වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පාර්ලිමේන්තුවේ කෙලින්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ හැර සෙසු පක්ෂ නායකයන්ට සහ මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර තිබේ.
එම සම්පූර්ණ ලිපිය පහත පළවේ.

සජිත් ප්‍රේමදාස මහතා, නායක, සමගි ජන බලවේගය.

ආර් සම්පන්දන් මහතා, නායක, ඉලංකෙයි තමිල් අරුසුකච්චි,

අනුර කුමාර දිසානායක මහතා, නායක, ජාතික ජන බලවේගය.

රිෂාඩ් බදියුදීන් මහතා, නායක, සමස්ත ලංකා මහජන කොංග්‍රසය.

රාහුෆ් හකීම් මහතා, නායක, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා, නායක, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්

සී වී විග්නේෂ්වරන් මහතා, නායක, තමිල් මක්කල් තේසිය කූට්ටනි

සෙල්වම් අඩෛක්කලනාදන් මහතා, නායක, ටෙලෝ

ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා, නායක, ප්ලොට්

ඒ එල් එම් අතාවුල්ලා මහතා, නායක, ජාතික කොංග්‍රසය

මනෝ ගනේෂන් මහතා, නායක,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ

රනිල් වික්‍රමසිංහ මහතා, නායක, එක්සත් ජාතික පක්ෂය

මෛත්‍රිපාල සිරිසේන, සභාපති, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය

ආණ්ඩුව නියෝජනය නොකරන සියලුම පක්ෂ නායකවරුනි, මන්ත්රීවරුනි,

කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවීම සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීම සම්බන්ධවයි!

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් සහ වර්තමාන ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් කෙරෙන ජනතා අරගලය අධෛර්යමත් කිරීම සඳහා ආණ්ඩුව විසින් විවිධ මර්දනකාරී ක්‍රියාකාරකම් සිදු කරන අයුරු පසුගිය සති දෙක තුළ දක්නට ලැබිණි.

එවැනි මර්දනාකාරී වටපිටාවක් රටේ ක්‍රියාත්මක වෙද්දී, මහජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වය ගැන සතුටුදායක මට්ටමක් මහජනතාව තුළ මෙන්ම අප තුළද නැත. මහජන අරගලයේ ප්‍රධාන සටන් පාඨය ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකිරීම වන අතර ජනාධිපතිවරයාගේ මෙන්ම රාජපක්ෂවරුන්ගේ බලය ද පාර්ලිමේන්තුව තුළ අක්‍රීය කිරීමට ඔබ පක්ෂවලට හැකියාව තිබියදී ඒ සඳහා උද්යෝගයෙන් සහ සක්‍රීයව කටයුතු කරන බවක් පෙනෙන්නට නැත.

විශේෂයෙන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගකට අත්සන් ගැනීමේ කාර්යය ඔබ ආරම්භ කළ යුතුව තිබුණේ ජන අරගලය ආරම්භ කළ දිනවලදීම වුවද පාර්ලිමේන්තුවේ පසුගිය සතියේ විවාද අවසන්වනතුරුත් ඔබට එය සිදු කිරීමට නොහැකි විය. ඇතැම් පක්ෂ නායකයන් දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන යාම, එක්නැලිගොඩ අතුරුදන් කිරීම සහ පෝද්දල ජයන්තට පහරදීම ඇතුළු ජනමාධ්‍යවේදීන්ට සම්බන්ධ සිදුවීම් රැසකට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල වූ බව ඔබ සියලු දෙනාම හොඳාකාරව දන්නවා ඇතැයි අපි සිතමු. ඒ හේතුව සහ වෙනත් හේතු ගණනාවක් නිසා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ මංගමය ලෙස අපගේ ස්ථාවරය ද මේ මොහොතේ ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. රාජපක්ෂවරුන් ද තනතුරුවලින් ඉවත් කළ යුතු බව අපගේ ස්ථාවරයයි. ඔවුන් බලයේ සිටියහොත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධවලටද යුක්තියක් බලාපොරොත්තු විය නොහැකි අතර යුක්තිය ඉෂ්ඨ වීම නතර කිරීමට කුමන්ත්‍රණකාරී වැඩ සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. එවැනි කුමන්ත්‍රණකාරී වැඩ ගැන ලසන්ත වික්‍රමතුංග විමර්ශනවලදී මෙන්ම වසීම් තාජුදීන් ඝාතන විමර්ශනවලදී ද අනාවරණය විය.

රටේ සෑම ප්‍රදේශයකින්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරද්දී වෙනත් දේශපාලන පක්ෂවල කටයුතු ගැන ද මේ වන විට ජනතාව ප්‍රශ්න කරන තැනට තල්ලු වී තිබේ.

එසේ හෙයින් මේ මොහොතේ වහාම මැදිහත්වී පහත ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
  1. මිරිහානේ පැවැති විරෝධතාවයේ දී ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිස් වහාම මුදා හැරීමට අවශ්‍ය බලපෑම් කිරීම සහ මිරිහානේ උද්ඝෝෂණයේදී ජනතාවට පහර දුන් පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමට බලපෑම් කිරීම,
  2. විරෝධතා මර්දනය කිරීමට ගන්නා උත්සාහයන් පරාජය කිරීමට අවශ්‍ය බලපෑම් කිරීම,
  3. අරගලකරුවන්ට සහාය දක්වමින් සහ ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාකාරිත්වයට විරෝධය පළකරමින් රට පුරා විරෝධතා නොනවතින මාලාවක් සියලුම පක්ෂවල එකමුතුවෙන් හෝ වෙන් වශයෙන් හෝ සිදු කිරීම,
  4. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස කෙරන උද්ඝෝෂණ මාලාව විශේෂ තත්ත්වයක් සේ සලකා වහාම හෙටම (14) පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීම,
  5. පාර්ලිමේන්තුව ඇතුළේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම සහ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභිගෝයක් ගෙන ඒම,
  6. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම,
  7. කඩිනමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් හෝ විධායක ජනාධිපතිගේ අත්තනෝමතික බලතල අහෝසි කෙරෙන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර සම්මත කර ගැනීම,
  8. නිශ්චිත කාලයක් ඇතුළත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම,
  9. රාජපක්ෂවරුන් කළ අපරාධවලට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලපෑම් කිරීම,
  10. ජනතාව ස්වාධීනව කරන අරගලයේ හිමිකාරිත්වය කිසිම පක්ෂයකින් නොගැනීම,

මෙම යෝජනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර සියලුම දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කරන අතර මේවා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස බල කර සිටිමු. මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරිපත් නොකරන්නේ එම පක්ෂයේ ප්‍රධානීන් දිගින් දිගටම අරගලය මර්දනය කිරීමට සහාය දක්වන බැවින් සහ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට මැදිහත්වන බැවිනි.

ස්තුතියි.

මෙයට,

විශ්වාසී,

“ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය”