බිගුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන විසිනි

බන්ධනාගාර නියාමක සම්මුඛ පරීක්ෂණයේදී අක්‍රමිකතා සිදුව ඇති බව කියමින් අවසාන මොහොතේ පත්වීම් ලබාදීම අවලංගු කිරීමෙන් රටේම අවධානය ගැනීමට බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති ස්වාමිනාදන් මහතා කටයුතු කළේ 2016 නොවැම්බරයේය. ඇමැතිවරයා එහිදී කියාසිටියේ බන්ධනාගාර නියාමක පත්වීම් අත්හිටුවා ඇති බව හා නියාමක පුරප්පාඩු 350 සඳහා නැවත සම්මුඛ පරීක්ෂණයක් පවත්වන බවයි. පත්වීම් අත්හිටුවීමට හේතුව ලෙස ඔහු දැක්වූයේ පත්වීම් ලබාදීමේදී අල්ලස් ගැනීම් හා වෙනත් අක්‍රමිකතා සිදුව ඇති බවට තමාට කරුණු වාර්තා වීමයි. ඒ වනවිට මාධ්‍ය මගින් ඇමැතිවරයා ද චෝදනාවකට ලක්ව තිබිණ.

ඒ නියාමක ලැයිස්තුවට ඇමැතිගේ නම් 150 ක් ඇතුලත් දේශපාලන ලැයිස්තුවක් ද එක්ව ඇති බවටය. ඒ චෝදනාව ගැන කරුණු දැක් වූ ඇමැතිවරයා ලැයිස්තුවේ කතාව මු`ඵමනින්ම ප්‍රතික්ෂේප කළේ නැත. ඔහු කීවේ එම ලැයිස්තුවේ ඇතුලත්ව ඇත්තේ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඉල්ලීම් යැයි කියාය. තවද මේ සිදුවීමත් සමඟ අමාත්‍යංශ ලේකම්වරයාට ද තනතුර අහිමිව තිබිණ. ලේකම්වරයා ඉවත්කිරීමට එම හේතුව ද බලපෑ බව කී ස්වාමිනාදන් ඇමැතිවරයා දෙවැනි සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ හයදහසට නැවතත් සම්මුඛ පරීක්ෂණයක් ලබා දී පත්වීම් සිදුකරන බව කීවේය. බඳවාගැනීමේ ක්‍රියාවලියේ ඇති දේශපාලනික මුහුණුවර ගැන කරුණු අනාවරණය කිරීමට 2017 ජූලි 5 වැනිදා පළ වූ සත්‍ය ගවේෂණ ලිපිය මගින් ලියුම්කරුවෝ කටයුතු කළහ.

කෙසේ වෙතත් ඇමැතිවරයාගේ මාධ්‍ය හමුවෙන් පසුව ඔහුගේම නියමයෙන් සිදුවීම ගැන සෙවීමට විමර්ශන මණ්ඩලයක් ද පත්කෙරුණි. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ආර්.එම්.ජේ.ඒ රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කෙරුණු විමර්ශන මණ්ඩලයේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජේ.එම්.ඒ ඩග්ලස්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශයේ සහකාර ලේකම් ධම්මිකා වික්‍රමසිංහ හා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ නීති නිලධාරි මේජර් නීතිඥ ඩී.ජී.පී.කේ හෙයියන්තුඩුවගේ යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වූහ. තොරතුරු දැනගැනීමේ අයිතිය යටතෙ කළ අයැදුමක් මගින් අදාළ වාර්තාව ලබාගැනීමට ලියුම්කරුවන් කටයුතු කළේ ඇමැතිවරයාගේ සැකය තහවුරුවී ද යන්නත් වින්ධිතයන්ට සාධාරණයක් ඉටුවීද යන්නත් දැනගැනීමටය. තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතියක් වීත් බන්ධනාගාර අමාත්‍යංශයට එය අදාළ නොවන ආකාරය ගැන අත්දැකීම් ලැබීමට එහිදී අපට හැකි විය. ඒ ගැන මෙහි විස්තර නොකරන්නේ ලිපිය දීර්ඝ වන බැවිනි.

විමර්ශන වාර්තාවෙන් අනාවරණය කෙරෙන පරිදි මේ සිදුවීම තනිකරම පරිපාලන අර්බුදයකි. ඊට අනුව බන්ධනාගාර මූලස්ථානයේ අතිශය ආරක්ෂිතව පැවැතිය යුතු ලිපිගොනු 45 ක් අතුරුදහන්ව තිබේ. සැබැවින්ම කමිටු වාර්තාව කියවන්නෙකුට පුදුම සිතෙන්නේ ලිපිගොනු නැතිවීම ගැන නොවේ. බන්ධනාගාර මූලස්ථානය මේ තත්ත්වයෙන් හෝ මෙතෙක් කල් පැවැතීම ගැනය. බඳවාගැනීමේ බලධරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බලය පවරන ලද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාය. ඒ වනවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බන්ධනාගාර නියාමකයන් 1098 ක් හා නියාමකවරියන් 164 ක් ලෙස පුරප්පුඩා 1262 ක් තිබුණේය. 2015 දී 500 ක්, 2016 දී 350 ක් හා ඉතිරි පිරිස 2017 දී බඳවාගැනීම දෙපාර්තමේන්තුවේ අරමුණ විය. රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්වරයා හා ජාතික අයවැය දෙපාර්තමේන්තුව ද ඊට අනුමැතිය දී තිබුණි. කෙසේ වෙතත් 2016 බඳවාගැනීමේ දී ඇමැතිවරයා අනුමැතිය දී තිබුණේ පසුව බව කමිටු වාර්තාවේ සඳහන් වේ. 2016 අගෝස්තු 5 වැනිදා බන්ධනාගාර නියාමකයන් 305 ක් නියාමකවරියන් 45 ක් බඳවාගැනීමට අදාළ ගැසට් පත්‍රය පළකෙරිණි. ඒ අනුව දිවයිනේ පිහිටි සියලු බන්ධනාගාර වෙත අයැදුම් පත්‍ර 20,758 ක් ලැබී තිබූ අතර බන්ධනාගාර නියාමකයන් 305 ක් සහ නියාමකවරියන් 45 ක් බඳවාගැනීමට අදාළව මූලික පරීක්ෂණ 2016.10.19 වැනි දින හා 2016.10.27 වැනි දින අතර කාලයේදී බන්ධනාගාර මගින් ප්‍රාදේශීයව පැවැත්වීය.

එහෙත් මූලික පරීක්ෂණවලට අදාළව මූලික පරීක්ෂණ මණ්ඩල සභාපතිවරු හා සාමාජිකයන් සඳහා බන්ධනාගාර මූලස්ථානය මගින් විධිමත්ව පත්වීමේ ලිපි නිකුත් කිරීමක් සිදු කර නොමැත. කෙසේ වෙතත් උපදෙස් ලැබුණේ මූලික පරීක්ෂණය අවසානයේදී ඒ ඒ දිනවල පරීක්ෂණ පැවැත් වූ ප්‍රාදේශීය බන්ධනාගාර මගින් අවසාන සම්මුඛ පරීක්ෂණය සඳහා අවම සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන්ගේ නාම ලේඛනයක් බන්ධනාගාර මූලස්ථානය වෙත විද්‍යුත් තැපෑල මගින් ලබා දෙන ලෙසය. එහෙත් නිසි පරිදි එකී ලැයිස්තු බන්ධනාගාර මූලස්ථානය වෙත ලැබුණා ද යන්න හා නිසි සුදුසුකම් ලැබූ තැනැත්තන් සියලු දෙනාගේම නම් මූලස්ථානය වෙත ලැබුණා ද යන්න සනාථ කරගැනීමට නිසි ක්‍රමවේදයක් බන්ධනාගාර මූලස්ථානය වෙතින් අනුගමනය කර නැත.
මඩකලපුව බන්ධනාගාරය වෙතින් 2016 ඔක්තෝම්බර් 23 වැනි දින පවත්වන ලද මූලික පරීක්ෂණයෙන් අවසන් පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ සියලුම අපේක්ෂකයන්ට අවසාන සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ ලිපි නිකුත් කිරීම විෂය ලිපිකාරිනිය අතින් මගහැරී තිබුණේ මේ නිසාය. එවැන්නක් සිදුව ඇති බව දැනගත්තේ ද එම අපේක්ෂකයන් බන්ධනාගාර මූලස්ථානයෙන් හා අමාත්‍යංශයෙන් විමසූ පසුය.


මඩකලපුව බන්ධනාගාරය වෙතින් පැවැත් වූ මූලික පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛන ස්කෑන් කර විද්‍යුත් තැපෑල මගින් බන්ධනාගාර මූලස්ථානය වෙත යොමු කර තිබුණ ද එම ලැයිස්තුවේ ඇතුලත් සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන්ගේ නම් බන්ධනාගාර මූලස්ථානයේ පරිගණකය වෙත ඇතුලත් කිරීම මගහැරී ඇත. අඩුම තරමින් විද්‍යුත් තැපෑල මගින් ලැබුණු ලකුණු ලැයිස්තු හා මුල් ලේඛන බන්ධනාගාර මූලස්ථානය වෙත ගෙන්වා ගෙන සසඳා බලා සනාථ කරගත්තේ නම් නිවැරැදිව අවසාන සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම සඳහා හැකියාව තිබිණි. දිවයින තුළ ඕනෑම ස්ථානයක පවත්වන ලද පරීක්ෂණයක ප්‍රතිපල එක් දිනක් තුළ බන්ධනාගාර මූලස්ථානය වෙත ගෙන්වාගැනීමේ හැකියාවක් පවතින බව විමර්ශන කමිටුව ද පවසයි. එහෙත් එවැන්නක් සිදුව නැත.

මාතර හා තංගල්ල බන්ධනාගාරය මගින් එක් අයෙකු බැගින් ද මහනුවර බන්ධනාගාරය මගින් 6 දෙනෙකු ද සුදුසුකම් ලබාගෙන තිබුණත් මුල් අවස්ථාවේදී අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා තිබුණේ නැත. එම අපේක්ෂකයන් බන්ධනාගාර මූලස්ථානයෙන් හා අමාත්‍යංශයෙන් විමසන තෙක් එලෙස මගහැරී තිබූ බවවත් ඔවුන් දැන සිටියේ නැත. ඊට හේතුව ද මූලික පරීක්ෂණ පැවැත් වූ මණ්ඩල විධිමත් ආකාරයෙන් කටයුතු නොකිරීමය. අවසාන සම්මුඛ පරීක්ෂණ බන්ධනාගාර මූලස්ථානයේදී පරීක්ෂණ මණ්ඩල 18 ක් මගින් 2016 නොවැම්බර් මස 03, 04, 08, 10 හා 11 දිනවල පවත්වන ලද අතර පසුව නොවැම්බර් 12 වැනි දින ද සම්මුඛ පරීක්ෂණ මණ්ඩල දෙකක් පවත්වා තිබිණ.

සමාන ලකුණු ලබාගැනීමේ හේතුව මත පිරිමි අයැදුම්කරුවන් 287 ක් සහ අයැදුම්කාරිනියන් 38 ක් පමණක් බන්ධනාගාර නියාමක තනතුරට බඳවාගැනීම සඳහා තෝරාගෙන ගිවිසුම් අස්සන් කිරීම සඳහා කැඳවීමේ ලිපි නිකුත් කර තිබිණ. එහෙත් ඇතැම් අයැදුම්කරුවන්ට ලබා දී තිබූ ලකුණු නිවැරැදි නොවූ අතර කොටින්ම කිවහොත් ලකුණු එකතුව පවා වැරැදිය. එකී අයැදුම්කරුවන්ට අදාළව අවසාන තෝරාගැනීම සඳහා ලකුණු ඇතුලත් කිරීමේදී පරිගණකයට ගියේ එම වැරැදි ලකුණුය.

