ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැති  අතර ශ්‍රී ලංකාවේ පරිසර තිරසාරත්වය තහවුරු කිරීමේ අරමුණින්, පරිසර සංරක්ෂණයට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් කර්මාන්ත, රජයේ සහ පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය ආයතන, පාසල් සහ ප්‍රජා සහභාගීත්වය ඇගයීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.

මෙම වැඩසටහන රට තුළ පරිසර හිතකාමී කර්මාන්ත, ව්‍යාපාර සහ සේවා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමටත්, පරිසර භාරකාරත්වය සඳහා සමාජය දිරිමත් කිරීමටත්, තිරසාර සංවර්ධනය සඳහා මහජන සහභාගීත්වය ඉහළ නැංවීමටත් අරමුණු කරයි.

මෙවර ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන ලස්සන දිවයිනක්සතුටු මිනිසුන් තේමාව යටතේ ක්‍රියාත්මක වූ පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන හා එක්ව පැවැත්වීම විශේෂත්වයකි.

පරිසර හිතකාමී කාර්මික අංශය, රජයේ ආයතන අංශය, පෞද්ගලික අංශය, පාසල් අංශය, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ව්‍යාපෘති අංශය, නව්‍ය පරිසර හිතකාමී නිර්මාණ අංශය, පරිසර රාජ්‍ය නොවන සංවිධාන අංශය, මාධ්‍ය අංශය සහ සමාජ මාධ්‍ය අංශය යන අංශ නවය යටතේ සම්මාන 132 ක් ප්‍රදානය කරන ලද අතර, ඊට රන් සම්මාන 17ක්, රදී සම්මාන 29ක්, ලෝකඩ සම්මාන 38ක්, විශිෂ්ටතා සම්මාන 47ක් සහ එක් විශේෂ සම්මානයක් ඇතුළත් විය.