තරුණ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සවිබල ගන්වමින්, ඔවුන්ගේ මූලික වෘත්තීය අයිතිවාසිකම් තහවුරු කිරීම!

තරුණ මාධ්‍යවේදීන්, ස්ත්‍රී පුරුෂ 21 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක්, සියලුම දිස්ත්‍රික්ක සහ සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරමින් 2022 සැප්තැම්බර් 3 වන දින දවසපුරා ඩිජිටල් මාධ්‍යකරණය පිළිබඳ උසස් වැඩසටහනක් හා සම්බන්ධ විය.

මෙම වැඩසටහන මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) විසින් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය වාර්ෂිකව මෙහෙයවන IFJ – UTU ව්‍යාපෘතිය මගින් සංවිධානය කරන ලදී. ඩිජිටල් ආර්ථිකය තුළ ඵලදායී ලෙස ජනමාධ්‍යකරණයේ නියැලීමට හා ජනමාධ්‍ය වෘත්තීකයන්ගේ මූලික වෘත්තීය අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා තරුණ මාධ්‍යවේදීන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හා සම්බන්ධ කරමින්, සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

සම්පූර්ණ වැඩසටහන ජංගම මාධ්‍යවේදය (Mojo Journalism) පිළිබඳ අන්තර්ර්ක්‍රියාකාරී ප්‍රායෝගික පුහුණුවකින් සමන්විත පුහුණු වැඩ සටහනක් විය. වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරු වූයේ ඩිජිටල් මාධ්‍යකරණය පිළිබඳ විශේෂඥ, ආචාර්ය සමීර තිලකවර්ධනය. ඔහු විවෘත විශ්ව විද්‍යාලයේ විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යයවරයෙකි. වැඩසටහනට සම්බන්ධ වූ තරුණ මාධ්‍යවේදීන් විෂයානුබද්ධ බොහෝ කරුණු ඉගෙන ගත් අතර ඔවුන් කණ්ඩායම්වලට බෙදී කෙටි වීඩියෝ පට කිහියක් නිෂ්පාදනය කරමින් බොහෝ විනෝදජනක අත්දැකීමක් ලැබීය.

පුහුණුව ලැබූ මාධ්‍යවේදීන්, තමන්ගේ වෘත්තීය අයිකිවාසිකම් සහ මාධ්‍ය කර්මාන්තයට අදාළ ගැටළු ඉස්මතු කරන වීඩියෝපට ඉදිරිපත්කර ඒ සියළුම වීඩියෝපඨ fmetu.org වෙබ් අඩවිය හරහා ජනගත කිරීමට බලාපොරොත්තු වේ.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) මග පෙන්වීම හා සම්පත් දායකත්වයටත්, ආචාර්ය සමීර තිලකවර්ධන මහතාට සහ රේන්බෝ සන්නිවේදන ආයතනයටත් මෙම වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස නිමකර ගැනීමට ලබාදුන් සියලු සහයෝගයන් පිළිබඳව ඔවුනට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සිය කෘතඥතාව පළකර සිටී.

වැඩසටහනේ තවත් පින්තූර රාමු කිහිපයක් පහත පළවේ.

මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන FMETU-IFJ-UTU 2022 වැඩ සටහන!

IFJ-UTU 2022 වැඩ සටහන FMETU සාමාජික මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ශක්තිමත් කිරීම, ඔවුන්ගේ තොරතුරු මත පදනම් වූ දත්ත සටහනක් ක්‍රියාත්මක කිරීම හා වෘත්තීය ගැටළු පිළිබඳව යොමුවූ කෙටි වීඩියෝ පට 15 ක් අන්තර්ජාල ගත කිරීම මෙම වැඩ සටහනේ මූලිකම ක්‍රියාමාර්ග වේ.

කලාපීය ජනමාධ්‍ය සංවිධාන ශක්තිමත් කිරීම වෙනුවෙන් IFJ-UTU උපකාරක වැඩ සටහන වාර්ෂිකව IFJ Asia Pacific කාර්‍ය්‍යාලය විසින් මෙහෙයවනු ලබයි.

ජනමාධ්‍යවේදීන්ගේ මූලික වෘත්තීය අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් බලපෑම් කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම පිණිස මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් දැනුවත් කිරීම මෙම වැඩ සටහන මගින් සිදුකිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සමඟ තරුණ මාධ්‍යවේදීන් සංවිධානය කිරීම පිළිබඳව, සාමාජික සාමාජිකාවන්ගේ අදහස් හා සාකච්ඡාව තුළින් ඔවුන් බල ගැන්වීම මෙම වැඩ සටහනේ මුලික ඉලක්කයකි. වෘත්තීය සමිතියක් ලෙස ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සහ නව ලෝකයේ ඩිජිටල් ආර්ථිකය තුළ ඵලදායී ලෙස සාමාජිකයන්ගේ දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම මෙන්ම ඔවුන් දැනුමෙන් සන්නද්ධ කිරීම මෙම සටහනෙන් අපේක්ෂා කෙරේ.

2022 අගෝස්තු 27 වන දින රට පුරා මාධ්‍යවේදීන් 300 කගේ සහභාගීත්වය අපේක්ෂාවෙන් සිංහල සහ දෙමළ භාෂා මාධ්‍ය දෙකෙන්ම මෙහි මාර්‍ගගත සාකච්ඡාව සංවිධානය කර සාර්ථකව අවසන් කරනු ලැබීය.

උක්ත වැඩ සටහන යටතේ තරුණ මාධ්‍යවේදිනියන්, මාධ්‍යවේදීන්, 20 දෙනෙකු ඩිජිටල් මාධ්‍ය පුහුණු වඩසටහනක් සඳහා ද යොමුකර තිබේ. සැප්තැම්බර් 03 වෙනි දින දවස පුරා විශේෂඥ දැනුමැති පුහුණුකරුවෙකුගේ උපදේශකත්වය මත මෙම තරුණ මාධ්‍යවේදීන් පුහුණු කිරීමට නියමිතය.

එම පුහුණුවෙන් පසු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන්ගේ වෘත්තීය ප්‍රශ්ණ හා ඔවුන් මුහුණදෙන අභියෝගයන් පිළිබඳව විමර්‍ශනාත්මක වීඩියෝ පට 15ක් fmetu.org වෙබ් අඩවිය හරහා සමාජගත කිරීමට පියවර ගනු ලැබේ.

වැඩසටහන අවසානයේ මේ සියළු ක්‍රියාකාරකම් ඇසුරෙන් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ප්‍රශ්ණ හා අභියෝගයන් පිළිබඳ ගොනුකරනු ලබන වාර්‍තාවක් fmetu.org හරහා අන්තර් ජාලයට මුදාහැරේ. මේ වාර්‍තාව රජයේ බලධාරීන්ට යොමුකර වගකිවයුත්තන් සමග සාකච්ඡාමය ප්‍රවේශයකට යොමුවීමට ද මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අදහස් කරයි.

විධිමත් වෘත්තීය ගරුත්වයකින් යුතු වෘත්තීමය මාධ්‍යවේදීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්‍මාන්තය තුළ තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි සහෝදරයා ජනමාධ්‍යවේදීන්ගේ මහගෙදර fmetu.org හමුවේ පවසා සිටී.

 

 

මෙම උද්ඝෝෂණික වැඩසටහන සමග සම්බන්ධ වෙන්නට කැමති අය සැප්තැම්බර් 05 වෙනිදාට පෙර https://tinyurl.com/FMETU-PROFILE ගූගල අයදුම්පත්‍රය පුරවා සහයෝගය පළකරන ලෙස සංවිධායකයන් ඉල්ලා සිටී

සාමකාමී අරගලකරුවන්ට සන්නද්ධ හමුදා විසින් මැදියම් රැයේ එල්ල කළ හදිසි ප්‍රහාරය වියරුවක්!

