,

“ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය”

 

මිරිහාන සාමකාමී උද්ඝෝෂණයට හා වාර්‍තා කළ මාධ්‍යවේදීන්ට එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරයේ වගකීම රජය භාරගත යුතුයි. – FMETU

තමන් මිරිකෙමිිින් සිටින ජීවනබර අඩුකර සහන සළසන ලෙස ඉල්ලා, නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පැවති සාමකාමී උද්ඝෙෂණයට පොලීසිය හා ආරක්ෂා හමුදා විසින් එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත්කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය සමිපූර්ණයෙන් පහත පළවේ.               

මාධ්‍ය නිවේදනය, 2022 අප්‍රේල් 02

මිරිහාන සාමකාමී උද්ඝෝෂණයට හා වාර්‍තා කළ මාධ්‍යවේදීන්ට එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරයේ වගකීම රජය භාරගත යුතුයි.

තමන් වෙත එල්ලවෙමින් තිබෙන දැරිය නොහැකි ආර් ථික පීඩනය  හමුවේ සහන ඉල්ලා රජයට බලපෑම් කරමින්, නිහඞ විරෝධතාවයක නියැලුනු, නුගේගොඩ, මිරිහාන ජනතාව වෙත හා උද්ඝෝෂණය වාර්‍තා කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට පොලීසිය හා ආරක්ෂක හමුදා විසින් එල්ල කරනු ලැබූ ම්ලේච්ච, නිවට, බියගුලු ප්‍රහාරය මාධ්‍ය සේවක වෘත්තී‍ය සමිති සම්මේලනය, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සමග එකතුවෙමින් දැඩිව හෙළා දකී. ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 167න් සමන්විත, ලක්ෂ හයකට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක්  සාමාජිකත්වය උසුලන ලෝකයේ ප්‍රබල ම මාධ්‍ය සංවිධානය වේ.

මේ අතර මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි කියාගත් පිරිසක් ජනමාධ්‍යවේදීන්ට වහාම වාර්‍තාකරණයෙන් ඉවත්වෙන ලෙසට තර්‍ජනයකර ඇති අතර “අප උඹ ගැන පස්සේ බලාන්නම්” යනුවෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා බියගන්වා තිබේ. ඔහු මේ පිළිබඳව මිරිහාන පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබේ.

පොලීසියේ හා ආරක්ෂක හමුදා පිරිස්, පහරදී වධහිංසාවන්ට ලක් කිරීම් සිදු කරමින් අත්අඩංගුවට ගනු ලැබූ මාධ්‍යවේදීන් අතර, සිදුවීම මුළුමණින්ම සජීවීව වාර්‍තා කළ සිරස මාධ්‍යවේදී අවංක කුමාර, චතුර දේශාන්, දෙරණ මාධ්‍ය ආයතනය නියෝජනය කළ සුමේධ සංජීව ගාල්ලගේ, ප්‍රදීප් වික්‍රමසිංහ, නිශ්සංක වේරපිටිය හා ලංකාදීප මාධ්‍යවේදී වරුණ වන්නිආරච්චි ද විය. බරපතල ලෙස තුවාල ලැබූ මාධ්‍යවේදීන්ට අවශ්‍ය මූලික ප්‍රතිකාර සඳහා නිසි ලෙස රෝහල්ගත කිරීමක් හෝ සිදුකිරීමට පොලීසිය කාරුණික නොවීය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කළ ද, ඒ පිළිබඳව නොසළකා හරිමින් එල්ල කළ මෙම  බියගුලු ප්‍රහාරය ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය වාර්‍තාකරණය වළක්වාලීමේ අරමුණින් යුතුව සිදුකළ මිලේච්ඡ ක්‍රියාවක් බවට සැකයක් නැත. මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම පිළිඳව රජය සම්පූර්‍ණයෙන් වගකීම භාරගතයතු බව  මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අවධාරණයකර සිටී.

එබැවින් මෙම ප්‍රහාරය පිළිබඳව පුළුල් කඩිනම් පරීක්ෂණයක් සිදුකර, මාධ්‍යවේදීන්ට හා සාමකාමී ජනතාවට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වා ජනතාව වෙත තොරතුරු ලබාදීමට මාධ්‍යවේදීන්ට ඇති ශුද්ධ අයිතිය ආරක්ෂා කරන ලෙසත් ජනාතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා නොකරන ලෙසත්   මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය රජය ප්‍රමුඛ බලධරයන්ගේන් දැඩිව ඉල්ලා සිටී.        

විශ්වාසී

                                       

ධර්‍මසිරි ලංකාපේලි, ප්‍රධාන ලේකම්, 077 364  1111

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ආරක්ෂාව හා වෘත්තීය ගරුත්වය සඳහා කඩිනම් මැදිහත්වීම

2022 මාර්තු 17

ඩලස් අලහප්පෙරුම මැතිතුමා,
ජනමාධ්‍ය ඇමති,
ජනමාධ්‍ය අමාත්‍යාංශය.

ගරු ඇමතිතුමනි,

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ආරක්ෂාව හා වෘත්තීය ගරුත්වය සඳහා කඩිනම් මැදිහත්වීම

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ආරක්ෂාවට හා වෘත්තීය ගරුත්වයට හානි කෙරෙන සිදුවීම් දිනෙන් දින වර්ධනයවීම කණගාටුවට කරුණකි. එවැනි ක‍්‍රියා වැළැක්වීම වෙනුවෙන් ඔබගේ කඩිනම් මැදිහත්වීම අපේක්ෂාවෙන් මෙම ලිපිය ඔබතුමා වෙත ඉදිරිපත් කරමු.

ඔබ අමාත්‍යාංශයේ සෘජු පාලනය යටතේ පවතින ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිදහස් මාධ්‍යවේදිනී නිලේප්ති රණසිංහ මහත්මියගේ සේවය පාලනාධිකාරියේ උපදෙස් මත වහාම ක‍්‍රියාත්මකවන පරිදි අත්හිටුවා ඇත. සේවය අවසන් කිරීමට හේතුව වශයෙන් ඇයට පාලනාධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ ඇයගේ ෆේස්බුක් පිටුවේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තැබූ සටහනක් බව ය.

එසේම මාධ්‍යවේදී රාහුල් සමන්ත මහතාගේ ප‍්‍රවෘත්ති වාර්තාකරණයක් පිළිබඳව භාරත ලක්ෂ්මන් මහතාගේ ඝාතනයට අධිකරණයෙන් වරදකරුවෙකුවී සිර දඞුවම් විඳිමින් සිටි, පසුව ජනාධිපති සමාව ලැබූ, වර්තමානයේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන දුමින්ද සිල්වා නමැති අය විසින් දුරකථනයෙන් තර්ජනාත්මකව කරුණු විමසා තිබේ.

මේ සිදුවීම් දෙක ම පිළබඳව ඔබතුමා වෙත වාර්තාවී ඇති බව දැන ගන්නට තිබේ. වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස ද අත්දැකීම් සහිත ඔබ මේ සිදුවීම් දෙකම අනුමත නොකරන බව අප සම්මේලනය විශ්වාස කරනු ලබයි.

රටවල් 160ක, ලක්‍ෂ හයක් ඉක්මවූ වූ සාමාජික මාධ්‍යවේදීන් නියෝජනය කරන ’ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ :(International Federation of Journalists-IFJ) පූර්ණ සාමාජිකත්වය දරණ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය මේ ක‍්‍රියාවන් දෙක ම දැඩිලෙස හෙළා දකී. එසේම මෙම සිදුවීම් දෙක පිළිබඳව කඩිනම් විමර්ශනයක් පවත්වා ඔවුනට යුක්තිය ඉටු කිරීමට මැදිහත්වෙන ලෙසත්, භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරමින් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ආරක්ෂාව හා ගරුත්වය ආරක්ෂා කිරීමට මැදිහත්වෙන ලෙසත් අප සම්මේලනය ඔබතුමාගෙන් දැඩිව ඉල්ලා සිටී.

මෙයට, විශවාසී,


ධර්මසිරි ලංකාපේලි
ප‍්‍ර‍්‍රධාන ලේකම්
077 364 1111

fmetu123@gmail.com

මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රමට එල්ල කළ තිරශ්චීන මැර ප‍්‍රහාරය හෙළාදකිමු.

මාධ්‍ය නිවේදනය

2022 පෙබරවාරි 15

මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රමට එල්ල කළ තිරශ්චීන මැර ප‍්‍රහාරය හෙළාදකිමු.

මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට එල්ල කරනු ලැබූ මිලේච්ඡ, නිවට, බියගුළු ප‍්‍රහාරය මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සමග එකතුවෙමින් දැඩිව හෙළා දකී.

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 167 න් සමන්විත, ලක්ෂ හයකට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක් සාමාජිකත්වය උසුලන ප‍්‍රබලම මාධ්‍ය සංවිධානයකි.

චමුදිත සමරවික‍්‍රම, දිර්ඝ කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ දේශපාලකයන්ගේ සහ සමාජ විරෝධී පිරිස් විසින් සිදුකරනු ලබන ක‍්‍රියාවන් දැඩිලෙස විවේචනයට බඳුන්කරනු ලබන ප‍්‍රකට මාධ්‍යවේදියෙකි. ප‍්‍රහාරයට ලක්වෙන අවස්ථාව වෙනවිට ”හිරු” රෑපවාහිණී නාලිකාවේ ”පත්තරේ” සහ ””සළකුණ” වැඩ සටහන් තුළින් ප‍්‍රබල ලෙස මාධ්‍යවේදීයෙකුගේ භූමිකාව මැනවින් ඉටුකරමින් සිටි මාධ්‍යවේදීයෙකි.

මෙම බියගුලූ ප‍්‍රහාරය ඔහුගේ මාධ්‍ය භාවිතය වළක්වාලීමේ අරමුණින් යුතුව සිදුකළ මිලේච්ඡ ක‍්‍රියාවක් බවට සැකයක් නැත. ආයුධ සන්නද්ධව, ආරක්ෂිතව පැමිණ මෙවැනි ප‍්‍රහාරයක් එල්ල කිරීම පිටුපස පුබල හස්තයක් සහිත මෙහෙයවීමක් පවතින බව අනුමාන කළහැකිය. දශක ගණනාවක් පුරාවට සිදුවූ, ජනමාධ්‍යවේදීන් මරාදැමීම්, අතුරුදහන් කිරීම්, පහරදීම්, ජනමාධ්‍ය ආයතන ප‍්‍රහාරයට ලක්කිරීම් වැනි, තවමත් විධිමත් විමර්ශනයන්ට භාජනය නොවුනු සිදුවීම් රැසක් තිබෙන බව රටට රහසක් නොවේ. ඒ සියළු සිදුවීම් සියල්ල පිටුපස ප‍්‍රබල දේශපාලන හස්තයන් පැවති බව ජනතාවට ද රහසක් නොවේ. මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රමට එල්ල කළ ප‍්‍රහාරය ද එවැනිම ක‍්‍රියාවක් බවට සැක කළ හැකිය.

