මාධ්‍ය නිවේදනය
2022 සැප්තැම්බර් 29
මානව විරෝධී, පීඩාකාරී ”නිල රහස් පනත” වහා අහෝසි කරනු!
රජය විසින් කොළඹ නගරය තුළ, රජයේ ගොඩනැගිලි, අධිකරණ බල ප්‍රදේශ ආදී වශයෙන් විශාල භූමි ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. කවර රජයක් හෝ මෑත භාගයේ භාවිතා නොකළ ”නිල රහස් පනත” අවභාවිත කරමින් මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙන බවට ශ්‍රී ලංකා රජය වෙත බරපතල ලෙස චෝදනා එල්ල වෙමින් තිබේ.
සැප්තැම්බර් 23 දින නිකුත් කළ මෙම ගැසට් පත්‍රය මගින් නම්කර ඇති “අධි ආරක්ෂිත කලාප” තුළ ඕනෑම මහජන රැස්වීමක් පැවැත්වීමට පොලිසියේ ලිඛිත අවසරය පැය හයකට පෙර ලබාගැනීම අවශ්‍ය වේ.
මෙම කලාපයන් තුළ සිටින ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසියට පුළුල් බලයක් ඇති අතර, එහිදී අත් අඩංගුවට ගන්නා අයට ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයක් මගින් පමණක් බව සඳහන් කෙරේ. මෙම දැඩි සීමා කිරීම් මගින් ජනතාවට ඇති සාමකාමීව රැස්වීම සහ අදහස් ප්‍රකාශනයේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව අනීතික ලෙස බලය යෙදවීමට රජය පියවර ගනිමින් සිටින බව පැහැදිළිය.
භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස නීති විරෝධී ලෙස සීමා කරන ලෙස පනවා තිබෙන මෙම නව රෙගුලාසි ඉවත් කරගන්නා ලෙස දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන හා තවත් විවිධ සංවිධාන රජයට බලකරමින් තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් කරමින් කිසිදු සාධාරණ හෝ නීතිමය පදනමකින් තොරව පුරවැසියාගේ නිදහස සැලකිය යුතු ලෙස කප්පාදු කිරීමට රජය උත්සාහ කරන බව සඳහන් කර සිටී. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ මෙම පනත මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කෙරෙන බවකි. මෙම යල් පැනගිය නීතිය ඉවත් කරගන්නා ලෙසට රජයට වැඩිදුරටත් යෝජනාකර තිබේ.
රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 167න් සමන්විත, ලක්ෂ හයකට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක් සාමාජිකත්වය දරණ ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සමග එකතුවෙමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය භාෂණයේ හා ප්‍රකාශණයේ මූලික මිනිස් අයිතිවාසිකම් නොසළකා හරිමින් ජනතාව වෙත එල්ල කෙරෙන මෙම මානව විරෝධී, පීඩාකාරී පනත වහාම හකුලා ගන්නා ලෙස රජයට බලකර සිටී.
ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්
077 364 1111