ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ මුර බල්ලෙකු යැයි හඳුන්වා ගන්නා එක්සත් ජනපදය විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසේන්ජ් දඩයම් කිරීම අත් හැරීමට සූදානම් නැත. පසුගිය දා එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් ප්රීති පතේල්, අධිකරණ තීන්දුව පදනම්ව එක්සත් ජනපදය ඉල්ලා සිටින ආකාරයට ජූලියන් එම රටට භාරදීමට අනුමැතිය ලබා දුන්නාය. එම තීරණය ගැන අභියාචනයක් ඉදිරිපත් කිරීමට තවත් අවස්ථාවක් පවතින නමුත් පතේල් ගේ තීරණය වෙනස්වනු ඇතැයි සිතිය නොහැකිය.
එක්සත් ජනපදය විසින් ජූලියන් ඇසේන්ජ් දඩයම් කිරීම ආරම්භ වූයේ ඔහු 2010 සහ 2011 වසරවල එක්සත් ජනපදය විසින් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිදු කරන ලද, පැහැදිලිව ම යුද අපරාධ වශයෙන් හැඳින්විය හැකි සිද්ධීන් ගණනාවක් සහ ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයන් ගුවන්තනමෝ කඳවුරේ දී වධ හිංසාවට ලක් කළ ආකාරය දැක්වෙන වාර්තා එළි දැක්වීම නිසාය. එක්සත් ජනපද හමුදාව විසින්ම රූ ගත කරන ලද වීඩියෝ පටි අනුව බැග්ඩෑඞ් නගරයේ සාමාන්‍ය වැසියන් මෙන්ම රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවෙකු හෙලිකොප්ටරයකින් එලල කරන ලද ප‍්‍රහාරවලින් මරා දැමෙන ආකාරය නිරූපනය වී තිබිණ. මෙම සිද්ධීන් පිළිබඳව විධිමත් පරීක්ෂණ කිසිවක් සිදුව නැත. ඒ සියල්ල යටපත් කර තිබිණ.
ගුවන්තනමෝ කඳවුරේ දී ඉරාක සහ ඇෆ්ගනිස්තානු සිරකරුවන්ට අමානුෂික ආකාරයෙන් වධ හිංසා පැමිණවීමට අමතරව ගැටුම්වලට කිසිසේත් සම්බන්ධයක් නැති අහිංසක පුද්ගලයන් ද රඳවා තිබිණ. ඒ අතර ඩිමෙන්ෂියා වැනි මානසික රෝගි තත්වයෙන් පසුවන 89 හැවිරිදි මහල්ලෙකු සහ 14 හැවිරිදි ළමයෙකු ද සිටින බව විකිලීක්ස් මගින් පළ කළ වාර්තාවල සඳහන් විය. මීට අමතරව ලෝකයේ බොහෝ රටවල එක්සත් ජනපද තානාපති කාර්යාල මගින් කරන ලද ඔත්තු බැලීම් පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික වාර්තා 250,000ට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කෙරිණ. මෙම තොරතුරු හෙළිවීම නිසා මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජනපදයේ නිරුවත් භාවය හෙළි කෙරිණ. වෙනත් රටවල සිදුවන මෙවැනි අපරාධ අන්තර්ජාතික අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමටත් තවත් රටවල් සම්බන්ධයෙන් සම්බාධක පැනවීමටත් කිසි විටෙක පසුබට නොවන එක්සත් ජනපදයේ ව්‍යාජ හැසිරීම ලෝකය ඉදිරියේ හෙළි විය.
ජර්මනියේ හිට්ලර් පාලනය යටතේ සිදු වූ සහ කුරිරු ඒකාධිපති පාලනයක් යටතේ පමණක් සිදුවිය හැකි මෙවැනි අපරාධ හෙළිදරවු වූ විට මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අව්‍යාජ ව පෙනී සිටින රටක් වශයෙන් කළ යුතුව තිබුණේ ප‍්‍රමාද වී හෝ අපරාධ කරුවන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කිරීම ය. එක්සත් ජනපදය අනෙක් රටවල්වලින් ඉල්ලා සිටින්නේ ද එයයි. එහෙත් විකිලීක්ස් හෙළිදරව්ව සම්බන්ධයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පුවත් පත් නිදහසේ’ මුරදේවාතාවුන් වශයෙන් පෙනී සිටින එක්සත් ජනපදය ක්‍රියාත්මක වූයේ අපරාධය හෙළි කළ අය දඩයම් කිරීම ය. ඒ අනුව විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසේන්ජ් අත් අඩංගුවට ගැනීමට සූදානම් විය. ඇමරිකානු රජයේ අත් අඩංගුවට පත්වීම ජීවිතයට අනතුරක් බව දුටු ජූලියන් ඉන් මිදීමට ලන්ඩන් නගරයේ ඉක්වැදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය ලබා ගත්තේය. තානාපති කාර්යාලයට හිමි රාජ්‍ය තාන්ත්‍රික වරප‍්‍රසාද නිසා බ්‍රිතාන්‍ය පොලීසිය එහි ඇතුළු නොවු නමුත් තානාපති කාර්යාලයෙන් පිට වූ වහාම අත් අඩංගුවට ගැනීමට එම කාර්යාලය වටලා ගත්හ. 2012 සිට 2019 දක්වා වසර හතකට අධික කාලයක් ජූලියන් තානාපති කාර්යාලයේ කාමරයතට සීමාව සිටියේය.
ඉක්වැදෝරයේ එක්සත් ජනපදයට හිතවත් පාලනයක් ඇතිවීම නිසා ජූලියන්ගේ දේශපාලන රැකවරණය ඉවත්කිරීමත් සමග බ්‍රිතාන්‍ය පොලීසිය ඔහු බලහත්කාරයෙන්ම රැගෙනවිත් බ්‍රිතාන්‍යයේ දරුණුතම සිර ගෙයක් වන බෙල්මාර්ෂ් හි හුදකලා කොට රඳවා ගෙන සිටී. කලින් අධිකරණයකින් ඔහු නිදහස් කළ ද බ්‍රිතාන්‍ය පොලීසිය විසින් ඇමරිකානු රජයේ බලපෑම මත ඔහු දිගටම සිරගත කර ගෙන සිටියි.
ජූලියන් ඇසේන්ජ්ට විරුද්ධව එක්සත් ජනපදය චෝදනා කරන්නේ ඔත්තු බැලීමේ පනතක් යටතේය. එම පනත යටතේ චෝදනා 18ක් ඉදිරිපත් කර ඇති අතර ඒවා ඔප්පු වුවහොත් ඔහුට වසර 175ක සිර දඬුවමක් නියම වනු ඇත. මෙවැනි චෝදනා පිළිබඳ ව එක්සත් ජනපද අධිකරණය අතීතයේ ක්‍රියාකර ඇති ආකාරය සැලකිල්ලට ගන්නා නීතිවේදීන්ගේ අදහස ජූලියන් ට එරෙහිව නගා ඇති සියලු චෝදනාවලින් වැරදිකරු කිරීමට බෙහෙවින් ඉඩ ඇති බව යි. එමනිසා එය බොහෝ දුරට තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ජූලියන් ගේ අවසානය විය හැකිය.
එක්සත් ජනපදයට ජූලියන් අවශ්‍ය වන්නේ ඔහු කරන ලද හෙළිදරව් නිසාය. පැහැදිලිව ම යුද අපරාධ වශයෙන් හැඳින්විය හැති එම සිද්ධීන් ඔත්තු බැලීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන්නේ අත්තනෝමතික පාලනයක් යටතේ පමණි. ඔහු කරන ලද හෙළිදරවු එක්සත් ජනපදයේ ආරක්ෂාවට තර්ජනයක් යැයි හැඳින්වුවත් සැබැවින් ම ඉන් සිදුව ඇත්තේ එක්සත් ජනපදයේ හමුදා මෙහෙයුම් සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව හෙළි විමය. මෙම හෙළිදරවු කිරීම් නොවුයේ නම් ඇෆ්ගනිස්ථානයේ විවාහ උත්සවයක් පැවැත්වූ ස්ථානයකට ඇමරිකානු ගුවන් ප්‍රහාර එල්ල වූ ආකාරයත් ඇප්ගනිස්ථානයේම රෝහල් ඇමරිකානු භටයන්ගේ ඉලක්ක වූ ආකාරයත් සෙසු ලෝකයා පමණක් නොව ඇමරිකානු ජනතාව පවා දන්නේ නැත. මෙම තොරතුරු ජනතාව අතට පත් කිරීම එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද තොරතුරු දැන ගැනීමේ අයිතියෙන් ද තහවුරු කර ඇති නීතිමය ප‍්‍රතිපාදනයන් ය.
එහෙත් පුදුමයට කාරණයක් වන්නේ රුසියාව විසින් යුක්‍රේනයේ සිදු කරන්නේයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් මහත් හඬ නගන ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය පවා ජූලියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මුනිවත රැකීම ය. එය සැබැවින් ම අපරාධය සිදු කළ අය වෙනුවෙන් පෙනී සිටීමකි.