මෙවැනි සන්නද්ධ මැර ප‍්‍රහාරයන් පිළිබඳව කඩිනමින් සොයාබලා මැරයන් එරෙහිව තදින් නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව අප සම්මේලනය අවධාරනය කර සිටී. එවැනි ක‍්‍රියාමාර්ගයකින් මිස මෙවැනි සිදුවීම් පිළිබඳව රාජ්‍ය හෝ දේශපාලන මැදිහත්වීම් පිළිබඳව ජනතාව තුළ පවතින සැකය බැහැර කළ නොහැක.

එබැවින් මෙම ප‍්‍රහාරය පිළිබඳව පුළුල් කඩිනම් පරීක්ෂණයක් සිදුකර, චමුදිතට එල්ල කළ ප‍්‍රහාරය පිටුපස සිටින සැබෑ මැරයන් කවුදැයි රටට හෙළිකරන ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය රජය ප‍්‍රමුඛ බලධරයන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

විශ්වාසී,


ධර්මසිරි ලංකාපේලි
ප‍්‍රධාන ලේකම්

ජනවාරිය තවම කළුයි! ඝාතකයන්, චුදිතයන් නිදැල්ලේ! ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධයන්ට යුක්තිය කෝ?

ජනවාරිය තවම කළුයි!
ඝාතකයන්, චුදිතයන් නිදැල්ලේ!
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධයන්ට යුක්තිය කෝ?

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දුමින්ද සම්පත් හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලසන්ත සිල්වා සොහොයුරන්ගේ ඉල්ලීම මත  ”කළු ජනවාරිය” සමරන්නට යොදා ගන්නට මවිසින් ලියූ සටහන සංවර්ධනය කර ලියන්නට හිතුවේ සිදුවීම් පිළිබඳව බැඳුණු සටහන් ගනනාවක් මුහුණු පොතේ සංසරණය වෙමින් පවතින නිසාම ය. උවිඳුගේ සටහන ඒ අතරිනන් ප්‍රමුඛ වේ.

මාධ්‍ය ක්‍රියාකාරීන්ට අනුව ජනවාරි මාසය යනු ”කළු” මාසයකි. ජනවාරිය යනු ”කළු ජනවාරියකි”. එ් මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා වගකිවයුත්තන්ට බලපෑම් කිරීමේ මාසය ලෙස ජනවාරි මාසය යොදා ගන්නට සිදුව තිබීම නිසාය.

ජනවාරි මාසය තෝරා ගෙන ඇත්තේ අනෙක් මාසවල අපරාධ සිදු නොවූ නිසා ම නොවේ. ජනමාධ්‍යවේදීන්ට, ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව බහුතරයක් සිදුවීම් ජනවාරි මාසය තුළ සිදුව ඇති නිසා ය.

ඒ මෙහෙමයි!

සුබ්‍රමනියම් සුගීර්දරාජන් ඝාතනය කළේ 2006 ජනවාරි 24. රෑපවාහිණියේ ලාල් හේමන්ත මාවලගේට ප්‍රහාරයක් එල්ල කළේ 2008 ජනවාරි 23. සිරස මැදිරි සංකීර්ණය ක්ලේමෝ බෝම්බ ගසා ගිනි තැබුවේ 2009 ජනවාරි 06. සන්ඩේ ලීඩර් කර්‍තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය  කළේ 2009 ජනවාරි 08. රිවිර කර්‍තෘ උපාලි තෙන්නකෝන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවුනේ 2009 ජනවාරි 23. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සිදුවුනේ 2010 ජනවාරි 24. ලංකා ඊ නිවුස් කාර්‍ය්‍යාලය ගිනි තිබ්බේ 2011 ජනවාරි 30.

 

මේ අයුරින් පසුගිය පාලනයන් සමයන්හිදී ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනයන්ට එරෙහිව සිදුකළ බිහිසුනු, මිලේච්ඡ ප්‍රහාරයන් ගණනාවක් නිසා ජනවාරි මාසය අපට “කළු” මාසයකි.

2000 – 2015 කාලපරාසය තුළ, ශිෂ්ඨ සමාජයක් නොඉවසන, ජනමාධ්‍යයට එරෙහි ඒ අපරාධම ය, බිහිසුනු සිදුවීම් ලැයිස්තුවෙන් කොටසක් මෙසේ සටහන් කළ හැක.

ඝාතන
  1. මයිල්වාහනම් නිමලරාජන් ඝාතනය 2000.10.19
  2. අයියාතුරෙයි ජී නඩේෂන් ඝාතනය 2004.05.01
  3. කන්දසාමි අයියර් බාලනඩරාජ් ඝාතනය 2004.08.16
  4. ධර්මරත්නම් සිවරාම් ඝාතනය 2005.04.28
  5. රේලන්ගී සෙල්වරාජා ඝාතනය 2005.08.12
  6. සුබ්‍රමනියම් සුගීර්දරාජන් ඝාතනය 2006.01.24
  7. සම්පත් ලක්මාල් ද සිල්වා ඝාතනය 2006.07.01
  8. සුභාෂ් චන්ද්‍රබෝස්           ඝාතනය 2007.04.16
  9. සෙල්වරාසා රජිව්වර්මන් ඝාතනය 2007.04.29
  10. සහදේවන් නිලක්‍ෂන් ඝාතනය 2007.08.01
  11. පරණිරූපසිංහම් දේවකුමාර් ඝාතනය 2008.05.28
  12. ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2009.01.08
අතුරුදහන් කිරීම්
  1. සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් අතුරුදහන් කිරීම 2007.02.15
  2. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම 2010.01.24
ප්‍රහාරයන්ට ලක්වූවන්
  1. ටී.එම්.ජී. චන්ද්‍රසේකර පහරදීම 2007.12.27
  2. ලාල් හේමන්ත මාවලගේ පහරදීම 2008.01.25
  3. කීත් නොයාර් පැහැරගෙන යෑම/පහරදීම 2008.05.22
  4. නාමල් පෙරේරා පහරදීම 2008.06.30
  5. රදිකා දේවකුමාර් වෙඩි තැබීම 2008.09.08
  6. උපාලි තෙන්නකෝන් පහරදීම 2009.01.23
  7. එන්. විද්‍යාදරන් පැහැරගෙනයාම/ පහරදීම 2009.02.26
  8. පෝද්දල ජයන්ත පැහැරගෙනයාම/ පහරදීම 2009.06.01
  9. ඥාණසුන්දරම් කුගනාදන් පහරදීම 2011.07.29
  10. මන්දනා ඉස්මයිල් තර්ජනය කිරීම 2013.08.23
මාධ්‍ය ආයතනවලට ප්‍රහාර

1 සුඩරෝලි පුවත්පත් ආයතනය -බෝම්බ ප්‍රහාරය 2005.08.29

2 උදයන් පුවත්පත් ආයතනය ගිනි තැබීම/වෙඩි තැබීම් 2006.6.2/2013.04.13

3 සිරස රූපවාහිනිය මැදිරි විනාශ කිරීම 2009.01.06

4සියත ආයතනය           පහරදීම 2010.07.30

5 ලංකා ඊනිවුස් ආයතනය ගිනි තැබීම 2011.01.30

මේ ලැයිස්තුවට අමතරව අදාල කාල වකවානුව තුළ, අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීම අරමුණු කරගත් සෘජු ප්‍රහාර නිසා මාධ්‍ය සේවකයින්, පුවත්පත් නියෝජිතයන්, බෙදාහරින්නන් සහ මුද්‍රණාල සේවකයින් 12 දෙනෙක් ඝාතනය කර ඇති බව වාර්‍තාවේ.

(මේ ප්‍රහාරයන්ගේ දින වකවානු සහිත තොරතුරු සිතා රංජනී ගේ සටහනකින් උපුටා ගැනින.)

මේ සෑම සිදුවීමකට ම පාහේ යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් අවශ්‍ය මූලික පැමිණිලි සියල්ල ගොනුකර තිබේ. ඉහත දැක්වෙන ලැයිස්තුවේ බහුතරය දෙමළ මාධ්‍යවේදීන් වූවා සේම, ඝාතනය වූ මාධ්‍ය සේවකයින් 12 දෙනාම දෙමළ ජාතිකයන් වේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ පරීක්ෂණවලින් සැක කරුවන් ද හඳුනා ගෙන තිබියදී ඒවා අතර මඟ නතර වී ඇත.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් 2010 පෙබරවාරි 26 දින පොලිස් ත‍්‍රස්ත විමර්ශන අංශය ජේසුදාසන් නමැත්තෙකු අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවේ පසුවූ සැකකරු පී. ජේසුදාසන් හදිසියේ බන්ධනාගාරය තුළදි මිය ගියේය

ලසන්තගේ වැඩිමහල් සොහොයුරා ලාල් වික‍්‍රමතුංග වරක් කිව්වේ ”ජෙනරාල් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ” කියා ජනාධිපති මහින්ද රාජපක්ෂ, තමාට තුන් වරක් ප‍්‍රකාශ කළ බවකි. 2015 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව ලසන්ත ඝාතන පරීක්ෂණ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. ඒ පරික්ෂණත් මන්දගාමි වුනා

2016 ජුලි 16 දින ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළා. 2016 ජුලි 27 දින අත්අඩංගුවට පත් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා, ලසන්ත වික‍්‍රමතුංගගේ රියදුරා උසාවියේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනා ගත්තා. උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙම සෙබකා චෝදනා ලබා ඇති බව පොලිසිය උසාවියට කිව්වා. 2016 සැප්තැම්බර් 27 දින නව මරණ පරීක්ෂණයට ලසන්තගේ දේහය ගොඩ ගත්තා. අදාල පරික්ෂණත් යම් සීමාවකදි ඇන හිටිය.

හේග් නුවර ජනතා අධිකරණයේදී ජනවාරි 12, සහ 13 යන දිනවල සාක්ෂි විමසීමට නියමිතව තිබී කොවිඩ් නිසා අප්‍රේල් මස දක්වා කල් තබා ඇති, ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව ජාත්‍යන්තර අධිකරණයක් වෙත රැගෙන යන්නට සිදුව ඇත්තේ යුක්තිය උදෙසාම ය.

