තරිඳු උඩුවරගෙදර කොළඹ පැවති විරෝධතාවක් වාර්‍තා කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ක්‍රියාකාරිකයෙකු හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම සම්මාන ලාභි ජනමාධ්‍යවේදියෙකි.

මේ පිළිබඳව විරෝධය දක්වමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්‍ණයෙන් පහත පළවේ.

මාධ්‍ය නිවේදනය

2023 ජූලි 28

පොලීසිය විසින් මාධ්‍ය වාර්‍තාකරණයේ නියැලුනු  තරිඳු උඩුවරගෙදරට පහරදී අත්අඩංගුවට ගනී!

කොළඹ නගරයේ පැවැති වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ උද්‍ඝෝෂණයක් ආවරණය කරමින් සිටි, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රමුඛ ක්‍රියාධරයෙකු වූ තරිඳු උඩුවරගෙදර බරපතල ලෙස ප්‍රහාරයකට ලක්කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාධ්‍යවේදියකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර, ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරුකර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භාවිත කරමින් එලෙස වාර්‍තාකරණයේ නියැලෙමින් සිටියදී මෙලෙස පහරදී අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතී පොලිස් ජීප් රථයට නංවාගන්නා අවස්ථාවේදී ඔහුගේ  හිසකෙස්වලින් ඇද, පහරදෙමින් වධහිංසාවට භාජනය කරන වීඩියෝ පට මේ වනවිටත් සමාජ මාධ්‍යතුළ සංසරණය වෙමින් තිබේ.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා විරෝධතා අවස්ථාවන්හිදී පොලිසිය ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගණනාවක් සහ ලංකා මානව හිමිකම් කොමිෂන් සභා නිර් දේශ ගණනාවක් යොමුකර ඇති පසුබිමක් තුළ පොලිසිය විසින් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පහරදී අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය විසින් හෙළා දැකිය යුතුය.

ශිෂ්ඨ සමාජය නොඉවසන, ශ්‍රී ලංකා පොලීසියේ මෙම අමානුෂික හා නීති විරෝධී ක්‍රියාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර, තරිඳු උඩුවරගෙදරට යුක්තිය ඉටු කරන්නට පොලිස්පතිවරයා ප්‍රමුඛ රජයේ බලධාරීන් වහා පියවර ගතයුතුය.

ඒ වෙනුවෙන්, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ( IFJ) සමග එකතුවෙමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ඉහළ ම මැදිහත්වීම ඉටුකරන්නට කටයුතු කරන බව සඳහන් කරමු. ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 167න් සමන්විත, ලක්ෂ හයකට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක්  සාමාජිකත්වය උසුලන ලෝකයේ ප්‍රබල ම මාධ්‍ය සංවිධානයකි

විශ්වාසී,

                       

ධර්‍මසිරි ලංකාපේලි

ප්‍රධාන ලේකම්

077 364 1111

 

විශ්වාසී,

 

ධර්‍මසිරි ලංකාපේලි

ප්‍රධාන ලේකම්

077 364 1111