කෙසේ වුවත් තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින සමහර ආයතන එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ මෙම පියවර විවේචනයට ලක් කර ඇත. මාධ්‍ය නිදහස ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නිල්ස් මෙල්ස්නර් ජූලියන් හුදකලාව සිරගත කොට තැබීම හැඳින් වූයේ වධ හිංසා පැමිණවීමක් සේය. ඒ පිළිබඳව එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකම වගකිව යුතුයැයි ඔහු හැඳින් වූයේය.
ජූලියන් එක්සත් ජනපදයට භාර දීමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික පෙඩරේෂණයේ සභාපති ඩොමිනික්, ජූලියන් මරණ දඬුවමට ලක්වීමේ අවධානමක් ඇති ජනමාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලන සිරකරුවෙකු වශයෙන් හැඳින් වූයේය. ජනමාධ්‍ය නිදහස අගය කරන සියලු දෙනාම මෙම හිතුවක්කාර තීරණයට විරුද්ධ විය යුතු යැයි ඔහු අවධාරණය කෙළේය.
වෙනත් සාකච්ඡාවක දී කරුණු දැක් වූ ජූලියන් ගේ බිරිඳ ස්ටෙලා මොරිස් ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් ප්රීති පතේල් ගේ තීරණයෙන් පසුව වෙනත් සිර මැදිරියකට ගෙන යන ලද ඔහුට අමුත්තන් මුණ ගැසීමට අවස්ථාවක් පවා ලබා නොදුන් බවත් ඔහු නිරුවත් කොට දවසක් ම රඳවා තැබීමෙන් වධ හිංසාවන්ට ලක් කර ඇති බවත් පැවසුවා ය.
එක්සත් ජනපදය ජූලියන් දඩයම් කරන්නේ ඔහුගේ සංස්කාරත්වයෙන් පළ කළ විකිලීක්ස් හෙළදරවු නිසා විදේශවල සේවය කරන ඇමරිකානු ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයකි යන චෝදනාවයි. එහෙත් එවැනි චෝදනාවක් නිසා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට තහංචි පැනවීමත් තොරතුරු හෙළි කළ අයට දඬුවම් දීමත් සාධාරණය කළ නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේයැයි යන කඩතුරාව නිසා යුද්ධයේ දී පිළිපැදිය යුතු ජිනීවා සම්මුතීන් කඩ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. යුද්ධයක් පවතින අවස්ථාවක දී වුවද සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගැටුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන් බැඳී සිටී. එම අයිතිය හමුදාවේ ආරක්ෂාව යන දුහුල් පටකින් වසා දැමිය නොහැකිය.
ජූලියන් ඇසෙන්ජ් දඩයම් කිරීමෙන් එක්සත් ජනපදය සහ එහි මිතුරු රටවල් නැවත වරක් තහවුරු කරන්නේ මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස යන සංකල්ප ඔවුන්ට කැමති ආකාරයට නිර්වචනය කළ හැකි හිස් වදන් බවය. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නිල්ස් මෙල්ස්නර් නැවත නැවතත් අවධාරණය කර ඇති ආකාරයට එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ජූලියන් වධ හිංසාවන්ට ලක් කර තිබුණ ද ඒ පිළිබඳ එම රටවල් තැකීමක් කර නැත. මෙක්සිකෝ ජනාධිපති ලොපෙස් ඔබ්‍රඩොර් පුවත් පත් සාකච්ඡාවක දී ඇමරිකානු හමුදා භටයන් බැග්බෑඞ් නගරයේ දී ගුවනින් සාමාන්‍ය වැසියන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය දැක්වෙන වීඩියෝ පටිය ප‍්‍රදර්ශනය කරමින් එය පැහැදිලිව ම යුද අපරාධයක් නිසා එම වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවත්, තමා ඉදිරි දිනක ඇමරිකානු ජනාධිපති හමුවන විට මෙම කරුණු මත කරන බවත් පැවසුවේය.
දුර්වල මානසික තත්වයක පසුවන ජූලියන් හුදකලාව සිර ගත කර සිටීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් විය හැකි බව වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් ප්‍රමුඛ කීර්තිමත් පුද්ගලයන් ද කරුණු ඉදිරිපත් කර තිබිය දී ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වීමෙන් එක්සත් ජනපදය සහ බටහිර රටවල් මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන් මානව අයිතිවාසිකම් තම දේශපාලන වුවමනාවන්ට යටපත් කරන බව නැවත වරක් සනාථ කර ඇත. කෙසේ වුවත් ජූලියන් ඇසේන්ජ් තොරතුරු දැන ගැනීමේ ශුද්ධ වූ අයිතිය වෙනුවෙන් ජීවිතය කැප කළ වීරයෙකු වශයෙන් ජනතා සිත් සතන් තුළ සදා ජීවත් වනු ඇත.