22 ජූලි 2022
මාධ්‍ය නිවේදනය

සාමකාමී අරගලකරුවන්ට සන්නද්ධ හමුදා විසින් මැදියම් රැයේ එල්ල කළ හදිසි ප්‍රහාරය වියරුවක්!

ගාලු‍ මුවදොර අරගල බිමේ රැඳීසිටි විරෝධතාකරුවන් වැටලූ, දහස් ගණනින් සන්නද්ධ ආරක්ෂක හමුදා ඊයේ මැදියම් රැයේ එල්ල කළ බිහිසුනු ප්‍රහාරය ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සියළු ජනකොටස් හෙළාදකිනු නොඅනුමාන බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශකර සිටී.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත්වීමට අරගලකරුවන් තින්දුකර තිබූ අවස්ථාවක, අරගල බිමේ රැඳීසිටි නිරායුද පිරිස්වලට හා විශේෂයෙන් එහි වාර්‍තාකරණයේ නියැළෙමින් සිටි දෙස් විදෙස් මාධ්‍යවේදීන් වෙත බිහිසුණු ප්‍රහාරයක් එල්ලකර තිබේ. බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බවද වාර්‍තා වේ. මේ වනවිට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරක් නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේද? පහරකෑමට ලක්වීම නිසා රෝහල් ගත තිබේද? කිසිදු තොරතුරක් ලබාදීමට රජයේ වගකිව යුත්තෙකු ඉදිරිපත් නොවීම මෙම ප්‍රහාරයේ බිහිසුණු බව මොනවට පැහැදිළි සාක්ෂියකි.

නීතිඥවරුන් සහ මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළ ද පිළිතුරක් ලබාදීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම හෙළාදැකිය යුතුය. මේ තත්වයන් අනුව මෙම ප්‍රහාරය රටේ නව ජනාධිපතිවරයා දිවුරුම්දී පැය කිහිපයක් තුළ රජයේ බලධාරීන්ගේ උපදෙස් පරිදි එල්ල කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී බිහිසුනු ප්‍රහාරයකි. නව ජනාධිපතිවරයාගේ කථාව හා ක්‍රියාවන් අතර පවතින වෙනස මැන ගැනීමට හොඳම සාධකයක් මේ සිදුවීම තහවුරු කරනු ලබයි.

හදිසි නීතිය යොදා ගනිමින් භාෂණයේ නිදහසට එල්ල කළ මෙම බිහිසුනු ප්‍රහාරය ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියළු පිරිස් දැඩිව හෙළාදැකිය යුතු අතර නව ජනාධිපතිවරයාගේ හා රජයේ මෙම ක්‍රියාමාර්‍ග පිටුදැකීමට හා රටතුළ ප්‍රජාත්න්ත්‍රවාදය තහවුරු කිරීමට වහාම මැදිහත්වීම ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන හා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන සතු මගහැරිය නොහැකි වගකීමක් බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශකර සිටී.

මෙයට, විශවාසී,

ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්

අරගල නියමුවන් මාධ්‍ය ආයතන තුළට කඩාවැදීම නොසිදුවිය යුතු ක්‍රියාවක්!

මාධ්‍ය නිවේදනය

14. 07. 2022

අරගල නියමුවන් මාධ්‍ය ආයතන තුළට කඩාවැදීම නොසිදුවිය යුතු ක්‍රියාවක්

පසුගිය දින කිහිපය තුළ රාජ්‍ය හා පුද්ගලික රූපවාහිනි නාලිකා තුළට ඇතුල්වී එම ආයතනයන්හී මාධ්‍ය කටයුතුවලට බලපෑම් එල්ල කිරීමට අරගලකරුවන්ගේ නියෝජිත පිරිසකගේ මැදිහත්වීම මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අනුමත නොකරනු ලබයි. “මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය” රටවල් 146 මාධ්‍ය සංවිධාන 187න් සමන්විත, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) සාමාජික සංවිධානයකි.

රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය හැසිරීම හා මාධ්‍යවේදීන්ගේ, කර්තෘ මණ්ඩල නිදහස, ජනතාව වෙත සමීප කරනු ලබන තොරතුරු පිළිබඳ පාර්ශ්වීයභාවය දීර්‍ඝ කාලයක් තිස්සේ අප සම්මේලනයේ ද දැඩි විවේචනයට ලක්වූ තත්වයක් බව ප්‍රකාශකර සිටී. එවැනි තත්වයක් බලහත්කාරී, ඒකපාර්ශවීය ප්‍රවේශයන් මගින් වෙනස් කිරීමට බලපෑම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට මෙන්ම නිදහස් මාධ්‍ය සම්ප්‍රදායන්ට ද පටහැනි ක්‍රියාවකි. පසුගිය 13 වෙනි දින ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට බලහත්කාරී ලෙස ඇතුල්වී එහි වැඩ සටහන් අත්හිටුවා අරගලකරුවන් ලෙස පෙනී සිටි අයවළුන්ගේ අදහස්, බලපෑම්කර සජීවී ලෙස විකාශය කිරීම නිදහස් මාධ්‍ය සම්ප්‍රදායන්ට එල්ල කරනු ලැබූ මරු පහරක් බව කිව යුතුය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය මෙන්ම පුද්ගලික මාධ්‍ය ‘මහජන සේවා ජනමාධ්‍ය’ (Public Service Media) බවට පරිවර්ථනය කිරීමට පසුගිය දශක දෙකකට කාලයක් පුරාවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රමුඛ ජනමාධ්‍ය සංවිධාන අරගල කරමින් සිටිනුයේ රට තුළ ඔබ බලාපොරොත්තු වන නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිවය.

පසුගිය දසක ගණනාවක් පුරාවට රාජ්‍ය පාලනයේ, ජනතා විරෝධී ක්‍රියාපරිපාටීන් නිසා පීඩාවට පත්ව සිටින ජනතාව දහස් ගණන් අරගල බිමට එකතුවෙමින් ගනු ලබන සාමූහික ප්‍රයත්නයන්ට මෙන්ම ප්‍රජාතාන්ත්‍රවාදය දිනා ගැනීමේ අරගලයට ද මෙවැනි ක්‍රියා බාධා මතුකරන බව අප තේරුම් ගතයුතුව තිබේ.

භාෂණයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික පදනමක් බව අවධාරණය කරන මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය මෙවැනි ක්‍රියාවන් සමාජ, ආර්ථික, දේශපාලන නිදහස වෙනුවෙන් මෙහෙයවන අරගලයන්ට සිදු කෙරෙන බාධාවක් බව සටහන් කිරීම වටී. මෙවැනි අර්ථ ශූන්‍ය ක්‍රියාවන්ගෙන් වැළකී මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායක් තහවුරු කිරීම වෙනුවෙන් මාධ්‍ය සංවිධාන ගෙනයන අරගලයද, වත්මන් ප්‍රශස්ත අරගලය සමග ඒකාබද්ධ කිරීමට සමස්ථ ජනසමාජයට අප සම්මේලනය යෝජනාකර සිටී.

මෙයට, විශ්වාසී,

ධර්මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිවස අසල වාර්තාකරණයේ නියැලි මාධ්‍යවේදීන්ට සිදුකළ ම්ලේච්ඡ පහරදීම!

 

මාධ්‍ය නිවේදනය

2022 ජූලි 09

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිවස අසල වාර්තාකරණයේ නියැලි මාධ්‍යවේදීන්ට සිදුකළ ම්ලේච්ඡ පහරදීම!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ආසන්නයේ වාර්තා කරන කටයුතු වල නිරත වෙමින් සිටී සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන්, සිව්දෙනෙකුට, ඔවුන් මුදා ගැනීමට පැමිණි තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සහ දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදියෙකුට පොලිස් සහ පොලිස් විශේෂ බළකා නිලධාරීන් විසින් ඉතා අමානුෂික ලෙස පහරදීම මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සමඟ එකතු වෙමින් දැඩිව හෙලා දකී.