ලසන්තගේ වගේම සිවරාම් ඝාතනය, එක්ණැළිගොඩ අතුරුදන් කිරීම,  මේ සෑම ඝාතනයක්, පහරදීමක්,  සිදුවීමක් සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි ප්‍රමාණයක් සොයාගන්නට පොලීසිය සමත්වී තිබේ.

උතුරේදී අතුරුදහන් වූ සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් හමුදා මුර පොළකදී අත්අඩංගුවට ගත්තේ මිතුරකු සමඟ යමින් සිටියදීය. අවසන්වරට අසවල්  හමුදා කඳවුරේ සිටින බව දන්වා ඔහුගේ නිවසට දුරකතන ඇමතුමක් දී ඉක්මනින් එන්න ලැබේයැයි ඔහු ප්‍රකාශ කළත් ආපසු ආවේ නැත.

රෑපවාහිණියේ ටීඑම්ජීට හා රෑපවාහිණී සේවකයන්ට පහර දුන්නේ රූපවාහිනියට කඩා වැදුණු එකල ඇමැතිවරයෙක් වූ මර් වින් සිල්වා ය.

හමුදා බුද්ධි අංශ සමඟ සම්බන්ධකම් පවත්වමින් වැරැදි මාධ්‍ය භාවිතාවක යෙදුණු බවට පසුව අනාවරණය වූ සම්පත් ලක්මාල් අවසන් වරට නිවසින් පිට වී තිබුණේ ඔහු නිතර සම්බන්ධතා පැවැත්වූ මිතුරු හමුදා බුද්ධි අංශ නිලධාරියා සමඟ බව ඔහුගේ මව ප්‍රකාශ කර තිබුණි.

මේ හමුදා නිළධාරියාගේ නම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිද්ධියේදී ද කරළියට ආවේය. මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනියගේ නිවසට කඩා වැදුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමට සිය අවශ්‍යතාව ඉටු කර ගැනීමට හෝ ඇයට විපතක් කිරීමට හෝ හැකි වූයේ නැත.

2000 වසරේදී ඝාතනය වූ නිමලරාජන් සම්බන්ධ නඩුව දිගු කලක් බහා තබා තිබූ අතර එම නඩුව නීතිපති නියෝග මත අවසන් කරන ලද්දේ සැකකරුවන් ලෙස ඇප පිට සිටි හය දෙනා නිදොස් කොට නිදහස් කිරීමෙනි. නිමලරාජන් මරා දැමූ කෙනෙක් නැත.

මේ ආකාරයටම ධර්මරත්නම් සිවරාම් ඝාතන නඩුව ද බහා තබා ඇති එකකි. එය අවසන් කරන්නේ කෙසේද, කවදාද නොදනිමු.

පසුගිය යහපාලන සමයේ, ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වැනි පරීක්ෂණ ආරම්භ වූ සිදුවීම් කිහිපයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කොට ඔවුන්ට රැකියා ද ලබා දීමට කටයුතු කළේ වත්මන් ආණ්ඩුව ය.

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඇසට පෙනෙන, සහ ඔප්පු කළ හැකි සාක්ෂි තිබුණත් අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට, ආරක්ෂාව සපයන්නේ කවුද ?

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වන දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් ලෝක අවධානය දිනා ගන්නට මැදිහත්විය යුතුව ඇත. මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරවා ගන්නට නම් ඒ සඳහා ම වූ දේශපාලන අධිෂ්ඨානයක් ද අවශ්‍යය. මාධ්‍යවේදීන්ට ඒ සඳහා දිගටම බලපෑම් කිරීමට සිදුවෙනු ඇත.

මේ ඝාතන, අතුරුදහන්  කිරීම්, ප්‍රහාරයන් හා සිදුවීම් හා බැඳුණු තවත් ඛෙදනීය සිදුවීම් රැසක් මතකයෙන් බැහැර කළ නොහැක.

ඒ අතර ම එදා මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරිත්වයේ ප්‍රමුඛයන් රැසකට මරණයෙන් බේරී තමන්ගේ ජීවිතය බේරාගන්නට රටෙන් පිටවෙන්නට සිදුවිය.

https://www.facebook.com/uvindu.kurukulasuriya/posts/10158666353649818 20021 උවිඳු “මාරන්තික පහරදීම් වලට ලක්වුන​ පෝද්දලටවත් උපාලිටවත්, කීත්ටවත්, මරාදාපු කාටවත් දැන්ම යුක්තිය ඉටුවෙන එකක් නැහැ” කියල අවසන් කරපු සටහන නැවත ඇස ගැටුන නිසා උවිඳුගේ සටහන පූර්‍ණ කරන්න හිතුන.

ඇත්ටම මහින්ද ආණ්ඩුවට එදා මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරිත්වය හරිම හිසරදයක් වුනා. සිදුවීමක් උන සැණින් මාධ්‍ය සංවිධාන පහ (නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සංසදය, මුස්ලිම් මාධ්‍ය සංසදය සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය) ක්ෂණිකව ක්‍රියාත්මකවී හැම සිදුවීමකට ම ප්‍රතිචාරය දැක්වූවා.

ජනමාධ්‍යවේදීන්ට එරෙහි ආණ්ඩුවේ මර්‍ධනය එන්න එන්න ම දරුණු වෙන්ට වූ නිසා ජීවිත බේරාගන්න මේ නායකයන්ට රටින් පිටවෙන්නට අවශ්‍ය මග පෙන්වීම කළේ ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය(IFJ). උවිඳු කියන, ලංකාවෙන් පිටව ගිය මේ පිරිස සමග කළින් දවසෙ රාත්‍රිය මමත්, අජිත් සෙනවිරත්නත් නිදාගෙන හිටියෙ එකට මල් පාරේ, විකල්ප ප්‍රතිපත්ති කේනද්‍රය ලබාදුන් ආරක්ෂිත නිවස්නයේ. (Safety House) ඒ දවස්වල නායකයො හැමදෙනාම පාහේ ඒ දිනවල රාත්‍රිය ගත කළේ මේ නිවස්නයේ. මේ කියන අයගේ පිටත්වීම ගැන මම හෝ අජිය දැනගෙන හිටියෙ නෑ. උදේ නැගිටල බලන කොට අපි දෙන්න විතරයි. අනෙක් අය නෑ. විපරම් කිරීමෙන් පසුව තමයි මේ පිළිබඳව දැනගන්න හැකියාව ලැබුුනෙ.

මේ අයගේ පිටත්ව යෑමෙන් පසුව ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) මේ ලියුම්කරුට ද රටින් බැහැවන්ට උපදෙස් දෙන්න වුනා.

මේ ඒ මැදිහත්වීම

නමුත් මවිසින් ඇමෙරිකානු නිළධාරියා, Jeff Anderson හමුවී  මේ මැදිහත්වීම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. මේ හමුව සඳහා Sunday Obsover පුවත්පතේ රොෂෑන් සහ පෝද්දල සහභාගි වුනා. ඇත්තට ම පොද්දල ඒ සාකච්ඡාවට සම්බන්ධකර ගැනීමට මට විශාල වෙහෙසක් දරන්නට වුනා. ඒ බව පෝද්දල හොඳින් දනී.

උවිඳු පොද්දල ගැන තබා ඇති කරුණු සියල්ල සත්‍ය මත පදනම්ව තැබූ සටහනකි. ඒ පිළිබඳව මා හා පෝද්දල හොඳින් දන්නා තවත් කරුණු කිහිපයක් එකතු කරන්නේ ඌන පූරණයක් ලෙසිනි.

පෝද්දල පහරකෑමට ලක්වූ දින සවස සේවය අවසන්කර යන අතරතුර “ලේක්හවුස් සේවක සංගම්” කාර්‍ය්‍යාලයේ දොරකඩට පැමිණ “මචං” කියා විනඩියකට නැවතී මා ඇමතුවා. ” උඹ මහින්ද රාජපක්ෂ කැඳවල තියෙන් මාධ්‍ය සංවිධාන සාකච්ඡාවට යන්නෙ නැද්ද? ” නෑ මචං, අතුල අයියා (විකටර් අයිවන්) කිව්වා මම දැක්කොත් මහින්දට තරහ යයි කියල වෙන කෙනෙක් යවන්න කියල.” පොද්දල කිව්ව.

“මචං උඹ ගියා නම් හරි! උඹේ අනතුර පහව යන්නත් ඉඩ තියෙනව. උඹ දැක්ක ගමන් මහින්ද අහයි, හා කොහොමද පෝද්දල කියල” මම කිවිව. පොද්දල වචනයක් දුන්නෙ නෑ. පිටවෙලා ගියා. ඔහුගේ මුහුණේ පැවති තැතිගත් ස්වභාවය මට අදටත් මැවිල පේනව.

මම පෝද්දලට කිවවෙ මගේ අත්දැකීම. ඒ සාකච්ඡාවට ගියා නම් පොද්දල සමහරවිට තවමත් ලංකාවේ කියල මට හිතෙන්නේ මහින්ද රාජපක්ෂ ගැන මට කියැවීමක් තියෙන නිසා. මේ මාධ්‍ය සංවිධාන සාකච්ඡාව කැඳෙව්වෙ ම ඒ වනවිටත් ආණ්ඩුවට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟුනු අපකීර් තිය පොද්දල හරහා සමනය කරගන්නට කියලයි මම හිතන්නෙ. ඒ නිසා පෝද්දල ඒ සාකච්ඡාවට ගියා නම් එදා සිදුවුනු ප්‍රහාරය වලකින්නට තිබුණා කියන අදහසේ අදත් මම ඉන්නවා.

ඇමරිකන් තානාපති කාර්‍ය්‍යාලයෙන් මට ලැබුනු ආරාධනය සමග පෝද්දල මම රැගෙන ගියේ මේ අනතුර පිළිබඳව මට ඉවක් තිබුන නිසා. මම මොනතරම් පැහැදිළි කරන්නට උත්සාහ කළත් Jeff Anderson ඒ පිළිබඳව සැළකිල්ලක් දැක්වූයේ ම නෑ.

පෝද්දලට එල්ල වූ ප්‍රහාරයත් සමග Jeff Anderson ගේ අවධානය පෝද්දල වෙත තදින් යොමුවුනා.

ඔහු සහ IFJ Asia Pasipic නායකයන් සමග ඇතිවූ ඊමේල් සංවාද සටහන් එකතු කරන්නේ ලිපිය කියවන අයගේ අවබෝධය පිණිසම ය.

ලිපිය දීර්‍ඝ වුනා. කරුණුමය වශයෙන් සනාථ කිරීමටත්, ඉතිහාසය හැදෑරීම ඉදිරි ගමනට දායකවන නිසාත් මේ කරුණු එකතු කළා. ඒ නිසා ම ලිපිය දීර්ඝ වුනා. එහෙත් ඒ වෙනුවෙන් කරන්නන් වාලේ යමක් කරනවාට, ලියනවාට වඩා මාධ්‍ය සංවිධාන, මාධ්‍යවේදීන් අයෝමය බැඳීමකින් යුතුව යුක්තිය වෙනුවෙන් නොනවතින අරගලයක නිරත විය යුතු කාලය එළඹ තිබේ.