නිලධාරින්ගේ වැඩ පියන්ට බාර දීම

දෙපාර්තමේන්තුවේ තරම කියාපාන තවත් ලේඛනයක් නම් අවසාන සම්මුඛ පරීක්ෂණයේ ලකුණු අඩංගු උපලේඛනය. පාලන අංශයේ වගකිව යුතු නිලධාරියෙකු විසින් භාරගනු නොලැබූ ඒවා කිසිදු නිලධාරියකුගේ භාරයේ නොමැතිව පරිපාලන නිලධාරි II(වැ.බ) ගේ මේසය මත අතැර තිබුණේ කිසිදු වගකීමක් නැතිවය. ඒ අනුව විධිමත් ලෙස සම්පූර්ණ කටයුතු අවසන් වනතෙක් මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ එක් ස්ථානයකදී පරිගණක ගතකිරීම් සිදුව නැත. එහි ප්‍රතිපලය වූයේ අවසාන තෝරාගැනීම සඳහා පරිගණක ගතකරන ලද ලකුණුවල විශ්වසනීයත්වය තහවුරු කළ නොහැකිවීමය. අවසාන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ලකුණු පරිගණකගත කිරීමට සම්බන්ධ වූ එක් තැනැත්තෙකු නම් ජේ.කේ.ඒ.ආර් කුමාර නමැත්තාය. ඒ අන් කවරෙකුවත් නොව එවකට බන්ධනාගාර අධිකාරී (පාලන) තනතුරු දැරූ එමිල් රංජන් ළමාහේවාගේ මහතාගේ කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයාය.

මෙම ක්‍රියාවලියේ වඩා වැදගත්ම මෙන්ම භයානකම කරුණ හෙළිදරව් වන්නේ මින් පසුය. අවසාන සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගෙන බඳවාගැනීම සඳහා ලිපි යොමුකර තිබූ අපේක්ෂකයන් 45 දෙනෙකුගේ අවසාන සම්මුඛ පරීක්ෂණය පවත්වන අවස්ථාවේ දී ලකුණු ලබා දුන් සහතිකවල සහතික කරන ලද ඡායා පිටපත් අඩංගු ලිපි ගොනු අතුරුදහන්වීමය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ බව විමර්ශන මණ්ඩලයට ලිඛිතවම දන්වා ඇත. සිරකරුවකු තාප්පයකික් පනින්නා සේ ලිපි ගොනුවලට පැන යා නොහැකිය. ඒවාට සිදු වූ දෙයක් තිබිය යුතුය. ඔහු පවසන පරිදි බන්ධනාගාර මූලස්ථානයේ ඒවා නොමැති නම් ඒවා අස්ථානගත වී ඇති නම් තත්ත්වය සරල නොවේ. මන්දයත් බන්ධනාගාර මූලස්ථානය වනාහි පෙට්ටි කඩයක් නොවන බැවිනි.

විමර්ශන මණ්ඩලය සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් වැදගත් කරුණු ගණනාවක්ම හෙළිදරව් කර තිබේ. ඒ බන්ධනාගාර මූලස්ථානයේ පරිපාලනය ගැනය. බන්ධනාගාර මූලස්ථානයේ රාජකාරියේ නියුතු පරිපාලන නිලධාරිහු විෂය ලිපිකරුවෝ හා කළමනාකරණ සහකාරවරු ඉතා දීර්ඝ කාලයක් තිස්සේ එකම ස්ථානයේ තනතුරු හොබවමින් සිටිති.

ඔවුන් සිය ඉහළ නිලධාරින් සමඟ මනා සම්බන්ධතාවයෙන් යුතුව රාජකාරිවල නොයෙදෙන බව හා නිලධාරින්ගේ නිසි උපදෙස් ලබා නොගෙන තමන්ට අභිමත පරිදි කටයුතු කරන බව විමර්ශන මණ්ඩලය අවධාරණය කරන්නේ නිකරුණේ නොවේ. ප්‍රධාන පරිපාලන නිලධාරි සී.එන් අමරවික්‍රම මහතා හා පරිපාලන නිලධාරි ¸¸(වැ.බ) පී.ඩබ්ලිව්.යූ.අමරප්‍රේම මහතා විමර්ශන මණ්ඩලය හමුවේ ලබාදුන් සාක්ෂි මත හා සාක්ෂි ලබාදෙන අවස්ථාවේදී හා අදාල ලිපිගොනු විමර්ශන මණ්ඩලය භාරයට ගැනීම සඳහා විමර්ශන මණ්ඩලය බන්ධනාගාර මූලස්ථානයට ගිය අවස්ථාවේදී දුටු නිරීක්ෂණවලිනි. එකී තැනැත්තන් තම රාජකාරිමය කටයුතු පිළිබඳ නිසි වගකීමකින් කටයුතු නොකරන බව ඔවුන්ගේ හැසිරීම හා ක්‍රියා කලාපය අනුවම පැහැදිලි වූ බව ඔවුහු පවසති.

බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර ඇති අසමගිය හොඳින්ම පෙන්නුම් කළ අවස්ථාවක් හැටියට මෙම සිදුවීම් දාමය දැක්විය හැකිය. මෙය බන්ධනාගාර මූලස්ථානයේ රාජකාරි කටයුතුවලට දැඩි බාධාවකි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වන එච්.එම්.එන්.සී ධනසිංහ මහතා වෙත ආසන්නම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වන මෙම විමර්ශනයට අදාළ කාලය තුළ බන්ධනාගාර කොමසාරිස් (පාලන) තනතුරු දැරූ එම්.වී ගුණවර්ධන මහතා සහ බන්ධනාගාර අධිකාරි (පාලන) තනතුර දැරූ ඊ.ආර් ළමාහේවගේ මහතා යන අය අතර නිසි සහයෝගයක් සබඳතාවයක් තිබී නැත. බඳවාගැනීමේ කටයුතු බන්ධනාගාර කොමසාරිස් තම සෘජු පාලනය යටතේ කර ඇත්තේ මේ නිසාය.

බන්ධනාගාර නියාමකයන් හා නියාමකවරියන් බඳවාගැනීමේ ක්‍රියාවලිය පියවරෙන් පියවර අධීක්ෂණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් නොතිබූ බව හා පාලන අංශයේ බන්ධනාගාර කොමසාරිස් (පාලන) , බන්ධනාගාර අධිකාරි (පාලන) ඇතුළු කාර්ය මණ්ඩලය අතර මනා සම්බන්ධතාවයක් ද තිබී නැත.

සමස්ත බඳවාගැනීමේ ක්‍රියාවලියේදී එකී කාර්ය නිසි ලෙස සැලසුම් කිරීම (Planning), නිසි පරිදි ක්‍රියාත්මක කිරීම (Implementation) ” නිසි පරිදි ක්‍රියාත්මකවන්නේ ද (Monitoring) යන්න සොයාබැලීම හා ක්‍රියාත්මක කරන ලද කාර්ය පිළිබඳ ඇගයීම (Evaluation) සිදු කර නොමැති බව ද එම වාර්තාවේ සඳහන් වේ. එසේ නම් අපට අසන්නට තිබෙන්නේ බන්ධනාගාර මූලස්ථානයෙන් කර ඇත්තේ කුමක්ද කියාය. අනෙක් අතට විමර්ශකයන් පවසන්නේ ඇමැතිවරයා මාධ්‍ය හමුවක් පවත්වා පැවැසූ පරිදි බඳවාගැනීමේ ක්‍රියාවලියේදී මුදල්, වෙනත් සන්තෝසම් හා අල්ලස් ලබාගත්තා ද යන්න පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නැති බවකි.
නිගමන හා නිර්දේශ විමර්ශන මණ්ඩලය පවසන පරිදි දැන් බන්ධනාගාර මූලස්ථානයට හෝඩියේ සිට වැඩ පටන්ගන්නට සිදුව ඇත. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා බන්ධනාගාර මූලස්ථානයේ පාලන අංශයේ සියලු නිලධාරින්/ලිපිකරුවන්/කළමනාකරණ සේවය ඇතුළු රාජකාරි කරන සියළු තැනැත්තන් වෙත එකී තැනැත්තන්ගේ රාජකාරි හා වගකීම්වලට අදාළ ලිඛිත රාජකාරි ලැයිස්තු නැවත භාර දිය යුතු බව මණ්ඩලය නිර්දේශ කර ඇත. තවද එම තැනැත්තන් සිය රාජකාරි හා වගකීම් ගැන දැනුවත් බවට හා ඒ අනුව කටයුතු කරන බවට ලිඛිත ප්‍රකාශ ද ලබා ගත යුතුය.