මෙම පහර දීමට අමතරව මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම පසුගිය දින කිහිපය තුළ ස්ථාන ගනනාවකදී ආරක්ෂක අංශවල බලපෑමට හා තර්ජනයට ලක්විමට සිදුවූ බව වාර්තාවේ. මෙම පහරදීම්, බලපෑම් හා තර්ජනය කිරීම් සිදු කරනු ලබන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට වන අතර එය මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස අප සලකනු ලබයි. එම මූලික මිනිස් අයිතිවාසිකම් කඩකළ නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව අප සම්මේලනය පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

මෙම කෲර පහරදීම් වලට හා වධ හිංසාවට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පැමිණවීම පොලිස්පතිවරයාගේ වගකීම වන බව අප සම්මේලනය දැඩිව විශ්වාස කරනු ලබයි. ජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳි සිටින ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමද මෙවැනි සිදුවීම් පිළිබඳව මැදිහත් විය යුතු බව අවධාරණය කර සිටී.

මෙම ප්‍රහාර හා බලපෑම් සම්බන්ධයෙන් කඩිනම් පුළුල් පරීක්ෂණ සිදුකර මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කරන ලෙසත්, ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති මුලික අයිතිය ආරක්ෂා කිරීමට වගකීමකින් මැදිහත් වන ලෙසත්, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සියළු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

මෙයට, විශ්වාසි,

ධර්මසිරි ලංකාපේලි,

ප්‍රධාන ලේකම්.

 

 

 

තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් දඟගෙට යන ජූලියන් ඇසේන්ජ්..

ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ මුර බල්ලෙකු යැයි හඳුන්වා ගන්නා එක්සත් ජනපදය විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසේන්ජ් දඩයම් කිරීම අත් හැරීමට සූදානම් නැත. පසුගිය දා එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් ප්‍රීති පතේල්, අධිකරණ තීන්දුව පදනම්ව එක්සත් ජනපදය ඉල්ලා සිටින ආකාරයට ජූලියන් එම රටට භාරදීමට අනුමැතිය ලබා දුන්නාය. එම තීරණය ගැන අභියාචනයක් ඉදිරිපත් කිරීමට තවත් අවස්ථාවක් පවතින නමුත් පතේල් ගේ තීරණය වෙනස්වනු ඇතැයි සිතිය නොහැකිය.

එක්සත් ජනපදය විසින් ජූලියන් ඇසේන්ජ් දඩයම් කිරීම ආරම්භ වූයේ ඔහු 2010 සහ 2011 වසරවල එක්සත් ජනපදය විසින් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිදු කරන ලද, පැහැදිලිව ම යුද අපරාධ වශයෙන් හැඳින්විය හැකි සිද්ධීන් ගණනාවක් සහ ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයන් ගුවන්තනමෝ කඳවුරේ දී වධ හිංසාවට ලක් කළ ආකාරය දැක්වෙන වාර්තා එළි දැක්වීම නිසාය. එක්සත් ජනපද හමුදාව විසින්ම රූ ගත කරන ලද වීඩියෝ පටි අනුව බැග්ඩෑඞ් නගරයේ සාමාන්‍ය වැසියන් මෙන්ම රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවෙකු හෙලිකොප්ටරයකින් එලල කරන ලද ප‍්‍රහාරවලින් මරා දැමෙන ආකාරය නිරූපනය වී තිබිණ. මෙම සිද්ධීන් පිළිබඳව විධිමත් පරීක්ෂණ කිසිවක් සිදුව නැත. ඒ සියල්ල යටපත් කර තිබිණ.

ගුවන්තනමෝ කඳවුරේ දී ඉරාක සහ ඇෆ්ගනිස්තානු සිරකරුවන්ට අමානුෂික ආකාරයෙන් වධ හිංසා පැමිණවීමට අමතරව ගැටුම්වලට කිසිසේත් සම්බන්ධයක් නැති අහිංසක පුද්ගලයන් ද රඳවා තිබිණ. ඒ අතර ඩිමෙන්ෂියා වැනි මානසික රෝගි තත්වයෙන් පසුවන 89 හැවිරිදි මහල්ලෙකු සහ 14 හැවිරිදි ළමයෙකු ද සිටින බව විකිලීක්ස් මගින් පළ කළ වාර්තාවල සඳහන් විය. මීට අමතරව ලෝකයේ බොහෝ රටවල එක්සත් ජනපද තානාපති කාර්යාල මගින් කරන ලද ඔත්තු බැලීම් පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික වාර්තා 250,000ට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කෙරිණ. මෙම තොරතුරු හෙළිවීම නිසා මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජනපදයේ නිරුවත් භාවය හෙළි කෙරිණ. වෙනත් රටවල සිදුවන මෙවැනි අපරාධ අන්තර්ජාතික අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමටත් තවත් රටවල් සම්බන්ධයෙන් සම්බාධක පැනවීමටත් කිසි විටෙක පසුබට නොවන එක්සත් ජනපදයේ ව්‍යාජ හැසිරීම ලෝකය ඉදිරියේ හෙළි විය.

ජර්මනියේ හිට්ලර් පාලනය යටතේ සිදු වූ සහ කුරිරු ඒකාධිපති පාලනයක් යටතේ පමණක් සිදුවිය හැකි මෙවැනි අපරාධ හෙළිදරවු වූ විට මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අව්‍යාජ ව පෙනී සිටින රටක් වශයෙන් කළ යුතුව තිබුණේ ප‍්‍රමාද වී හෝ අපරාධ කරුවන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කිරීම ය. එක්සත් ජනපදය අනෙක් රටවල්වලින් ඉල්ලා සිටින්නේ ද එයයි. එහෙත් විකිලීක්ස් හෙළිදරව්ව සම්බන්ධයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පුවත් පත් නිදහසේ’ මුරදේවාතාවුන් වශයෙන් පෙනී සිටින එක්සත් ජනපදය ක්‍රියාත්මක වූයේ අපරාධය හෙළි කළ අය දඩයම් කිරීම ය. ඒ අනුව විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසේන්ජ් අත් අඩංගුවට ගැනීමට සූදානම් විය. ඇමරිකානු රජයේ අත් අඩංගුවට පත්වීම ජීවිතයට අනතුරක් බව දුටු ජූලියන් ඉන් මිදීමට ලන්ඩන් නගරයේ ඉක්වැදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය ලබා ගත්තේය. තානාපති කාර්යාලයට හිමි රාජ්‍ය තාන්ත්‍රික වරප‍්‍රසාද නිසා බ්‍රිතාන්‍ය පොලීසිය එහි ඇතුළු නොවු නමුත් තානාපති කාර්යාලයෙන් පිට වූ වහාම අත් අඩංගුවට ගැනීමට එම කාර්යාලය වටලා ගත්හ. 2012 සිට 2019 දක්වා වසර හතකට අධික කාලයක් ජූලියන් තානාපති කාර්යාලයේ කාමරයතට සීමාව සිටියේය.

2022June30[1]julian_assange
ජූලියන් ඇසේන්ජ් [Julian Assange] ගිනිකොනදිග ලන්ඩන් බෙල්මාර්ෂ් [Belmarsh] බන්ධනාගාරදී.. 2020 අගෝස්තු

ඉක්වැදෝරයේ එක්සත් ජනපදයට හිතවත් පාලනයක් ඇතිවීම නිසා ජූලියන්ගේ දේශපාලන රැකවරණය ඉවත්කිරීමත් සමග බ්‍රිතාන්‍ය පොලීසිය ඔහු බලහත්කාරයෙන්ම රැගෙනවිත් බ්‍රිතාන්‍යයේ දරුණුතම සිර ගෙයක් වන බෙල්මාර්ෂ් හි හුදකලා කොට රඳවා ගෙන සිටී. කලින් අධිකරණයකින් ඔහු නිදහස් කළ ද බ්‍රිතාන්‍ය පොලීසිය විසින් ඇමරිකානු රජයේ බලපෑම මත ඔහු දිගටම සිරගත කර ගෙන සිටියි.

ජූලියන් ඇසේන්ජ්ට විරුද්ධව එක්සත් ජනපදය චෝදනා කරන්නේ ඔත්තු බැලීමේ පනතක් යටතේය. එම පනත යටතේ චෝදනා 18ක් ඉදිරිපත් කර ඇති අතර ඒවා ඔප්පු වුවහොත් ඔහුට වසර 175ක සිර දඬුවමක් නියම වනු ඇත. මෙවැනි චෝදනා පිළිබඳ ව එක්සත් ජනපද අධිකරණය අතීතයේ ක්‍රියාකර ඇති ආකාරය සැලකිල්ලට ගන්නා නීතිවේදීන්ගේ අදහස ජූලියන් ට එරෙහිව නගා ඇති සියලු චෝදනාවලින් වැරදිකරු කිරීමට බෙහෙවින් ඉඩ ඇති බව යි. එමනිසා එය බොහෝ දුරට තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ජූලියන් ගේ අවසානය විය හැකිය.

එක්සත් ජනපදයට ජූලියන් අවශ්‍ය වන්නේ ඔහු කරන ලද හෙළිදරව් නිසාය. පැහැදිලිව ම යුද අපරාධ වශයෙන් හැඳින්විය හැති එම සිද්ධීන් ඔත්තු බැලීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන්නේ අත්තනෝමතික පාලනයක් යටතේ පමණි. ඔහු කරන ලද හෙළිදරවු එක්සත් ජනපදයේ ආරක්ෂාවට තර්ජනයක් යැයි හැඳින්වුවත් සැබැවින් ම ඉන් සිදුව ඇත්තේ එක්සත් ජනපදයේ හමුදා මෙහෙයුම් සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව හෙළි විමය. මෙම හෙළිදරවු කිරීම් නොවුයේ නම් ඇෆ්ගනිස්ථානයේ විවාහ උත්සවයක් පැවැත්වූ ස්ථානයකට ඇමරිකානු ගුවන් ප්‍රහාර එල්ල වූ ආකාරයත් ඇප්ගනිස්ථානයේම රෝහල් ඇමරිකානු භටයන්ගේ ඉලක්ක වූ ආකාරයත් සෙසු ලෝකයා පමණක් නොව ඇමරිකානු ජනතාව පවා දන්නේ නැත. මෙම තොරතුරු ජනතාව අතට පත් කිරීම එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද තොරතුරු දැන ගැනීමේ අයිතියෙන් ද තහවුරු කර ඇති නීතිමය ප‍්‍රතිපාදනයන් ය.

එහෙත් පුදුමයට කාරණයක් වන්නේ රුසියාව විසින් යුක්‍රේනයේ සිදු කරන්නේයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් මහත් හඬ නගන ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය පවා ජූලියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මුනිවත රැකීම ය. එය සැබැවින් ම අපරාධය සිදු කළ අය වෙනුවෙන් පෙනී සිටීමකි.

කෙසේ වුවත් තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින සමහර ආයතන එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ මෙම පියවර විවේචනයට ලක් කර ඇත. මාධ්‍ය නිදහස ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නිල්ස් මෙල්ස්නර් ජූලියන් හුදකලාව සිරගත කොට තැබීම හැඳින් වූයේ වධ හිංසා පැමිණවීමක් සේය. ඒ පිළිබඳව එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකම වගකිව යුතුයැයි ඔහු හැඳින් වූයේය.

ජූලියන් එක්සත් ජනපදයට භාර දීමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික පෙඩරේෂණයේ සභාපති ඩොමිනික්, ජූලියන් මරණ දඬුවමට ලක්වීමේ අවධානමක් ඇති ජනමාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලන සිරකරුවෙකු වශයෙන් හැඳින් වූයේය. ජනමාධ්‍ය නිදහස අගය කරන සියලු දෙනාම මෙම හිතුවක්කාර තීරණයට විරුද්ධ විය යුතු යැයි ඔහු අවධාරණය කෙළේය.

2022June30[1]_stellamorischildren
ස්ටෙලා මොරිස් සහ පුතුන්, ගේබ්රියෙල් (දකුණේ) සහ මැක්ස් (වමේ) බෙල්මාර්ෂ් බන්ධනාගාරය අසල [2020 අගොස්තු]

වෙනත් සාකච්ඡාවක දී කරුණු දැක් වූ ජූලියන් ගේ බිරිඳ ස්ටෙලා මොරිස් ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් ප‍්‍රීති පතේල් ගේ තීරණයෙන් පසුව වෙනත් සිර මැදිරියකට ගෙන යන ලද ඔහුට අමුත්තන් මුණ ගැසීමට අවස්ථාවක් පවා ලබා නොදුන් බවත් ඔහු නිරුවත් කොට දවසක් ම රඳවා තැබීමෙන් වධ හිංසාවන්ට ලක් කර ඇති බවත් පැවසුවා ය.

එක්සත් ජනපදය ජූලියන් දඩයම් කරන්නේ ඔහුගේ සංස්කාරත්වයෙන් පළ කළ විකිලීක්ස් හෙළදරවු නිසා විදේශවල සේවය කරන ඇමරිකානු ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයකි යන චෝදනාවයි. එහෙත් එවැනි චෝදනාවක් නිසා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට තහංචි පැනවීමත් තොරතුරු හෙළි කළ අයට දඬුවම් දීමත් සාධාරණය කළ නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේයැයි යන කඩතුරාව නිසා යුද්ධයේ දී පිළිපැදිය යුතු ජිනීවා සම්මුතීන් කඩ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. යුද්ධයක් පවතින අවස්ථාවක දී වුවද සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගැටුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන් බැඳී සිටී. එම අයිතිය හමුදාවේ ආරක්ෂාව යන දුහුල් පටකින් වසා දැමිය නොහැකිය.

ජූලියන් ඇසෙන්ජ් දඩයම් කිරීමෙන් එක්සත් ජනපදය සහ එහි මිතුරු රටවල් නැවත වරක් තහවුරු කරන්නේ මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස යන සංකල්ප ඔවුන්ට කැමති ආකාරයට නිර්වචනය කළ හැකි හිස් වදන් බවය. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නිල්ස් මෙල්ස්නර් නැවත නැවතත් අවධාරණය කර ඇති ආකාරයට එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ජූලියන් වධ හිංසාවන්ට ලක් කර තිබුණ ද ඒ පිළිබඳ එම රටවල් තැකීමක් කර නැත. මෙක්සිකෝ ජනාධිපති ලොපෙස් ඔබ්‍රඩොර් පුවත් පත් සාකච්ඡාවක දී ඇමරිකානු හමුදා භටයන් බැග්බෑඞ් නගරයේ දී ගුවනින් සාමාන්‍ය වැසියන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය දැක්වෙන වීඩියෝ පටිය ප‍්‍රදර්ශනය කරමින් එය පැහැදිලිව ම යුද අපරාධයක් නිසා එම වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවත්, තමා ඉදිරි දිනක ඇමරිකානු ජනාධිපති හමුවන විට මෙම කරුණු මත කරන බවත්  පැවසුවේය.

දුර්වල මානසික තත්වයක පසුවන ජූලියන් හුදකලාව සිර ගත කර සිටීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් විය හැකි බව වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් ප්‍රමුඛ කීර්තිමත් පුද්ගලයන් ද කරුණු ඉදිරිපත් කර තිබිය දී ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වීමෙන් එක්සත් ජනපදය සහ බටහිර රටවල් මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන් මානව අයිතිවාසිකම් තම දේශපාලන වුවමනාවන්ට යටපත් කරන බව නැවත වරක් සනාථ කර ඇත. කෙසේ වුවත් ජූලියන් ඇසේන්ජ් තොරතුරු දැන ගැනීමේ ශුද්ධ වූ අයිතිය වෙනුවෙන් ජීවිතය කැප කළ වීරයෙකු වශයෙන් ජනතා සිත් සතන් තුළ සදා ජීවත් වනු ඇත.

Mahinda Hattaka
Thanks To

2022 මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ), 31 වැනි ලෝක සම්මේලනයේ දී ඉන්දිරා නවගමුව එහි විධායක සභාවට !

මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ), 31 වැනි ලෝක සම්මේලනය, මැයි 31 සිට ජුනි 3 දක්වා ඕමානයේ, මස්කට් නුවරදී පැවැත්විණි.

රටවල් 92 ක මාධ්‍යවේදී සංගම් නියෝජනය කරමින් 250 කට අධික සාමාජික පිරිසක් සම්මේලනයට සහභාගී වූ අතර, මාධ්‍යවේදීන්ගේ නිරීක්ෂණ සහ මාධ්‍ය සේවකයින්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීමට ක්‍රියා කිරීම ඇතුළු ප්‍රධාන තේමාවන් ගණනාවක් මෙහිදි සාකච්ඡාවට බඳුන් විය.

මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ, ප්‍රධාන ලේකම් ඇන්තනි බෙල්ලන්ජර් සමුළුව ආරම්භ කරමින් මෙහිදි පැවසුවේ, ලොව පුරා මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනවලට ශක්තිමත් ඉතිහාසයක් ඇති බවයි. රටවල් 140 ක මාධ්‍යවේදීන් 600,000 කට වඩා නියෝජනය කරන, මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය, ලොව පුරා වෙසෙන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් සඳහා ශක්තිමත් වේදිකාවක් සපයනු ඇති බව තමන් විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙවර ඕමානයේ, මස්කට් නුවර පැවති මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සඳහා ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන තුනක් නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගි වු අතර, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය නියෝජනය කරමින් ඒ සඳහා සහභාගි වූයේ එහි නියෝජ්‍ය ලේකම් ඉන්දිරා නවගමුව සහෝදරියයි.

ඇය ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ, විධායක කමිටුවේ අතිරේක විධායක සභිකාවක් වශයෙන් පත්වූයේ, 78 ක් වැනි අතිවිශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමිනි. එය මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයට අතිවිශාල ගෞරවයකි.

මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සඳහා 2022-25 වසර තුනක කාලය සඳහා තේරී පත්වු නව නිලධාරි මණ්ඩලය හා විධායක කමිටුව මෙසේය.

සභාපති – ඩොමිනික් ප්‍රදාලි (SNJ) ප්‍රංශය
ජ්‍යෙෂ්ඨ උප සභාපති – ශුලියානා ලැයිනෙශ් ඔටේරෝ (ANP) පේරු
උප සභාපතිවරු – නසාර් අබු බකර් (PJS) පලස්තීනය
සබීනා ඉන්ද්‍රජිත්, ඉන්දීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
භාණ්ඩාගාරික – ජිම් බොමිබියුලා  (NUJ) බ්‍රිතාන්‍යය

විධායක සභාව –

මොහොමඩ් අල් අරෙයිමි (OJA) ඕමානය
ධෛරාන් අල්මුටයිරි (KJA) කුවේට්
මාරියා ජෝස් බ්‍රාගා (FENAJ) බ්‍රසීලය
ලැරී ගෝල්ඩ්බෙටර් (NWU) ඇමරිකා එක්සත් ජනපදය
ඇඩ්රිනා හුර්ටාඩෝ (FECOLPER) කොලොම්බියාව
මොහොමඩ් යසීන් ජෙලාසි (SNJT) ටියුනීසියාව
ජෝකිම් ක්‍රෙයිබිච් (dju in verdi) ජර්මනිය
රෆෙල් ලෝරුසෝ (FNSI) ඉතාලිය
ෆයිල්මන් මෙඩිනා (Sindicato de Periodistas de Panama)
මැරියන් මෙඩ්ජෝ ඔබාම් (SNJC) කැමරූන්
ලුයිස් මෙනෙන්ඩශ් (FAPE) ස්පාඤ්ඤය
ජෙනිෆර් මෝරෝ (UNIFOR) කැනඩාව
ඕමාර් ෆාරුක් ඔස්මාන් (NUSOJ) සෝමාලියාව
ඇඩම් පෝටෙලි (MEAA) ඕස්ට්‍රේලියාව
මාරියා ලුයිසා රොගේරියෝ (SJA) ඇන්ගෝලා
අලි යූසෙෆ් (ORLB) ලෙබනනය

කලාප විධායක සභිකයන්

අප්‍රිකාව

1 වැනි – එඩ්වාඩෝ කොන්ස්ටන්ටිනෝ (NJ) මොසැම්බික්
2 වැනි – ස්ටීවන් ඕමා බ්වයර් (UJU) උගන්ඩාව

ආසියාව

1 වැනි – රෂීඩ් අල් හාමර් (BJA) බහරේනය
2 වැනි – මොහොමඩ් අල් හම්මාඩි (JA) එක්සත් ආරාබි එමීර් රාජ්‍යය

යුරෝපය

1 වැනි – ශෙරි ශ්ට්රුෂ්ට්කයි (IMTUU) යුක්රේනය

ලතින් ඇමරිකා

1 වැනි – ජොසේ ඇල්ටාරිකා ගුස්මාන් (NTP) ඩොමිනිකන් ජනරජය
2 වැනි – ඩොමින්ගෝ වර්ගාස් (FENATRAMCO) චිලී

ඕෂනියා

1 වැනි – කැරන් පර්සි (MEAA) ඕස්ට්‍රේලියාව

අතිරේක විධායක සභිකයින්
1 වැනි – ඉන්දිරා ප්‍රියදර්ශනී නවගමුව (FMETU) ශ්‍රී ලංකාව
2 වැනි – වංචි යූ (ATJ) තායිවානය

මන්ත්‍රිවරුන් විසින් ජනමාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන පැහැරගැනීම මැර ක්‍රියාවකි!

18. 05. 2022
මාධ්‍ය නිවේදනය.

මන්ත්‍රිවරුන් විසින් ජනමාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන පැහැරගැනීම මැර ක්‍රියාවකි!

සිරස මාධ්‍යවේදී කසුන් සමරවීර සහ පාර්ලිමේන්තු වාර්තාකරුවන්ගේ සංගමයේ සභාපති, මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරා සිය වාර්තාකරණය සඳහා යොදා ගනිමින් සිටි ජංගම දුරකථන, ආණ්ඩු පක්ෂයේ ඉන්දික අනුරුද්ධ සහ ඩී. වීරසිංහ යන මන්ත්‍රිවරු දෙදෙනා විසින් බලහත්කාරයෙන් පැහැරගැනීම තිරශ්චීන මැරක්‍රියාවකි. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සමග එකතුවෙමින් මන්ත්‍රිවරුන්ගේ එම මැරක්‍රියාව දැඩිව හෙළා දකී.

මාධ්‍යවේදීන්ට සිය වාර්තාකරණයේදී ජංගම දුරකථන භාවිතා කිරීම සඳහා කථානායකවරයාගේ නිසි අවසරය ලබාදී තිබේ. නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් පසු රැස්වූ පළමු දිනයවූ 17 වෙනි දින ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් සිරිත් පරිදි මෙලෙස වාර්තාකරණයේ නියැලෙමින් සිට ඇත.

එම අවස්ථාවේදී ඉහත නම් කළ මන්ත්‍රිවරුන් දෙදෙනා විසින් මාධ්‍යවේදීන් දෙදෙනාගේ ජංගම දුරකථන පැහැරගෙන තිබේ. වඩාත් හාස්‍යජනක සිදුවීම වනුයේ එම ක්‍රියාවට අනුබල දුන් චන්න ජයසුමන මන්ත්‍රිවරයා සභා ගර්භනයේදී කථානායකවරයා හමුවේ නාඳුණන පිරිසක් පාර්ලිමේන්තුව තුළ වීඩියෝ කරමින් සිටින බවට සිදුකළ ප්‍රකාශයයි.