එක්සත්කම වඩාත් වඩාත් තහවුරු කළයතු අවධියක “තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය” මාධ්‍ය සංවිධාන එකතුවෙන් හේතු නොවිමසා ම  ඉවත්කර ඇති බව වාර්‍තා වේ. වර්‍තමානයේ ජනමාධ්‍යවේදීන්ට පමණක් නොව සකල දේශවාසී හැමදෙනාටම මාස දෙළහ ම කළු වෙමින් තිබෙන වටපිටාවක එය හෙළාදැකිය යුතු ක්‍රියාවකි.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන්ට “කළු “ජනවාරියක් වූ ජනවාරිය සුදු කරගන්නට රටේ පලල් ජනතාවත් එකතු කරගෙන යායුතු දුර අරගලයකට  කාලය පැමිණ ඇති බව  අවසන් වශයෙන් සටහන් කරමි.

ධර්‍මසිරි ලංකාපේලි 

ප්‍රධාන ලේකම්,

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය.

මිනිසුන්ට අසීමිතව ආදරය කළ මිනිසෙක්.., මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා

ජනවාරිය, ගතව ගිය දශක කිහිපය තුළ මාධ්‍ය නිදහස, භාෂණයේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය  උදෙසා මෙන්ම දූෂණය සහ භීෂණයට එරෙහිව හඬ නැගූ මාධ්‍ය සගයන් ඝාතනයට, පැහැර ගැනීමට සහ වධ බන්ධනවලට ලක් වූ මාසයයි. එම හේතුවෙන් ”කළු ජනවාරිය” ලෙස නම් කරමින් ඝාතනයට හා පැහැරගැනීමට ලක්වූ මාධ්‍යවේදින්ට යුක්තිය ඉල්ලා හඬ නැගීමට සියළු මාධ්‍ය සගයන් මේ දිනවල කටයුතු කරනු ලබයි.

එහෙත් කාලයත් සමඟ එසේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් පිළිබඳ මතකයන් අපට තිබේද? ඔවුන්ට යුක්තිය ඉල්ලා අඛණ්ඩව අප හඬ නැඟුවේද? පිළිතුර, නැත යන්නයි. කාලයත් සමඟම සමහරුන් අපට අමතකව යන අතර ඒ හේතුව නිසාම, එක් කළෙක ඝාතකයා, තවත් විටෙක යුක්තිය ඉල්ලා හඩා වැටෙන්නෙකු බවට පත්වෙන වන අතර යුක්තිය ඉල්ලා කෑමොර දෙමින් බලයට පත්වෙන්නා, ඊලග අවස්ථාවේදී ඝාතකයෙකු බවට පත්වේ. එයට හොඳම උදාහරණය මාධ්‍යවේදී රිචඩ් ද සොයියා ඝාතනයයි.

එම ඝාතනය සිදුවන අවස්ථාවේදි යුක්තිය ඉල්ලා කෑමොර දෙමින් බලයට පත්වූ අය තවත් විටෙකදි ඝාතකයන් බවට පත්වූ ආකාරය අපට මතකය. එදා රිචඩ් ද සොයියා ඝාතනය කරන අවස්ථාවේදි බලයේ සිටියවුන්,ඉන් පසු කලෙක වෙනත් පාලනයකදි ඝාතනයට හා පැහැර ගැනීමට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් කිඹුල් කඳුලූ හෙළමින්, යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි ආකාරය අමතක නැත. සිදුවීම් සිදුවන්නේ කොක් හඩලා සීනාසීමටත්, හඬා වැළපීමටත් නොව එයින් පාඩම් ඉගෙන ගැනීමටයි. අද අපට අමතකව ගිය මාධ්‍යවේදි රිචඩ් ද සොයියා පිළිබඳව මතකයන් සොයා යා යුත්තේ, ඒ පිළිබඳව හැදෑරීම උදෙසාය.

මිනිසුන් ලොකයේ කොතෙකුත් වාසය කරන අතර ඒ අතරින් අනෙකා කෙරෙහි අසීමිත ආදරයක්, සමාජය කෙරෙහි දැඩි ඇල්මකින් යුත් ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහි වන්නේ සියවස්
ගණනාවකට වරක්ය. නූතන වකවානුවේ අපිට හමුවූ එවන් මිනිසෙකු වූයේ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා යි. මුහුණ පුරාවට වැවෙන රැවුලකට උරුමකම් කියන ලද ඔහු බොහෝ
වෙලාවට පරණ හමගිය ඩෙනිම් කලිසමත්, නිල් පාට කොලරය සහිත කමිසයත් ඇද සිටිනු දකින්නට ලැබුණි.

ඔහු නළුවෙකු ලෙස කටයුතු කළ මුත් ඉතා ලැජ්ජාශිලි පුද්ගලයෙකුවූ අතර ඒ නිසාම වැඩියෙන් කතා කිරිමට පෙළඹුණේද නැත. ඒ නිසාවෙන් ඇතැමෙකු ඔහු ආඩම්බර චරිතයක් ලෙස සිතුවද සත්‍යය එය නොවේ. ඇත්තටම ඔහු සරල පුද්ගලයෙකි. නිර්ව්‍යාජ ලෙස සමාජය ඇසුරු කළ මනුස්සයෙකි. ඔහු මාධ්‍යවේදියෙකි, ලේඛකයෙකි, කවියෙකි, වේදිකා නළුවෙකි, චිත‍්‍රපට නළුවෙකි, ගුවන් විදුලි නිවේදකයෙකි, රුපවාහිනි වැඩසටහන් නිෂ්පාදකයෙකි, මානව හිමිකම් ක‍්‍රියාදරයෙකි, දේශපාලන විචාරකයෙකුද වේ. සියල්ලටම වඩා මනුස්සකම් සපිරි මානවවාදියෙකි.

ඉහළ මධ්‍යම පාංතික සම්භවයකට අයත් රිචඩ්, ඉතා චතුර ලෙස ඉංග‍්‍රිසි භාෂාව හසුරවන ලදි. රිචඩ් විප්ලවවාදි දේශපාලනය හෝ අරගලකාරි මාතවාදයක් කර පින්නා ගැනිමට සමාජ වටපිටාවක් හෝ පවුල් පසුබිමක් පැවති පුද්ගලයෙකු නොවීය. පවතින සමාජය තුළ උපතින්ම ලද තම පංතියේ වරප‍්‍රසාද භුක්ති විදිමින් ඉහළින්ම වැජඹෙන්නට ඔහුට හැකියාව පැවතිණි. එහෙත් තමාට උපතින්ම ලැබුණ වරප‍්‍රසාද වෙනුවට අසාධාරණයට පත්වු ජනතාවගේ පිල තොරා ගැනිම සහ ජිවත්වූ ටික කාලය අවසානයේ ඒ වෙනුවෙන් තම ජිවිතයද කැප කිරිම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයයි.

සාමාන්‍ය පුද්ගලයන් තමා ජිවත්වන පංති ආවකාශයෙන් අඩියක් උඩට නැඟීමට ලතවෙන අතරම ඉහළ මහලට නැඟගත් තප්පරයේ පටන් පහළ මහල අමතක කර ඉන් නොනැවතී අවමන්ද කරයි. එවැනි තරඟකාරි සමාජයක පහළ මහලේ අසාධාරණයට ලක්වු මිනිසුන්ව රිචඩ් නොපැකිලිව සිප වැලඳ ගත්හ.

1958 මාර්තු 18 උපත ලද රිචඩ් ද සොයිසාගේ පියා, ලූශන් ද සොයිසා වන අතර මව ආචාර්ය වෛද්‍ය සිවරම් සරවනමුත්තුය. ඔහුට සහෝදරයෙක් හා සහෝදරියක්ද විය. අධ්‍යාපනය ලැබූවේ ශන්ත තෝමස් විද්‍යලයේය. එහිදි ඞී. එස්. ජයසේකර මහතා ඔහුගේ සිංහල නාට්‍ය රංගනය හඳුනාගත් අතර 1972 අන්තර් පාසල් ශෙක්ස්පියර් ඉංගි‍්‍රසි නාට්‍යයේ හොදම නළුවා බවට පත්විය. ඔහු පාසලේ වාද විවාද කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය.

මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ නව කතාවක් පාදක කරගෙන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා නිර්මාණය කළ යුගාන්තය විත‍්‍රපටයට, 1983 දී රංගනයෙන් දායකවු රිචඩ්, රඟපෑ සමාජවාදි අදහස් සහිත මාලන්ගේ චරිතය ඔහුගේ සැබෑ ජිවිතයේම පැතිකඩකි. රිචඩ් සත්‍යග‍්‍රහණය චිත‍්‍රපටයටද රංගනයෙන් දායක විය. යශෝරාවය ටෙලි නාට්‍යයේ රින්ස්ලිගේ චරිතය රඟපෑ ඔහු එවකට අතිශය ජනප‍්‍රිය විය.

රිචඩ් ද සොයිසා ජනතාවාදි මධ්‍යවේදියෙකු ලෙස සිදුකරන ලද සේවයද විශිෂ්ටය. ඔහු ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියෙකු ලෙස භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනි සිටීම, මානව හිමිකම් ක‍්‍රියාධරයෙකුසේ කටයුතු කිරිම. අදහස් ප‍්‍රකාශ කිරිමේ අයිතිය වෙනුවෙන් පෙනි සිටීම. අත්අඩංගුවට ගැනිම්, අතුරුදහම් කිරීම්, හා ඝාතනය කිරිම් වලට එරෙහිව කටයුතු කිරිම කැපි පෙනෙන ලක්ෂණයක් විය.

මේ සියල්ල ඉවසීමට නොහැකිවූ පිරිසක්ද අප රට තුළ සිටි බව නොරහසකි. එක් භීම සමයක, 1990 පෙබරවාරි 18 දින රාත‍්‍රියේ නිවසට පැමිණි පිරිසක් විසින් ඔහු පැහැර ගන්නා ලදි. පොලිසියෙන් බව හඳුන්වා, කොළ පැහැති ජිප් රථයක නග්ගවාගෙන රැගෙන ගිය අතර, ඔහුගේ මවට ඒ මොහොතේ කළ හැකි කිසිදෙයක් නොවීය.