නිලධාරින්ගේ අක්‍රමිකතා නිසා සිදුවුණේ සියලු සම්මුඛ පරීක්ෂණ හා ඊට අදාළ බඳවාගැනීම් අවලංගු කිරීමට විමර්ශන මණ්ඩලය නිර්දේශ කිරීමය. බන්ධනාගාර කොමසාරිස් පත්වීමේ බලධරයා හැටියට එම නිර්දේශ ක්‍රියාත්මක කළ අතර සුදුස්සන් නැවත තේරීමක් සිදුවුණේ ඒ අනුවය. බඳවාගැනීම් කල්යාම නිසා වයස් සීමා ඉක්මවන තැනැත්තන්ගේ වයස ප්‍රශ්නයක් නොකරගන්නැයි විමර්ශන මණ්ඩලය උපදෙස් දුන්න ද ජීවිතයේ වටිනාම අවධිය වන තරුණ කාලයෙන් වසරකට වඩා උදුරාගැනීම ගැන රජයට මිදෙන්නට බැරිය. අනෙක් අතට 2017ට අදාළ බඳවාගැනීම් පමාකරන්නට නිර්දේශ නිකුත් කරන්නට සිදුවුණේ ද 2016 අක්‍රමිකතා නිසාය. නැවත අමාත්‍යංශ අනුමැතිය ලබාගෙන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා 2016 වර්ෂයට අදාළව බන්ධනාගාර නියාමකයන් නියාමකවරියන් බඳවාගැනීමේ පරීක්ෂණ මණ්ඩල විධිමත් ලෙස නැවත පත්කිරීමට හා බඳවාගැනීමේ ක්‍රියාවලිය විධිමත්ව කිරීමට කටයුතු කළ ද ඊට සැලකිය යුතු කාලයක් ගතවිය.

රාජ්‍ය සේවකයන් එක තැන අටුවන් බැසීම නිසා හටගන්නා අවකළමනාකරණයත් අකාර්යක්ෂමතාවයත් ගැන ඉහළින්ම කතාවෙන්නේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේය. නිරන්තරයෙන් ගුරුවරුන් ඉලක්ක කරගත්ත ද රාජ්‍ය සේවයේ බොහෝ ක්‍ෂේත්‍රවලට මෙය පොදු තත්ත්වයකි. මෙම වාර්තාව ඊට කදිම සාක්ෂියකි. බන්ධනාගාර මූලස්ථානයේ පරිපාලන නිලධාරින්, ලිපිකරුවන්, කළමනාකරණ සහකාරවරුන්, කාර්යාල කාර්ය සහායකයින් දීර්ඝ කාලයක් එම ස්ථානයේ තනතුරු හෙබවීම එකී ස්ථානයේ මනා පාලනයට අහිතකර ලෙස බල පා ඇති බව විමර්ශකයෝ පවසති. ඔවුන් නිර්දේශ කරඇත්තේ එවැනි තැනැත්තන් පියවර දෙකකින් බන්ධනාගාර මූලස්ථාන රාජකාරිවලින් මුදාහැර අදාළ ආයතන සමඟ සම්බන්ධතාවයෙන් යුතුව වෙනත් සුදුසු තැනැත්තන් එකී තනතුරුවලට පත්කිරීමට පියවර ගත යුතු බවය.
බන්ධනාගාර මූලස්ථානයේ හා අනෙකුත් බන්ධනාගාරවල පාලනය හා එහි පවතින අඩුපාඩු පිළිබඳව සොයාබැලීමේ වැඩපිළිවෙලක් (Admin Inspection) අමාත්‍යවරයාගේ අනුමැතිය මත ක්‍රියාත්මක කිරීම ද තවත් නිර්දේශයකි.