මන්ත්‍රිවරු 225 සමගම ඉතාමත් සුහදව මිතුරන් ලෙසින් කටයුතු කරන මෙම මාධ්‍යවේදීන් දෙදෙනා නාඳුණන පුදගලයන් ලෙස චන්න ජයසුමන මන්ත්‍රිවරයාගේ හැඳින්වීම වඩාත් හාස්‍යජනක වේ. පැහැරගත් දුරකථන දෙක වේත්‍ර නිළධාරීන් වෙත භාරදීමෙන් පසු එහි ගබඩාකර තිබූ සියළු දත්තයන් නිළධාරීන් විසින් මකාදමා මාධ්‍යවේදීන් වෙත භාරදීම පිළිබඳව කථානායකවරයාගේ අවධානයට යොමුවිය යුතුය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දෙදෙනා මේ වන විටත් කතානායකවරයාට සහ වැලිකඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත. මෙම සමස්ථ සිදුවීම පොදුවේ ජනමාධ්‍ය නිදහසට හා මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වයට එල්ල වූ බරපතළ තර්ජනයක් බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කර සිටී. පාර්ලිමේන්තුවේ 225 ම එපා කියමින් රටේ ජනතාව සිදුකරමින් සිටින දැවැන්ත උද්ඝෝෂණයේ නිරවද්‍යතාවය මන්ත්‍රිවරුන්ගේ මෙම මැර ක්‍රියාව මොනවට පැහැදිළි කරනු ලබයි.

මන්ත්‍රිවරුන්ගේ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව පිළිබඳව කථානායකවරයා ප්‍රමුඛ සමස්ථ පාර්ලිමේන්තුවේ අවධානය යොමුකොට මන්ත්‍රිවරුන්ගේ එකි ක්‍රියාවට එරෙහිව නිසි ක්‍රියාමාර්ග වෙත යොමුවන ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය දැඩිව ඉල්ලා සිටී.

විශ්වාසී,

ධර්මසිරි ලංකාපේලි,

ප්‍රධාන ලේකම්.

ධර්මරත්නම් සිවරාම්: සන්සුන් චින්තකයෙකුගේ නික්ම යාම

LAST UPDATED ON 30 APRIL 2015

දෙමළ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකු විසින් පැහැරගනු ලැබූ බව අපේ‍්‍රල් 28 වෙනිදා බ‍්‍රහස්පතින්දාවේ මා දැනගත්තේ ජර්මනියේ වේලාවෙන් රාතී‍්‍ර 7.30ට පමණ ය. එතැන් සිට එළඹුණු පැය අට හමාරකට ආසන්න කාලය පුරා තවත් බොහෝ අයවළුන් සමඟ වියරුවෙන් මෙන් සිවරාම්ගේ ජීවිතය ගළවා ගැනීමට අපි කි‍්‍රයාත්මක වීමු. නමුත් සිකුරාදාවේ ජර්මනියේ වේලාවෙන් අළුයම 4.00ට පමණ සිවරාම්ගේ ප‍්‍රාණය නිරුද්ධ සිරුර හමුවූ වගට ඒ ශෝකී පණිවුඩය කොළඹින් මා වෙත ලැබිණ. ඒ පණිවුඩය කියාගත නොහැකිව සිය දුරකථන ඔස්සේ වාවාගත නොහැකි වේදනාවෙන් ඉකිබිඳින දෙමළ, සිංහල සහ යුරෝපීය හිතවතුන්ගේ සාමූහික වියෝදුක දරාගත නොහැකි තරම් එකක් විණ. ඒ, අප වටකොටගත් අපේක්‍ෂා විරහිතභාවයේ පොදු හැඟීමෙනි. සිවරාම්ගේ ජීවිතය බේරාගැනීමට ඒ හෝරා කිහිපයේ අසීමිත ලෙස වෙරගත් දෙමළ, සිංහල සහ සෙසු ජාතීන්ට අයත් කි‍්‍රයාකාරීන් සියල්ල මරණය පිළිබඳවත්, අපගේ ජීවිතවලට මෙන්ම අරගලයට විශේෂ වූ සහෘදයින්ගේ හදිසි වියෝගයන් පිළිබඳවත් අතීත අත්දැකීම්  ඕනෑ තරම් විඳ තිබිණ. නමුත් සිවරාම්ගේ මරණය මුල් කොට ඇවිළ ගිය අපගේ ශෝකයේ වෙනස්කමක් තිබිණ. ඒ වනාහී සිවරාම්ගේ මරණය විසින් නියෝජනය කළා වූ යථාර්ථයන්ට අදාළ වූවකි.

‘මහා මාධ්‍ය’ විසින් පාලනය කරනු ලබන ලෝකයක දෙමළ ජාතික අරගලය පිළිබඳ යථාර්ථයන් ලෝකයට අනාවරණය කිරීමේදී සිවරාම් හැම අතින්ම සාර්ථක වූයේය. පීඩිතයින්ගේ හඬ අවශේෂ ලෝකයට ඇසීම වළක්වනු පිණිස කි‍්‍රයාත්මක මාධ්‍ය ප‍්‍රබන්ධන් විසින් පාලනය වන ලෝකයක සිවරාම්ගේ සාර්ථකත්වය වූ කලී අතිශයින් උද්වේගජනක ජයග‍්‍රහණයකි. සිවරාම්ගේ මරණය විශේෂිත සංවේගයක් දනවනුයේ ඔහුගේ මරණය සිදුවන විට හෙතෙම සිය ශක්තීන් කූටප‍්‍රාප්තියට මෙහයවා සිය කාර්යයන් සියළු පැතිමානයන් ඔස්සේ පෙරට විහිදුවමින් තිබූ නිසාය. විශ්ලේෂණාත්මක කුසලතාවත්, සුපැහැදිලි රචනා ශෛලියත්, මාධ්‍ය පිළිබඳ තියුණු අවබෝධයත්, ඔහු විසින් ප‍්‍රතිරාව කළ හඬ හිමි පීඩිත දෙමළ ජනයාගේ සංස්කෘතික පදනම් පිළිබඳ වූ ගැඹුරු වැටහීමත්, ලෝක පරිමාණව කි‍්‍රයාත්මක ආර්ථික, දේශපාලන හා මිලිටරි බලවේගයන් පිළිබඳ වූ තේරුම්ගැනීමත් එක්තැන් කළ අසාමාන්‍ය පෞරුෂයක් සහිත සිවරාම් අන්තර් ජාලය වැනි නූතන මාධ්‍ය විසින් සම්පාදනය කොට ඇති තාක්‍ෂණික ඉඩ ප‍්‍රස්ථා පිළිබඳ සමීප ඥාණයක් හිමි අයෙකු විය. ලොව පීඩිත සියලු ජනයාට මූලාදර්ශයක් කොට සැළකිය හැකි ‘ටැමිල් නෙට්’ වෙබ් අඩවියේ සාර්ථකත්වය සඳහා ඔහු විසින් ඉටුකළ කාර්‍යභාරය ගිණිය නොහැකි තරම් ය.