මව විසින් පාන්දර 4.30 ට කොල්ලූපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කරන ලදි. අළුයම උදාවුවේ හදවත් කම්පා කරන පුවතකිනි. මොරටුව කොරළවැල්ල දුම්රියපොළ අසළ වෙරළට කඩවසම් තරුණයෙක්ගේ මළ සිරුරක් ගොඩගසා තිබුණි. ඒ කාගෙවත් නොව සුවහසක් ජන හදවත් දිනා ගත් කලා කරුවෙකු සහ මධ්‍යවේදියෙකුවු රිචඩ් සොයිසාගේ මෘත ශරිරයයි. මෘත ශරිරය සොයා ගන්නා විට අධික ලෙස ඉදිමි පැවතුණි. හිසේ පිටුපස සහ උගුරේ වෙඩි පහරවල් පැවති අතර පසුදින කළුබෝවිල රෝහලේදි රිචඞ්ගේ මව මෘත ශරිරය හඳුනා ගත්හ.

දසමසක් ඇකයේ හොවා මෙලොවට බිහි කළ දරුවා මහ රැක තමා ඉදිරියේදිම පැහැරගෙන ගොස් මරා දැමීම මවකට දරා ගැනිමට හැකි දෙයක් නොවීය. වෛද්‍ය සිවරම් සරවනමුත්තු මහත්මිය පසුකාලීනව පුවත්පතකට මෙලෙස කියා ඇත. ”දුර ඈතක සිට රිචඩ් මා දෙස බලා සිටිනවා. මගේ පුතා බොහෝ විට මා හා කතා කරනවා. ඔහු ඔහුගේ දේශයට එදා මෙන්ම ආදරෙයි. ඔහුගේ ජනතාවට එදා මෙන්ම ආදරෙයි. මියගිය බොහෝ දරුවන් ඔහු වගේම යැයි මා හිතනවා. සත්තකින්ම මා දන්නවා දිනයක් ඒවි. නිසැකවම දිනයක් ඒවි. එදිනට අප නොදන්නා යම් තැනක හිඳ ඔවුන් සියල්ලන් මේ දේශයට ඒවි. රිචඩ් මෙන්ම මරා දැමුණු බොහෝ අහිංසක දරුවන් ඔවුන් ආදරය කළ මේ දේශයට ඒවි. ඔවුන් මේ දේශයට ආදරෙයි. ඔවුන් මේ ජනතාවට ආදරෙයි. අම්මා.. අපි ඔබලාට නිදහස හා ආදරය ගෙන ආවා කියන ඔවුන්ගේ කටහඬ අපිට ඇසේවි. රිචඩ් පුතුගේ කටහඬ මට ඇසේවි. ඉතින් ඒ දිනය එනතුරාවට මම සටන් කරනවා”.

සිවරම් සරවනමුත්තු මව මෙන්ම තවත් දහසක් මව්වරු එලෙස තම දරුවන් යළිත් පැමිණෙයි කියා සිතුවද, ඔවුන් පැමිණියේ නැත. රිචඩ්ගේ මව තමාගේ පුතුගේ මරණය පිළිබඳව අධික ලෙස සංවේගයට පත්වු අතර පුතු මෙන්ම එකල පැහැරගත්, අතුරුදහන්වු, ඝාතනයට ලක්වු තරුණයන් කෙරෙහි පෙනි සිටිමට පෙරට ආහ. එහෙත් රිචඩ්ගේ මරණය වෙනුවෙන් යුක්තිය ඉටුනොවීම ඛේදවාචකයකි. ඇසින් දුටු සාක්ෂිකරුවන් හත්දෙනෙක් ඉදිරිපත්වු අතර ප‍්‍රධාන සාක්ෂිකරුවන්ට තර්ජනද එල්ල විය.

1990 දී මැයි 1 දා රාත‍්‍රි ජාතික රුපවාහිනිය නරඹද්දි තමන්ගේ පුතාව පැහැර ගත්, පොලිස් පරික්ෂක ලාල් ක‍්‍රිෂන්ත ධර්මසිරි රංචාගොඩව හදුනා ගත්හ. මේ පිළිබඳව ඇය පැමිණිලි කළ අතර මහේස්ත‍්‍රාත් රෝහිණි පෙරේරා විසින් ඔහුව අත්ඩංගුවට ගන්නා ලෙස නියෝග කළද ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්නගේ මැදිහත්වීම තුළ එය වැළකී ගියහ.

රිචඩ් ද සොයිසාව ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙසින් පැමිණ පැහැරගෙන ඝාතනය කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ නායකත්වය දුන් පොලිස් කණ්ඩායමක් විසින් බව පසු කලක අනාවරණය විය. මෙම ඝාතනයට පොලිස් පරික්ෂක ලාල් ක‍්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ, පොලිස් පරික්ෂක එම්. ජී. ජී. දේවසුරේන්ද්‍ර, පොලිස් සැරයන් වෙඩික්කාරගේ සරත්චන්ද්‍ර යන අය සම්බන්ධ වූ බව අනාවරණය විය. රිචඩ් ද සොයිසාව ඝාතනය කළ අයට එරෙහිව මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු ගොනු කළේය.

පසුව එය කොළඹ අලූත්කඬේ මහාධිකරණයේ විභාගයට ගැනුණි. 2005 ඔක්තෝම්බර් මස 9 වෙනි දින විත්තිකරුවන් සියළු නඩු වලින් නිදහස් විය. සක්ෂිකරුවන් ලබා දුන් සාක්ෂි පරස්පර විරෝධි බව පැවසු අතර විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු වි නොමැති බව ප‍්‍රකාශ කළහ

රිචඩ් ද සොයිසාගේ මරණය සම්බන්ධව 1990 අප‍්‍රියෙල් 23 වන දින ටයිම්ස් සගරාවේ ලිපියක් පළවු අතර එහි අන්තර්ගතය වුයේ ශ‍්‍රී ලංකා රජය විසින් මෙහෙයවන ඝාතන කණ්ඩායම් සහ ශ‍්‍රී ලංකාවේ සිදුවන බරපතල මට්ටමේ මානව හිමිකම් උල්ලංගනයන් පිළිබඳව ලොව දැනුවත් කිරීම නිසාවෙන් ඔහු ශ‍්‍රී ලංකා රජයට බලවත් තර්ජනයක් වූ බැවින්, රජයේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකොට ඇති බවයි. මෙම ලිපිය ශ‍්‍රී ලංකා රජය විසින් බෙදා හැරිම සහ විකිණීම තහනම් කරන ලදී.

රිචඩ් ද සොයිසා ඝාතනය වීමෙන් පසුව ඉන්ටර්ප්‍රෙස් මාධ්‍ය ආයතනය විසින් 1990 දී විශිෂ්ඨතම ඇගයීමේ සම්මානය ඔහු වෙනුවෙන් පිරිනමන ලදී. 2008 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී බි‍්‍රතාන්‍යයේ බි. බි. සී මාධ්‍ය ජාලය විසින් විනාඩි 60 ක ගුවන් විදුලි නාට්‍යයක් නිර්මාණය කොට විසුරුවා හැරුණි. එම ගුවන් විදුලි නාට්‍යය නිෂ්පාදනය කොට තිබුනේ රිචඩ් ද සොයිසා නම්වූ මාධ්‍යවේදියාගේ ජීවිතය සහ මරණය යන සිද්ධීන් පාදක කොටගෙනය.

රිචඩ් සහාසික ලෙස ඝාතනය කොට දශක තුනකටත් වැඩිය. එම වරදෙහි බිහිසුනුම කරුණ නම් ඔහු මිය යාමෙන් අනතුරුවද තවත් මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනය වීමයි. රිචඩ්ලා දෑසට පෙනෙන මනසට හසුවන, කන් වලට ඇසෙන සත්‍යය, ඒ අයුරින්ම ඉදිරිපත් කළ මිනිසුන්ය. අසත්‍ය සමග ඔවුනට කිසිදු සංහිඳියාවක් නොපැවතුණි. රිචඩ් ඝාතනය කිරිමට පෙර පෘතුගාලයේ ඉන්ටර්ප්‍රෙස් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කළහ. එමඟින් මෙරට සිදුවන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව හඬක් නැගෙයි යන්න රජය බියවිය. මිනිසුන්ව සත්‍යයෙන් ඇත් කරන සුරංගනා ලෝකවල අතරමං කරන මාධ්‍යකරුවන්, නරුම දේශපාලකයන් ගෙන් ආරක්ෂිතය. රිචඩ්ලා ඝාතනය කළේ පිඩිත පංතියේ මිනිසුන් වෙනුවෙන් තම පංතිය පවා අමතක කොට පෙනි සිටීම නිසාය.

සමහර විට මරණය ඔහු වෙත වේලාසනින් පැමිණෙන බව දැන සිටින්නට ඇත. මන්දයත් එකල සත්‍යය පැවසිම පවා මරණයට නැකම් කියන්නට හේතුවක් වූ අවධියකි. කෙසේ හෝ ඔහු වසර 32 ක පමණ ඉතා කෙටි කාලයක් ජීවත්වු පුද්ගලයෙකි. එහෙත් ජිවත්වූ ටික කාලය තුළ ඔහු සමාජයට කළ ප‍්‍රගතිශීලී බලපෑම අතිමහත්ය. සමාජයේ කොතෙකුත් මිනිසුන් ඉපිදේ. මිනිසුන් පුද්ගලික සුගතිය උදෙසාම ජිවත්වේ. මමත්වය වෙනුවෙන් අනෙකාවද විනාශ කරයි. එවැනි මිනිසුන් අතර රිචඩ් යනු උඩු ගම් බලා පිහිනුවෙකි. සීමිත හෝ මනුෂ්‍යත්වයක් සොයා ගැනිමට නොහැකි සමාජයක් තුළ අසීමිතව මිනිස් වර්ගයාට පේ‍්‍රම කළ රිචඩ් ඔබ සදා අමරණීය වේ.

 

 

සටහන – සම්පත් ජයලාල්. විධායක කමිටු සාමාජික, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය.

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී සුකීර්තරාජන්ගේ, 16 වන අනුස්මරණය සහ සාමකාමී උද්ඝෝෂණය

2006 වසරේදි ත‍්‍රිකුණාමලයේදී ඝාතනය කළ මාධ්‍යවේදී, එස්. සුකීර්තරාජන් ගේ 16 වන අනුස්මරණ සැමරුම අද (24) දින මඩකලපුව මාධ්‍ය මධ්‍යස්ථානයේදී සහ මඩකලපුව ගාන්ධි උද්‍යානයේ පිහිටි, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ගේ ස්මාරකය ඉදිරිපිටදී පැවැත්විණි.

වසර 13 ක්, සාධාරණය ඉටු නොවු ඝාතනයක්…

රත්මලාන අත්තිඩිය ප‍්‍රදේශයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කොට 2022 ජනවාරි 08 වන දිනට වසර 13 ක් සම්පූර්ණ වේ.