ලිපිගොනු අතුරුදහන්වීම සම්බන්ධයෙන් විමර්ශන මණ්ඩලයේ නිර්දේශ සෑහීමකට පත්විය හැකි නොවේ. ලිපිගොනු අතුරුදහන්වීම ගැන වගකිවයුත්තන් හැටියට විමර්ශකයන් නම් කර ඇත්තේ කවුද යන්න මුලින් විමසා බැලිය යුතුය. එහිදී සම්මුඛ පරීක්ෂණ පවත්වා මාස දෙකකට වඩා අඩු කාලයකදී ලිපිගොනු 45 ක් අස්ථානගතවීම නිසා බන්ධනාගාර නියාමක තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගැනීමේ ක්‍රියාවලිය නිසි පරිදි සැලසුම් සහගතව ආරක්ෂාකාරීව හා සංවිධානාත්මකව පැවැත්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ එම්.එන්.සී ධනසිංහ (බන්ධනාගාර කොමසාරිස් ජනරාල්), එම්.වී ගුණවර්ධන (අදාළ කාලයේ බන්ධනාගාර කොමසාරිස් ( පාලන) තනතුර දරා ඇත) හා ඊ.ආර් ළමාහේවගේ (අදාළ කාලයේ බන්ධනාගාර අධිකාරි(පාලන) තනතුර දරා ඇත) යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වගකිව යුතු බව විමර්ශන මණ්ඩලය නිගමනය කර ඇත. අමාත්‍යංශ ලේකම් හමුවට කැඳවා ඔවුන්ට අවවාද කළ යුතු බව විමර්ශන වාර්තාවේ සඳහන්ය. තවද සී.එස්.අමරවික්‍රම (පරිපාලන නිලධාරි ¸ ) පී.ඩබ්ලිව්.යූ අමරප්‍රේම (ප්‍ර.ලි සහ පරිපාලන නිලධාරි ¸¸(වැ.බ)) හා ඊ.ඒ.පී.ඩී එදිරිසිංහ මෙනෙවිය (කළමනාකරණ සහකාර ¸¸ ශ්‍රේණිය ) යන තිදෙනා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත කැඳවා තරයේ අවවාද කර එසේ අවවාද කළ බවට ලිපියක් පෞද්ගලික ලිපිගොනුවට පිටපත් සහිතව එකී තැනැත්තන් වෙත බාර දිය යුතු බව විමර්ශන මණ්ඩලය නිර්දේශ කර ඇත.

විමර්ශන වාර්තාවට හසු නොවන කරුණු

විමර්ශන මණ්ඩල වාර්තාවේ කේන්ද්‍රීය ඉලක්කය නම් ෆයිල් 45 කතාවය. මන්දයත් බඳවාගැනීම් පමා කරමින් නැවත බඳවාගැනීම් සඳහා බලධාරින් කල්මරද්දී පත්වීම්ලාභීන්ගෙන් ද එල්ල වූ චෝදනාව නිසාය. ඔවුන් චෝදනා කළේ මෙම ලිපිගොනු කතාව වනාහි නිසියාකාරව සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දුන් පිරිස් කප්පාදු කිරීමට බලධාරින් ගසන ගැටයක් කියාය. විමර්ශන මණ්ඩල නිර්දේශ දෙස බලද්දී එම චෝදනාව තවත් බලවත් වන සෙයකි. මන්දයත් ෆයිල් 45 ක් නැතිවීම කජු ඇට කොස් ඇට ගානට සළකමින් ඒවාට ආරක්ෂාව දිය යුතු පිරිස්වලට අවවාදයක් දී ලිපියක් ලබාගන්නා තැනට විමර්ශකයන්ගේ නිර්දේශ සුමට වී ඇති නිසාය. අනෙක් අතට බඳවාගැනීමේ ක්‍රියාවලියට එල්ල වූ දේශපාලන බලපෑම් ගැන ද විමර්ශනයක් කෙරී නැත. 2016 නොවැම්බරයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා දේශපාලන ලැයිස්තු චෝදනාව මුළුමනින් ප්‍රතික්ෂේප කළේ නැත. එම ලැයිස්තුවේ ඇතුලත්ව ඇත්තේ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඉල්ලීම් යැයි කියමින් ඇමැතිවරයා කළේ දේශපාලන බලපෑම යන වචනවල බර සැහැල්ලු කිරීම පමණි.