ක්‍ෂුද්‍ර සම්භාව්‍ය රචනා

ඔහු ඉටුකළ වැඩකොටස බහුවිධ මානයන් සහිත එකකි. ශී‍්‍ර ලාංකීය ප‍්‍රධාන ධාරාවේ පුවත් පතක් වූ ‘ඩේලි මිරර්’ පුවත්පතට ඔහු විසින් සති පතා ලියන ලද ලිපිය, එම පුවත්පතේ කර්තෘවරයා විසින්ම ප‍්‍රකාශ කළ ආකාරයට ‘සුවිශාල අනුගාමිකත්වයක්’ සහිත විය. එහි අන්තර්ජාල සංස්කරණය කියවීම සඳහා සෑම බදාදාවකම ලොව පුරා ශී‍්‍ර ලංකාව පිළිබඳ උනන්දුවක් දැක් වූ බොහෝවුන් නොඉවසිල්ලෙන් සිටියහ. ඔහු අවිවාදයෙන්ම ලොව විශිෂ්ඨතම යුද විශ්ලේෂකයෙකු වශයෙන් පිළිගැණින. ඔහු විසින් ලියන ලද බොහෝ කෙටි ලිපි වූකලී ක්‍ෂුද්‍ර මට්ටමේ සම්භාව්‍ය රචනා සේ සැළකිණ. ඒවා ගැඹුරින්ම විද්‍යාත්මක වූ අතර සරල හා සුගම ශෛලියෙන් ලියැවී තිබිණ. ඔහුගේ දේශපාලන ලිපි තුළ කෙතරම් තියුණු සහ දෝෂ රහිත තර්කනයක් අන්තර්ගත වීද යත්, ඔහුගේ අදහස්වලට එරෙහිවූවන් පවා එකී ලිපි කියවීමට මෙන්ම ඒවා වින්දනයටත් රුචි කළහ. නමුත් ඔහු ඒ පිළිබඳ අහංකාරයකින් නොපෙලුණේය. වරක්, ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වූ දෙමළ දේව ධර්මවේදියෙකු වන මහාචාර්ය එස් ජේ එම්මෑනුවෙල් පියනම සිවරාම්ගේ ගැඹුරු ආලෝචනාවන් පිළිබඳ ප්‍රසාද මුඛයෙන් කතා කළේය. ‘ෆාදර්, මම පරිඝනකයක් ළඟ ඉඳගෙන හොයා ගන්න තොරතුරු ටික එකට ගොණු කරන සාමාන්‍ය මනුස්සයෙක්’ යැයි සිවරාම් කීවේ ඔහුට ආවේණික නිහතමානී බවින් ඒ කෙරෙහි සිනාසෙමිනි.

‘‘විද්‍යාව පිළිබඳ ගැටළුවලදී ලක්‍ෂ සංඛ්‍යාතවුන්ගේ අධිකාරය හා බලයට වඩා එක් මිනිසෙකුගේ සන්සුන් තර්කනය වටිනා බව’’ ගැලීලියෝ කීවේය. සිය සමකාලීන ලෝකයේ අධිගෘහිත අදහස් හා සංස්ථාපිත තත්ත්වයන් සමඟ සටන් කිරීම සඳහා ගෙවිය යුතු මිල පිළිබඳ ගැලීලියෝ මනාව දැන සිටියේය. ගැලීලියෝගේ උපන්‍යාසය නිවැරදි බව සිවරාම් සිය භාවිතයෙන්ම සනාථ කළේය.

කරුණාගේ බිඳීම

මරණයට වසරකට පමණ පෙරාතුව සිවරාම් ජර්මනියට පැමිණියේය. බලපෑම් සහගත පුද්ගලයින් කිහිප දෙනෙකු මුණගැසීම සඳහා සූදානම් කර තිබූ රැස්වීම් වාර කිහිපයකටම මම ඔහු කැටුව ගියෙමි. ති‍්‍රකුණාමල වරාය හා අත්‍යන්තයෙන්ම ගැටගැසී පවතින එක්සත් ජනපද හා බි‍්‍රතාන්‍ය අභිලාෂයන් විසින් සාම කි‍්‍රයාදාමය අස්ථාවර කරන ආකාරයත්, මැද පෙරදිග කලාපය තුළ එක්සත් ජනපද යුද කි‍්‍රයාමාර්ගයන්ගේ අවශ්‍යතා හා පීඩනයන් විසින් සාම කි‍්‍රයාදාමය විනාශ කිරීමට පෙර ජර්මානු ජනයා සාම කි‍්‍රයාදාමයට සහාය දැක්වීම සම්බන්‍ධයෙන් කි‍්‍රයාකාරී භූමිකාවකට මැදිහත්විය යුතු ආකාරයත් පිළිබඳ ඔහු විසින් කළ සෘජු හා ඒත්තු ගන්වන සුළු දීප්තිමත් විශ්ලේෂණයෙන් මම සැබැවින්ම විස්මයට පත්වීමි. ඇත්ත වශයෙන්ම සිවරාම් මියයන මොහොත වන විට ඔහු ප‍්‍රධාන කථිකයෙකු වශයෙන් සහභාගී වන රැස්වීම් ගණනාවක් මැයි මාසයේ අග දී ජර්මනියේ සංවිධානය කිරීමට අවශ්‍ය පියවර අපි ගනිමින් සිටියෙමු.

සිවරාම් හුදෙක් බටහිර පරිභෝජනයට ගැළපෙන පරිදි තොරතුරු සංගෘහිත කිරීමට සමත් වූ ඵලදායී ප‍්‍රචාරකයෙකු පමණක් නොවීය. ඔහු තමන් පැවත එන්නා වූ දෙමළ සමාජයේ දේශපාලනය තුළ මුල් බැසගත් අයෙක් විය. දෙමළ සමාජයේ අභ්‍යන්තර දේශපාලනය සමඟ ඔහුට පැවතියා වූ සම්බන්ධයේ ගැඹුර බාහිර ලෝකයට විදාරණය කොට පෙන්නුම් කළා වූ නිදසුන් අවස්ථාවක් වන්නේ ‘කරුණා පිළිබඳ ප‍්‍රශ්නය’ හමුවේ ඔහු විසින් සිදුකළ ආකර්ෂණීය මැදිහත්වීමයි. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හැර ගිය සෙන්පතියෙක් වූ කරුණා, දෙමළ ජාතික ව්‍යාපාරය හා දෙමළ සමාජය කෙරෙහි සුවිශාල බාධකයක් බවට පත්වීමේ තර්ජනය මතු කරන ලදී. සිවරාම් මෙන්ම දිවයිනේ නැගෙනහිර පළාතෙන් ආ අයෙකු වූ කරුණා, සිවරාම් හොඳින් දැන හඳුනන අයෙකු විය. යුද සමයේ දක්‍ෂ හා දීප්තිමත් මිලිටරි නායකයෙකු වූ කරුණා නැගෙනහිර දෙමළ ජනයා අතර ඉමහත් ගෞරවාදරයට පාත‍්‍රවූවෙකි. ප‍්‍රචාරක සංග‍්‍රාමය ආරම්භ වීමත් සමඟම පාර්ශ්වික යුද්ධයක් මතුවනු ඇතැයි යන භීතිය හා ව්‍යාකූලත්වය නොවැළැක්විය හැකි ලෙස දෙමළ ප්‍රජාව තුළ නැගී ආයේය. නමුත් දෙමළ සමාජය තුළ සිවරාම් විසින් කරන ලද දේශපාලනික මැදිහත්වීම අර්බුදයේ තීව‍්‍රතාව අවම කිරීම අරභයා අතිමහත් ලෙස දායක විය. සැබැවින්ම අනතුරට පත්ව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව සිවරාම් විසින් සෘජු හා දෝෂ විරහිත ශෛලියෙන් දෙමළ සමාජයට කරුණු කියා පෑවේය. අව්‍යාජ තර්කයන් හා අවස්ථාවාදී තර්කයන් අතර සුපැහැදිලි බෙදුම් රේඛාව ඔහු විසින් ඇඳ පෙන්වන ලදී. මෙම පාර්ශ්වික ගැටුම ප‍්‍රමුඛත්වයට පැමිණියහොත් ඉන් වාසි ලබනු ඇත්තේ කවුරුන්ද යන වග හෙතෙම ඉතා මැනවින් පෙන්වා දුන්නේය. සමාජයේ සංසක්තභාවය ආරක්‍ෂා කරගැනීමේ ඇති වැදගත්කමත්, දුෂ්කරතා මධ්‍යයේ දිනාගත් ජනතා පරමාධිපත්‍යය රඳවා ගැනීමේ ඇති අවශ්‍යතාවත් ඔහු විසින් තීක්‍ෂණ ලෙස පැහැදිලි කරදෙන ලදී.