කොළඹ අධිආරක්ෂක කලාපයක දී මහ දවල් ලසන්ත වික‍්‍රමතුංග මහතාට නාදුනන ඝාතකයෙක් වෙඩි තබා පලා ගියේ එවකට තිබූ හමුදා මුරකපොලූ කිහිපයක් පසු කර ගෙන බව කවුරුත් දන්නා සත්‍යයකි. නමුත් එවකට එම මුරකපොලූවලින් එසේ බේරී පළා යාමට හැක්කේ කාටද යන්න? අදද කවුරුත් දන්නා ප‍්‍රසිද්ධ රහසකි. කෙසේ නමුත් වෙඩි වැදීමෙන් පසුව කලූබෝවිල රෝහලට ඇතුලත් කල ලසන්ත වික‍්‍රමතුංග මහතා සදහටම මෙලොවින් සමු ගත්තේය. ඒ 2009 ජනවාරි 8 වනදාය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තය, මාධ්‍යවේදීන් මුහුණදෙන අභියෝග ?

මාධ්‍යවේදීන් මුහුණදෙන අභියෝග හා මාධ්‍ය කර්මාන්තයේ ගැටළු සාකච්ඡා කිරීමට පෙර ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තයේ ආරම්භය හා එහි විකාශය පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීම වැදගත්. ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තයක් ලෙස එහි ඉතිහාසය, අද දවසේ හැසිරීම පිළිබඳව වූ මෙම කෙටි සටහන, ජනමාධයවේදීයා හා කර්මාන්තය වර්තමානයේ මුහුණදෙන අභියෝග අතික්‍රමණය කිරීමේදී වැදගත් සාධකයක් වනු ඇත.

ජනමාධ්‍ය කර්මාන්තයේ ඉතිහාසයෙන් බිඳක්

ලංකාවේ පුවත් පත් ලියාපදිංචි කිරීමේ අංක 05 දරණ පණත සම්මත කරන්නේ 1839 දීය. පළමු සිංහළ පුවත්පත 1862 ප්‍රකාශයට පත් කළ  ”ලංකා ලෝක” නම් විය. 1862 වසරේ සැප්තැම්බර් මාසයේ සිට “ලක්මිණි පහණ” පුවත්පත ආරම්භ විය.

1841 වසරේ “Idea Atari” නමින් ප්‍රකාශයට පත්වූ දමිළ පුවත් පත ලංකාවේ දමිළ පුවත්පතෙහි ආරම්භය ලෙස සටහන්ව තිබේ.

1832 වසරේ ජනවාරි 01 “Colombo Journal” නමින් බ්‍රිතාන්‍ය පාලනය විසින් ද, 1834 වසරේ පෙබරවාරි 04 වෙනිදා ප්‍රකාශයට පත්කොට ඇති “The Observer and Commercial Advertiser”, ඉංග්‍රීසි පුවත්පතෙහි ආරම්භය ලෙස සැළකිය හැකිය.

1923 වසරේදි, “European Association” නම් වූ මුද්‍රණ සමාගමක් ඩී. ආර්. විජයවර්ධන මහතා මිළට ගනිමින් “ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම” පිහිටුවීම ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ නව පරිච්ඡේදයක ආරම්භය විය. එවකට පැවති ප්‍රකාශනයන් සියල්ල ම පාහේ මිළට ගනිමින් ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ ඒකාධිකාරි බලව්‍යුහයක් ගොඩනඟා ගන්නට  (ANCL -Lake House) සමත් විය.

1973 අංක 05 දරණ විශේෂ විධි විධාන පණත මගින් ඩී. ආර්. විජයවර්ධන ආධිපත්‍යය බිඳ දමමින් සිරිමා රජය විසින් එම සමාගම රජයට පවරා ගන්නා ලදී. අදාල පනත මගින් ලේක්හවුස් ආයතනය මහජන ආයතනයක් ලෙස පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කළ ද, දැනට වසර පණහක් ආසන්න වෙමින් තිබීයදී පවා කිසිම රජයක් ගැසට් පත්‍රය ක්‍රියාත්මක කර නැත.

ගුවන් විදුලිය

ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසය ආරම්භ වන්නේ 1925 රේඩියෝ සිලොන් (“Radio Ceylon” ) නමින් බ්‍රිතාන්‍ය පාලන සමයේ ය. එය 1949 ගුවන් විදුලි දෙපාර්තමේන්තුව බවට පත්කෙරෙන අතර 1966 අංක 37 දරණ පණත මගින් “ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව” බවට පත්කොට එම සංස්ථාව අද දක්වා රජයේ පාලනය යටතේ පවත්වාගෙන යනු ලබයි.

රූපවාහිණීය

1979 වසරේ අප්‍රේල් මස ෂාන් වික්‍රමසිංහයන් විසින් ආරම්භ කරනු ලැබූ ස්වාධීන රූපවාහිණී ජාලය , “Independent Television Network”  ශ්‍රී ලංකාවේ බිහිවූ පළමු රූපවාහාණී නාලිකාවයි. ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් එම නාලිකාව රජයට පවරා ගන්නා ලද අතර  අදටත් ITN නමින් රජයේ සමාගමක් ලෙස විකාශන සිදු කෙරේ.

ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව රජයේ සංස්ථාවක් ලෙස 1982 අංක 06 දරණ පණත යටතේ ආරම්භ කළ අතර 1982 පෙබරවාරි 15 දා එහි විකාශණ කටයුතු ආරම්භ කෙරින.

රූපවාහිණී විකාශණ පණත අනුව යමින් 1992 වසරේදී මහරාජා ආයතනයට විකාශණ බලපත්‍රයක් නිකුත් කළ අතර MTV ජාලය විසින් පළමු පුද්ගලික රූපවාහීණී සේවාව ආරම්භ කෙරින. අද දවසේ විශාල පරාසයක රූපවාහිණී හා ගුවන්විදුලි නාලිකා ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව තිබේ.

ඒ අතර සමාජ මාධ්‍ය ජාලයන් ද ප්‍රවෘත්ති හා තොරතුරු අභියෝගාත්මක ලෙස ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයට අභියෝගයක් ලෙස ප්‍රබල භූමිකාවක් ඉටු කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තය තුළ ප්‍රධාන ධාරාව නියෝජනය කරන පුවත් පත් 70ක් පමණ ද, ගුවන් විදුලි නාලිකා 30ක් පමණ ද, රූපවාහිනී නාලිකා 18ක් පමණ සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ.

රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ආයතන වශයෙන් ද සමාජ මාධ්‍ය කේෂ්ත්‍රයේ විශාල පැතිරීමක් පැවතිය ද ගුණාත්මක හා මාධ්‍ය ආචාර ධර්ම ගරු කරන, වෘත්තිමය ජනමාධ්‍ය භාවිතාව පවතිනුයේ ප්‍රශ්ණකාරී ආස්ථානයක ය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හැසිරීම පිළිබඳව රටේ මහජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති බවක් පැහැදිළි නොවේ.

 ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තය

වසර 50ට අධික කාලයක්, රාජ්‍ය මාධ්‍ය සියල්ල, රාජ්‍ය බලය ලබාගන්නා දේශපාලන පක්‍ෂ හිතෛෂීන්ගේ පාරාදීසයක් බවට පත්වෙන අතර කළමණාකාරීත්වය හා මාධ්‍ය ප්‍රධානීන් වනුයේ ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් ය.

වරින්වර ආණ්ඩු විසින් රාජ්‍ය මාධ්‍ය රජයේ ග්‍රහණයෙන් මුදවාලීමේ සාකච්ඡා ආරම්භ කළ ද ඒ සියල්ල හුදු වංචාකාරී දේශපාලන පොරොන්දු පමණක් ම වී තිබේ. රාජ්‍ය මාධ්‍ය නිදහස් කිරීමේ අරමුණ වෙනුවෙන් සක්‍රිය මැදිහත්වීම, ජනමාධ්‍ය සංවිධාන මෙන්ම බහුජන ව්‍යාපාරයන් ද අතපසු කොට ඇත.

පුද්ගලික මාධ්‍ය බොහොමයක් වෘත්තීමය ආචාර ධාර්මික නිදහස් මාධ්‍ය භාවිතාව හා සංකල්ප බැහර කරමින් කටයුතු කිරීම රටේ බහුතර ජනතාවගේ නිරීක්‍ෂණය වේ. කළු සල්ලි සුදුකරන, මාධ්‍ය හිමිකරුවන්ගේ පෞද්ගලිකම ය වු න්‍යාය පත්‍රයකට යටත්ව හැසිරෙන බව පෙනේ. තමන්ගේ ගජමිතුරු දේශපාලන භාවිතාව හෝ වාණිජමය අරමුණු වෙනුවෙන් මෙන්ම වාර්ගික සමගිය වෙනුවට වර්ගවාදය වෙනුවෙන් යොදා ගැනිම ද අඩු වැඩි වශයෙන් පොදු ලක්‍ෂණයන් ලෙස ගිණිය හැක.

ආණ්ඩුවේ හෝ විවිධ පාර්ශවයන්ගේ බලපෑම් හා මැදිහත්වීම් වලින් තොරව සංවරණ හා තුලන, ආචාර ධාර්මික, ස්වාධින මාධ්‍ය භාවිතාවක රාජ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය සමූහය නියැලෙන බවක් නිරීක්‍ෂණය නොවේ.

මාධ්‍ය ආයතන නියාමනය

මාධ්‍ය ආයතන නියාමනය සඳහා විධිමත්ව පිහිට වූ නිළ ආයතනයක් නොමැති වුවද, ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩල පනත, ගුවන් විදුලි සංස්ථා පනත, රූපවාහිනී සංස්ථා පනත වැනි පනත් මගින් ද ජනාමාධ්‍ය ආයතන හසුරවන අවස්ථා දැකිය හැක.

මාධ්‍ය ආයතන හිමිකරුවන් හා මාධ්‍ය සංවිධාන කිහිපයක් එක්ව අනත්ර් ජාතික සහයෝගයත්, මාධ්‍ය සහයෝගීතාවයත් සහිතව ආරම්භ වූ “ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය” (Sri Lanka Press Institute (SLPI) 1998 ආරම්භ විය. එහි සාමාජික සංවිධාන වූ පුවත්පත් පැමිණිලි කොමිෂම Press Complaints Commission of Sri Lanka (PCCSL), ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය (Sri Lanka College of Journalism (SLCJ) මාධ්‍ය කර්මාන්තයේ ගැටලුවලට ප්‍රමාණවත් පිළිතුරු ලබාදෙන්නට අපොහොසත්ව ඇත.