එම අවස්ථාවේදී තමන්ට සිදුව ඇති අසාධාරණයට එරෙහිව පත්වීම්ලාභීන්ට බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට ද සිදුවිය. තවද ඔවුහු සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කළහ. ඒ බොහෝ දෙනෙකුගේ චෝදනාවට ලක් වූ එක් තැනැත්තෙකු වූයේ අමාත්‍යවරයාගේ ලේකම්වරයකු හැටියට කටයුතු කරන තැනැත්තෙකි. ඔහු 2017 ජූලි 5 වැනි දා පළ වූ ගවේෂණ ලිපියට අදහස් දක්වමින් වහසි බස් දෙඩුවේ විරෝධතාකරුවන්ට පත්වීම්

නොදෙන බවටය. ඔහු එම ප්‍රකාශය කරන්නේ මෙම විමර්ශන මණ්ඩල වාර්තාව නිකුත් වී මාස හයකටත් පසුවය. එයින් ගම්‍ය වන්නේ කුමක් ද? මෙම විමර්ශන වාර්තාවට ද හසු නොවන දේශපාලන යථාර්ථයක් බන්ධනාගාර අමාත්‍යංශයේ හොල්මන් කරන බවය. අප දන්නා පරිදි අදටත් මේ දේශපාලන සට්ටැඹියන් ඇමැතිවරයාගේ අධිකාරිය අතට ගෙන පරිපාලනයේ හොල්මන් කරන අතර ජ්‍යෙෂ්ඨ නිලධාරින් අසරණ වන එක් සාධකයක් හැටියට ද ඔවුන් දැක්විය හැකිය. ඒ නිසා මෙවැනි සිදුවීම්වලදී බන්ධනාගාර කොමසාරිස්වරයා හෝ තවත් නිලධාරින් කීප දෙනෙකු පිට වරද පටවා අත පිසදාගැනීමට වගකිවයුත්තන්ට නොහැකිය.

අනෙක් අතට මෙම පරීක්ෂණ නැවත පැවැත්වීමට අදාළ මුදල් හා කාලය ගැන මෙම වාර්තාවේ සඳහන් නොවේ. සිදුවීමේ පරිපාලන අවුල සෙවීමට පමණක් විමර්ශන බලය සීමාවීම ඊට හේතුවන්නට ඇත. එය අපට තේරුම්ගත හැකිය. එහෙත් ජනතාවගේ පැත්තෙන් එය නම් දැනගත යුතුම කරුණකි. මක්නිසාදයත් සම්මුඛ පරීක්ෂණ නැවත සිදුකිරීමට වැය කළ මුදල් වනාහි බන්ධනාගාර නිලධාරින්ගේ වත්ත පිටියෙන් උපැයූ ඒවා නොවන බැවිනි. මේ රටේ පොදු ජනයාගේ බදු මුදල්ම වන බැවිනි. මේ නිසා බන්ධනාගාර අමාත්‍යංශයට පැහැදිලිවම මූල්‍යමය පාඩුවක් සිදුව ඇත. එහි තරම ප්‍රමාණය හරියටම මැනගතහැක්කේ විගණන පරීක්ෂණයකිනි. අනෙක් අතට නිලධාරින්ගේ වැරැද්දට පරිප්පු කෑමට සිදුවුණේ අපේක්ෂකයන්ටය. හරි නම් එම මුදල් අය කරගතයුත්තේ මෙවැනි තැනකට රාජ්‍ය ආයතන ඇදදමමින් වගකීම්විරහිතව කටයුතු කළ තැනැත්තන්ගෙනි. එහෙත් විමර්ශන මණ්ඩලය පවා ඒ ගැන කිසිවක් සඳහන් කර නැත. අවසාන විග්‍රහයේදී බන්ධනාගාර පරිපාලනය ගැන මේ විමර්ශනයෙන් හෙළිවන තොරතුරු අනුව නම් ෆයිල් 45 කට වැඩි දෙයක් වුවද හෙට දිනයේ බන්ධනාගාර මූලස්ථානයෙන් අතුරුදහන් විය හැකි අතර ඒ ගැන කිසිවෙකු පුදුම විය යුතු නැත.

බිගුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන
bingungamage88@gmail.com , tharindudld@gmail.com