ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කොට සම්මත කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත සමබන්ධයෙන් සිය  ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනය සම්පූර්‍ණයෙන් පහත පලවේ.

11. 04. 2023

මාධ්‍ය නිවේදනය

‘ප්‍රති ත්‍රස්ත පනත’ පරදවන්නට පෙළ ගැසෙමු!

1979 දී තාවකාලික පනතක් ලෙස ක්‍රියාත්මක කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අද දක්වා වසර හතලිස් හතරක් ඉක්මවා ක්‍රියාත්මක වෙමින් තිබේ. පනතේ පවතින කෘරත්වය නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා රටතුළින් දිගින් දිගටම එල්ල කළ විරෝධය නිසාම මෙම කෘර පනත අහෝසි කරන බවට ප්‍රතිඥා දෙන්නට ශ්‍රී ලංකා රජයට සිදුවිය. එසේ ප්‍රතිඥා දුන් ශ්‍රී ලංකා රජය අද දවසේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අභිබවා යන භයානක මානව හිමිකම් මුළුමණින්ම වනසා දමන නව පනතක් ‘ප්‍රති ත්‍රස්ත පනත’ නමින් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටී.

දැනටමත් රජය ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති ‘ප්‍රති ත්‍රස්ත පනත’ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ යොජිත පනත් කෙටුම්පත තුළ සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ නීත්‍යානුකූල විරෝධය දැකිවීමක් අතර වෙනස හඳුණාගැනීමට පවා නොහැකි තත්වයක් පවතින බවය. ආසියානු හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂිකාව පවසනුයේ ආණ්ඩුව යෝජනා කරන නව ත්‍රස්ත මර්‍ධන නීතිය සාමකාමී උද්ඝොෂණ අවස්ථා වැළැක්වීම හා සුළු ජාතිකයන් ඉලක්ක කරගනිමින් ඕනෑම සාධාරණ විරෝධතාවකයක් මර්‍ධනය කිරීම හා එවැනි සාමකාමී විරෝධතාවන්හී නියැලෙන්නන් දීර්‍ඝකාලීනව රඳවා තබාගැනීමේ අවධානම මෙම පනත තුළ දැඩිව අන්තර් ගතව පවතින බවය.

මෙම පනත මගින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මූලික මානව හිමිකම් සම්පූර්‍ණයෙන් අහිමිවන බව පවසමින් නීතිඥ සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති හා මාධ්‍ය සංවිධාන ඇතුළු බහුතර ජනතාවගේ විරෝධය නිසාම පනත පාර් ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට රජයට සිදුව තිබේ. වත්මන්  ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්‍ග නිසාම පොදුජනතාවගෙන් එල්ලවන විරෝධයට මුහුණදීම සඳහා පවතින කුරිරු ත්‍රස්තවාදවය වැළැක්වීමේ පනත ඉක්මවා යමින් මූලික මිනිස් අයිතිවාසිකම් හකුලාදමන්නට රජය නව ප්‍රති ත්‍රස්ත පනත හ‍ඳුනවාදීමට කටයුතු කරමින් සිටී.

රජය විසින් ක්‍රියාත්මක කරන්නට සැළසුම්කරන මේ මානව විරෝධී පනත පරාජය කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර උද්ඝෝෂණයන් සමග නොපැකිලව එකතුවෙන මාධ්‍ය සේවක වෘත්තීය සමිති  සම්මේලනය, රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 170 ක එකතුවකින් සමන්විත, ලක්ෂ හයකට අධික මාධ්‍යවේදීන් පිරිසක් නියෝජනය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සමග එකතු වෙමින් මෙම කුරිරු ප්‍රතිත්‍රස්ත පනත මුළුමණින්ම පරාජය කිරීම පිණස පෙළගැසෙන ලෙස සියළු පුරවැසියන්ගෙන් දැඩිිව ඉල්ලා සිටී.

මෙයට විශ්වාසී,

   

ධර්‍මසිරි ලංකාපේලි

ප්‍රධාන ලේකම්