මේ නිසා අද දවසේ ප්‍රබල ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රයක අවශ්‍යතාවය සපුරා ගන්නට සංවිධිත ජනමාධ්‍යවෙදියා වෙත පැවැරෙන වගකීම ප්‍රමුඛ බව වටහා ගතයුතුය.

කීර්තිමත් ජනමාධ්‍යවේදීන්.

අපේ රටේ ජනමාධ්‍ය කර්මාන්තයේ පුනර්ජීවයක් යළි ලබන්නට නමි ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තයේ පුරෝගාමී ජනමාධ්‍යවේදීන් පිළිබඳව කියවීමක් වත්මන් ජනමාධ්‍යවේදියාට අවශ්‍යවේ යැයි සිතමි.

ඒ සඳහා මගේ පළමුවැනි තේරීම ඩී. බී. ධනපාල ශූරීන් වේ. පිටිසර බද තිස්සමහාරාමයේ ඉපිද, ගාල්ලේ මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබ, ඉන්දියාවේ අලහබාද් විිශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය නිම කළ අයෙකි.

මුලින් ම ඩේලිනිව්ස් පුවත්පත්ට සම්බන්ධවන ඔහුගේ ලේඛන කලාව පෙරළිකාරීවිය. පුවත්පතේ ජැනස් (ග්‍රීක අනවර්ථ නාමයක්) නමින් ඔහුගේ පෙරළිකාරී “Blue Page” පිටුව එකල සමාජය කළඹන්නට සමත්විය. පාලනාධිකාරය සමග මතුවූ නොඑකඟතාවයන් නිසා මාධ්‍ය වෘත්තියට සමුදුන් ඔහුගේ තේරිම ගුරු වෘත්තිය විය.

තමන් විසින් ඉටු කළ මාධ්‍ය මෙහෙවර සමත්වූ සමාජ තෙරපුම පිළිබඳව ඔහු සිය මනස සමග නිතර පොර බදන්නට විය. අවසානයේ නැවත ඔහු පෑන අවිය කරගන්නට එවකට ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ සමාගම පළකල ‘ලංකාදීප‘ පුවත්පතට සම්බන්ධවිය. ඇත්තට ම ඒ අවධියේ සිංහළ භාෂාවේ නැවුම් පුවත්පත වූයේ ‘ලංකාදීප‘යයි. පළමුවරට ජනමාධ්‍යවේදියාගේ නම (by line) tl එකතු කළේ ඩී. බී. ධනපාල ශූරීන් විසින් බව කියැවේ.

ඔහු සුවිශේෂි ජනමාධ්‍ය කලාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා පමණක් නොව, දේශපාලනඥයන්, ප්‍රභූවරුන් ඉදිරියේ නොනැමුනු, රටේ පොදු ජනතාවගේ ප්‍රකාශකයා බවට පත්වූ බව ඔහු ජනමාධ්‍ය හැසිරවූ ආකාරය නිරීක්‍ෂණය කරනු ලබන ඕනෑම අයෙකුට පැහැදිළිවනු ඇත. ‘දවස’ පුවත්පත ප්‍රමුඛ ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශන සමූහයේ නිර්මාතෘවරයා වන්නේ ද ඔහු ය.

‘ඇත්ත’ පුවත්පතේ කර්තෘ බී. ඒ. සිරිවර්ධන චරිතය ද වත්මන් ජනමාධයවේදීන් හැදෑරිය යුතු චරිතයකි. ඔහුට ම ආවේණික වූ ඔහුගේ ළේඛණ කලාව, ලංකාවේ ජනමාධ්‍යවේදීන් පිටකොන්දක් සහිතව හැසිරිය යුතු බව ප්‍රකාශ කළ ප්‍රතිමූර්තියකි.

වත්මන් ජනමාධ්‍යවේදීන් කියවිය යුතු එවැනිම කීර්තිමත් ජනමාධ්‍ය චරිතාපදානයක් ලෙස දයාසේන ගුණසිංහයන් හඳුන්වා දිය හැක. තම පෑන ප්‍රබල අවියක් කරගනිමින්, පුද්ගල තරාතිරම නොබලා පහරදිය යුතු තැන්, පුද්ගලයන් හඹාගියේ පොදුජනයා වෙනුනේම ය.

සිහිපත් කළහැකි, පරමාදර්ශී ජනමාධ්‍යවේදීන් අතරින් මේ නම් කීපය ඔබට සිහිපත් කළේ හැකි නම් එවැනි ජනමාධ්‍ය චරිතාපදානයක්, ඒ හා සමාන ප්‍රබල මාධ්‍ය භාවිතාවන් සහිත පරිපූර්ණ ජනමාධ්‍යවේදයේ ප්‍රමුඛයෙක් අද දවසේ ඉන්නවාදැයි සොයා බලන්නට ඔබට උපකාරීවීම පිණිස ය.

වෘත්තීය ජනමාධ්‍යවේදියා?

වර්තමාන ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදියා, වෘත්තිකයෙක් ලෙසට පිළිගැනිමක් නැත. එයට හේතු රාශියකි. ජනමාධ්‍යවේදීන් ලෙස වෘත්තියට ඇතුළුවන පිරිස නිසි පුහුණුවකට යොමුවීමට හෝ ජනමාධ්‍ය විෂය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් මාධ්‍ය ප්‍රධානීන්, කර්තෘවරුන්ගේ සිට පහළට මාධ්‍යවේදියා දක්වා ම නොමැත. එවැනි අවශ්‍යතාවයක් තිබෙන බවක් ද නොපෙනේ. අවශ්‍යතාවයක් තිබුණත් එයට අවස්ථාවක් ද නැත.

රාජ්‍ය නොවන සංවිධාන උපකාරයෙන් මාධ්‍ය සංවිධාන වරින්වර ජනමාධ්‍ය විෂයන් පිළිබඳ පුහුණුවක් ලබා දෙන්නට උත්සාහ කළ අවස්ථා ඇතත් එම අවස්ථාවන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ බොහෝවිට ප්‍රාදේශීය මට්ටමේ සිට සේවය කරන මාධ්‍යවේදීන් පමණක් බව සඳහන් කළයුතුය. ප්‍රධාන දහරාවේ මාධ්‍යවේදීන්ට මේ සඳහා සහභාගීවන්නට අවසරයක් ලැබෙන්නේ ද නැත. බොහෝ මාධ්‍ය ප්‍රධානීන්, මාධ්‍යවේදීන් ඔවුන් වෘත්තිකයන් පිරිසක් නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටී.

 මාධ්‍ය සංවිධාන

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (Fedaration of Media Emplyees Trade Unions FMETU), ශ්‍රී ලංකාවේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Sri Lank a Working Journalists Association SLWJA) සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (Free Media Movement FMM), ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ :ෂබඑැරබ්එසදබ්ක (International Federation  Of Journalis -IFJ) සාමාජික සංවිධාන වේ.

60 දශකයේ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පුද්ගලික හිමිකාරිත්වයට නතුව පැවති සමයේ එහි ලංකා වෙළඳ හා පොදු කාර්මික සංගමය (CMU) ශාඛාවක් පැවති අතර, 90 දශකයේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ මැදිහත්වීමෙන් පිහිටුවන ලද ‘උපාලි පුවත්පත් සමාගමේ සේවක වෘත්තීය සමිතිය’ ද අභාවයට පත්ව තිබේ.

ලේක්හවුස් ආයතනය තුළ අසූව දශකයේ අගභාගයේ ආරම්භ වූ ‘ලේක් හවුස් සේවක සංගමය’ මුල්වී ‘මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය’ බිහිකරමින් ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය එක්සත් කමක් ගොඩනඟන්ට දැරූ උත්සාහය ද විවිධ බාධාවන් නිසා සම්පූර්ණයෙන් සාර්ථකවී නොමැත.

වාර්ගික පදනමින් පවා ජනමාධ්‍ය සංවිධාන බිහිවී පවතින අතර තවත් විවිිධ මාදිලියේ මාධ්‍ය සංවිධාන ද අද දක්නට තිබේ. කෙසේ වෙතත් පවත්නා බොහෝ ජනමාධ්‍ය සංවිධාන නාමික සංවිධාන බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුය. ඒ නිසා ම ජනමාධ්‍යවේදීන් තුළ මේ සංවිධාන පිළිබඳව විශ්වාසයක් නැත. ඒ විශ්වාසය දිනාගන්නට මාධ්‍ය සංවිධාන කටයුතු කරන බවක් ද නොපෙනේ.

මෙලෙස විවිධාකාරයේ මාධ්‍ය සංවිධාන වශයෙන් බෙදී වෙන්ව කටයුතු කිරීමෙන් සතුටුවිය හැකි, ජයග්‍රහනයන් ජනමාධ්‍යවේදියා ලබාගෙන තිබේද? කර්මාන්තයේ ජයග්‍රහණයන්ට දායකවී තිබේ ද?

පිළියමක් ලෙස ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) සාමාජික සංවිධාන තුනටවක් එක් සංවිධානයක් බවට පත්කරගන්ට වෙහෙසක් ගන්නට හැකි නම් ?

විසඳුම්

ලංකාවේ ජනමාධ්‍යවේදිනියන්/ජනමාධ්‍යවේදීන් අතිබහුතරයක් සංවිධානගතවී නොමැත. ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ ද නැත. ජනමාධ්‍යවේදියා සංවිධානගත නොවීමේ වාසිය ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් නිතැතින් ම අත්පත් කරගෙන සිටී. අද දවසේ මාධ්‍යවේදීන් මුහුණ දෙන පළමු අභියෝගය වනුයේ සංවිධානයවීමේ වටිනාකම පිළිබඳව අවබෝධයක් රහිතව කටයුතු කිරීම වේ.

ශ්‍රී ලංකාවේ කිසියම් වෘත්තියක, සේවාවක, දෛනික, කොන්ත්‍රාත් පදනමේ සේවකයෙකුට පවා අනිවාර්යයෙන් හිමිවෙන මූලික හිමිකම් වු සේවක අර්ථ සාධක අරමුදලේ, සේවක භාර අරමුදලේ හිමිකම, විශ්‍රාම පාරිතෝෂිකය ජනමාධ්‍යවේදීන් බහුතරයකට අහිමිව තිබේ. මෙවැනි මූලික හිමිකම් පවා අහිමි සේවකයන් පිරිසක් වේ නම් ඒ ජනමාධ්‍යවේදීන් බව රහසක් නොවේ.

ජනමාධ්‍ය කර්මාන්තයේ පවතින මේ ඛෙදනිය ත්තවයෙන් ගලවා ගැනීමේ වගකීම රඳා පවත්නේ ජනමාධ්‍යවේදීයා අතේම ය.

ලෝකයේ අදටත් යම් දියුණු ජනමාධ්‍ය කර්මාන්තයක් පවතින්නේ නම් ඒ ජනමාධ්‍යවේදීන් ප්‍රබල ලෙස සංවිධානයවී සිටින රටවල් තුළ පමණි.

අපටත්, ජනමාධ්‍යවේදියා මුහුණදෙන අභියෝග ජය ගන්න ඇති එකම මාවත වනුයේ පවතින සියළු බෙදීම් අවසන්කර, එක පවුලක් ලෙස සංවිධානයවීම පමණි. ඒ ජනමාධ්‍යවේදියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව, ජනමාධ්‍ය ආයතන හිමියා, කර්මාන්තයක් ලෙස මුහණ දෙන අභියෝග සමග ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කළහැකි මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායක් බිහි කරගැනීම වෙනුවෙනි.

 

ධර්මසිරි ලංකාපේලි, ප්‍රධාන ලේකම්, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය.

077 364 1111

“තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ” ශාලික විමලසේන සහෘදයාගේ ඉල්ලීම පරිදි 2018 වසරේ සකස්කළ ලිපියකි.

 

 

 

මාධ්‍යවේදීන්ගේ ආචාරධර්‍ම භාවිතය සමාජ ප්‍රගමනය සඳහා යොමු කිරීමට බ්‍රිතාන්‍ය කවුන්සිලය උනන්දු වේ!

දිවයිනේ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය  ආචාර ධර්‍ම භාවිතාව, සමාජ ප්‍රගමනය සඳහා භාවිතා කිරීමට යොමු කෙරෙන අධ්‍යාපන වැඩ සටහනක් (Mediathon) කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ රෙයින්බෝ ආයතනය විසින් සංවිධානය කෙරින.

“Mediathon” නම් වූ අධ්‍යාපන වැඩසටහන සංවිධානය කිරීම සඳහා දායකත්වය “ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ” SRP වැඩසටහනේ කොටසක් ලෙස යුරෝපීය සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය එකාබද්ධව ලබා දෙන ලදී.

Mediathon වැඩසටහන, මාධ්‍යවේදීන් ආචාර ධර්‍ම භාවිතය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරනු ලැබූ වැඩසටහනකි, තමන්ගේ මාධ්‍ය භාවිතය තුළ සමාජ ප්‍රගමනයට දායකවීම පිළිබඳව සාකච්ඡා කරමින් අදහස් හුවමාරු කරගත් පැය 21 ක මාර්‍ගගත පුහුණුවක් විය.

පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍යකරනයේ නියැළෙන පූර්‍ණ කාලීන මාධ්‍යවේදීන් 130 ක් සමග   මාධ්‍ය විෂය හදාරන සිසුන්පිරිස්ක ද සහභාගී විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රජාවන් සහ භාෂා නියෝජනයන් සහිතව දිස්ත්‍රික්ක 25  ම නියෝජනයවන පරිදි වූ මාධ්‍යවේදීන් පිරිසක් මෙම පුහුණුව සාර්ථකව නිමකර තිබේ.

මෙම Mediathon වැඩසටහන සාමකාමී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා ජනතාව යොමුකිරීම වෙනුවෙන් සමාජීය සහජීවනය, ආකල්පමය සහ හැසිරීම් පෝෂණය කිරීම පිණිස ජනමාධ්‍ය කාර්‍ය්‍යභාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.

රේන්බෝ ආයතනයේ ප්‍රධාන අධ්‍යයන උපදේශක සහ ජ්‍යෙෂ්ඨ සන්නිවේදන විශේෂඥවරයෙකු වූ ආචාර්‍ය්‍ය මහීම් මෙන්ඩිස්, ප්‍රවීන විදේශ මාධ්‍යවේදිකෙු සහ ජනමාධ්‍ය පුහුණුකරුවෙකු වූ , ශිහාර් අනීස් සහ සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල කථිකාචාර්‍ය්‍යවරියක් වූ තුෂාරි ගමගේ මහත්මිය මෙම වැඩ සටහනේ සම්පත් දායකයන් ලෙස කටයුතු කරන ලදී.

Mediathion සඳහා විෂය මාලාව නිර්මාණය කරන ලද්දේ ටාන්යා වර්ණකුලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ විශේෂඥ කණ්ඩායමක් විසිනි. වර්ණකුලසූරිය මහත්මිය සමග  රේන්බෝ සන්නිවේදන ආයතනයේ මාධ්‍ය විශේෂඥයින් සහ මාධ්‍ය පුහුණුකරුවන් පවත්වන ලද වැඩමුළුවකින් විෂය මාලාව ලංකාවේ ජනමාධ්‍ය කර්‍මාන්තයට ගැලපෙන පරිදි නැවත සැළසුම් කිරීමට ද  පියවර ගනු ලැබින.

සහභාගිවන්නන් සිංහළ, දෙමළ හා ඉංග්‍රීසි භාෂා මත පදනම්ව වර්ගීකරණය කරන ලද කණ්ඩායම් 6 කට බෙදා මෙම අධ්‍යාපන වැඩසටහන සඳහා ඔවුන් යොමු කරනු ලැබීය.

Mediathon පාඨමාලාව අතරතුර ප්‍රායෝගික අභ්‍යාස, ක්‍රියාකාරකම්හී නිරතවෙමින් අවසන් සැසියේදී, සහභාගිවූවන් මාධ්‍ය ආචාර ධර්‍ම සහ සමාජීය ප්‍රගමනය සඳහා ඔවුන්ගේ කැපවීම ප්‍රදර්ශනය කරමින් අතිශය නිර්මාණශීලී පෝස්ටර් සහ සටන් පාඨ නිර්මාණය කරනු ලැබීය.

මේ අධ්‍යාපන වැඩ සටහන සඳහා සහභාගී වූ ජනමාධ්‍යවේදීන් අතරින් තෝරාගත් මාධ්‍යවේදීන් 20 දෙනෙකු පමන වූ ඉතාමත් සීමිත පිරිසකට සංඛේතාත්මක සහතිකපත් පිරිනැමීමේ උළෙලක් 2021 දෙසැම්බර් 16 වන දින කොළඹ රේන්බෝ සන්නිවේදන ආයතන පරිශ්‍රයේදී පැවත්වන්නට යෙදින. වඩසටහනට සම්බන්ධවූ අනෙකුත් සාමාජිකයන් සියළුදෙනා අන්තර්ජාලය හරහා සජීවීව සම්බන්ධවීමට කටයුතු කරනු ලැබීය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන හා ඉංග්‍රීසි ආයනයේ අධ්‍යක්ෂිකා ලොයිස් කව්චර් මහත්මියයි. උත්සව සභාව ඇමතූ ඇය නිවැරදිව තොරතුරු ඉදිරිපත් කිරීමේ මාධ්‍යය කාර්යභාරය සහ වගකීම පිළිබඳව අවධාරණය කළාය. “කිසිදු හානියක් නොකරන්න” යන මූලධර්මය මත පදනම් වූ තොරතුරු වාර්‍තාකරන ලෙසත්, මීඩියාතන් පුහුණුවෙන් ලද අත්දැකීම් සිය මාධ්‍ය භාවිතය සඳහා යොදාගන්නා ලෙස ද ඇය රේන්බෝ ආයතනයෙන් සහ වැඩසටහනට සහභාගී වූ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියාය.

ආචාර්‍ය්‍ය මහිම් මෙන්ඩිස් මහතා අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය කවුන්සිලයට සිය කෘතඥතාව පළ කළේය. වැඩසටහනට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් හැමදෙනාම වැඩසටහන පිළිබඳව ප්‍රශංසාත්මකව කථාබහ කරන බව තමන් දන්නා බවත්, ප්‍රායෝගික තලයේදී සිය අත්දැකීම් හා මාධ්‍ය ආචාර ධර්‍ම භාවිතා කිරීමට සහභාගී වූවන් ඒකමතිකව සිටින බවත්  අවධාරණය කරනු ලැබීය. රේන්බෝ ආයතනය දශකයකට වැඩි කාලයක් පුරාවට විවිධ මාධ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම තුළින් මාධ්‍යවේදීන් සවිබල ගැන්වීමටත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කිසියම් බලපෑමක් කිරීමටත් සමත්ව සිටින බව ඔහු පැහැදිලි කළේය.

     

බොහෝ ව්‍යාපෘති ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ලද අතර ධර්මසිරි ලංකාපේලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය,( FMETU) මෙම කටයුතුවලදී විශාල සහයෝගයක් ලබාදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

එසේම, මෙම වසර මුලදී, රේන්බෝ සන්නිවේදන ආයතනය ඇමරිකානු මධ්‍යස්ථානය සමඟ හවුල්කාරිත්වයෙන්, ලංකාවේ දිස්ත්‍රික්ක දහයක (10) තරුණ නායකයින් දෙසියයක් (200) සඳහා මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ පැය 30ක පුහුණු වැඩසටහනක් ද පවත්වනු ලැබීය.

FMETU සමඟ රේන්බෝ ආයතනය මාධ්‍යවේදීන් හැත්තෑවක් සඳහා නායකත්ව කුසලතා වර්ධනය කිරීමටත්,  මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ වෘත්තීය සමිතිය ශක්තිමත් කර ගැනීමට ඔවුන්ට මගපෙන්වීමට දායකත්වය ලබාදෙන ලද තවත් වැඩ සටහනකි. FMETU හි විධායක කමිටුවේ නායකත්ව භූමිකාවන්ට පිවිසීමටත්, තරුණ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන්ට සංවිධානය තුළ නායකත්වය ගැනීමට ඇති අවස්ථාව මෙම වැඩසටහන මඟින් තහවුරු කරන ලදී.

මේ වැඩ සටහන සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය, IFJ විසින් සහාය දක්වන ලදී.

රේන්බෝ සන්නිවේදන ආයතනය FMETU සමඟ එක්ව ඉදිරියේදීත් මෙවැනිම වූ වැඩකටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙන අතර මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සහ මාධ්‍ය නිදහස ශක්තිමත් කිරීමටත්, වැඩිදියුණු කිරීමටත් දායක වීම වෙනුවෙන් විචිත්‍රවත් ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ මාධ්‍යවේදියාගේ හතරවන රාජ්‍ය භූමිකාව ශත්කතිමත් කිරීමට කැපවේ.

මැණිකේ මෙන්ඩිස්

 

ඔබට ගැටළු තිබේද?
අපව අමතන්න,
නැත්නම් පැමිණෙන්න.

+[94] 773 641 111

අංක 30,
අමරසේකර මාවත,
කොළඹ 05.
ශ්‍රී ලංකාව.

info@fmetu.org

Newsletter

Get latest news & update

© 2021 – FMETU. All rights reserved.

Carefully crafted by Cyber Ceylon