කොංගෝව ගැන

ලෝකයේ බොහෝ පැතිවල සිදු වූ සමාජ බිඳවැටීම්වල ප්‍රතිවිපාක පිළිබඳ සිවරාම් සතු වූ අත්දැකීම් සම්භාරය අති විශාල විය. ඔහු ජර්මනියේ බ්‍රේමන් නගරයේ සාකච්ඡාවන්ට සහභාගී වූ දිනවල කොංගෝවේ සුවිශාල සමූල ඝාතන හා විනාශයන් මගින් බටහිර මහා පරිමාණ වෙළඳ ව්‍යාපාර ලාභ ලබන ආකාරය දීර්ඝ හා විස්තීරණ ආකාරයෙන් අප හමුවේ විග‍්‍රහ කරනු ලැබීය. ක්‍ෂුද්‍ර පරිපථයන්ට හා ජංගම දුරකථනයන්ට අත්‍යාවශ්‍ය වන අතිශයින් මිල අධික කොලම්බයිට් ටැන්ටලයිට් හෙවත් ‘කොල්ටන්’ ඛනිජය ඉතා අඩු මිලට ගැනීමට අවකාශ සළසා දීම වෙනුවෙන් බටහිර නිශ්චිත මහා සමාගම් ගණනාවක් විසින් වෙනස් බල ප‍්‍රදේශ සහිත යුද්ධාධිපතින්ට වාසි සහගත ලෙස කටයුතු කරන ආකාරය ගැන හෙතෙම අතිශයින් වැදගත් විශ්ලේෂණයක් සිදුකරන ලදී. සමාජයේ අභ්‍යන්තරික කඩා වැටීමක් තිබියදී, කොල්ටන් හා වෙනත් ඛනිජ ද්‍රව්‍ය විකිණීම සඳහා යුද්ධාධිපතීන් එකිනෙකා තරඟවැදීම විසින් අදාළ ඛනිජ මිල වේගයෙන් පහළ දමනු ලැබීම වැළැක්විය නොහැකි ය. මේ අනුව කොංගෝවේ ලක්‍ෂ සංඛ්‍යාත ජනයා මිය යාම අනිවාර්ය වන නමුත් ජංගම දුරකථන සඳහා කොල්ටන් ලාභදායී ලෙස සැපයුම බාධා විරහිතව පැවතීම ද අනිවාර්ය විය. කරුණා පිළිබඳ අර්බුදයේදී සිවරාම්ගේ මැදිහත්වීම හුදෙක් දෙමළ සමාජයේ ගැඹුරට පමණක් සීමා වූවක් නොව, ඔහුගේ ස්ථාවරයන් හා විශ්ලේෂණයන් ඉන් පරිබාහිර ලෝකයට ද පරාවර්තනය විය. සිංහලයෙකු වශයෙන් කරුණාගේ ප‍්‍රශ්නය පිළිබඳ සුවිශාල ආලෝචනාවන් මා වෙත සම්පාදනය කරගනු ලැබුවේ සිවරාම් විසින් ඉංගීසි බසින් ලියන ලද ලිපි මගිනි. එබැවින් ඔහුගේ සිතුම් සහ කි‍්‍රයාකාරීත්වයන් අතර ඒකාබද්ධතාව දෙමළ සමාජය අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් ද එක සේ පැවතිණ. ඔහු යථාර්ථය හැමවිටම එහි සමස්තය තුළ තබා විග‍්‍රහ කළේය. ස්වකීය බුද්ධිමය ස්වෛරීභාවය සිවරාම් වැදගත්කොට සළකා ආරක්‍ෂා කරගන්නා ලද්දේ දෙමළ ජනයාගේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරගැනීමේදී දැක්වූ දෘඪතාවෙන්ම යුතුවය. මේ අර්ථයෙන් සැළකූ විට සිවරාම් හුදු ප‍්‍රචාරකයෙකු නොව, සත්‍ය ගවේෂකයෙකු හා සත්‍ය වෙනුවෙන් සටන් කරන්නෙකු ද විය.

සිවරාම් ඝාතනය ලක්වන විට, ඔහු කළ කාර්යයන්ගේ එකිනෙකට වෙනස් පැතිමානයන් රමණීය ලෙස සංයෝග වෙමින් තිබුණි. නමුත් ඔහු කළ වැඩ කොටසෙහි බහුවිධ මානයන්ගේ අරුත ඔහුට බොහෝ සතුරන් සිටි බව ය. ඔහුගේ මරණයට වගකිව යුත්තේ කවුරුන්ද? ඔහුගේ ඝාතනයන් සොයා ගනු ඇතිද?

බහුවිධ සතුරන්

පසුගිය වසරේ සිවරාම් ජර්මනියේ සිටින සමයේ ඔහුගේ මිතුරෙකු වූ නඩේසන් මරා දැමිණ. ශ්‍රී ලංකා රජය මේ දක්වා කිසිදු වගඋත්තරකරුවෙකු සොයාගෙන නොමැත. ඔහුගේ තවත් සගයෙකු වූ බි‍්‍රතාන්‍ය ගුවන් විදුලියේ සේවය කළ නිමලරාජන් ඊට පෙර මරා දැමිණ. රජයට අනුව ඔහුගේ ඝාතකයන් කවුරුන්දැයි තවමත් නොදනියි. දැන් සිවරාම් ද මරා දමා තිබේ. ඔහු මරා දැම්මේ කවුරුන් විසින්ද? මා සිතන ආකාරයට එය අගතා කි‍්‍රස්ටි විසින් ලියන ලද අභිරහස් නවකතාවක් වන The Murder on the Orient Express වැන්නකි. ඊට අනුව සෑම සැකකරුවෙකුම ඝාතනයට සම්බන්‍ධ බව පෙනී යයි. සිවරාම් විසින් හෙළිදරව් කරන ලද සියලුම පුද්ගලයින්ට ඔහුගේ මරණය දැකීමේ අභිප්‍රාය තිබිණ. සූරාකෑමේ නියැළුණවුන්ටද, ජනතාව අතර බෙදීම් ඇතිකොට ශක්තිමත් කළවුන්ට ද, ජාතිවාදය ප‍්‍රවර්ධනය කළවුන්ටද, දිවයිනේ ඇතැම් ප‍්‍රදේශයන්හී ආධිපත්‍යධාරී බලයක් අපේක්‍ෂා කළ බාහිර බලවේගයන්ට ද යන සියල්ලන්ට ඔහුගේ මරණය ප‍්‍රාර්ථනා කරන්නට හේතු සමුදායක් තිබුණි. සිවරාම් මරා දමන්නට මින් කවර බලවේගයන් සන්ධානගත වීද යන්න තවමත් අනාවරණය කර නොගත් අභිරහසකි. නමුත් ඔහුගේ මරණයෙන් මේ සියල්ලන්ට ප්‍රතිලාභ අත් වූ බව නම් පැහැදිලි ය.

ඔහු කායිකව ඝාතනය කිරීමෙන් ඔහුගේ සතුරන් සෑහීමකට පත් නොවේ. ඔහු සටන් කොට සුරැකි අදහස් අවමානයට පාත්‍ර කිරීමට ද ඔවුන්ට අවශ්‍යව තිබේ. ඔහුගේ අදහස් හා ඉටුකළ කාර්යය විකෘත කිරීමේ අටියෙන් ස්වකීය අභිමථාර්ථයන්ට අනුකූල ලෙස සිවරාම්ගේ ප‍්‍රතිරූපය යළි ගොඩනැංවීමට උනන්දුවක් දක්වන්නවුන් එමට ය. නිදසුනක් ලෙස දයාන් ජයතිලක වැනි සිංහල ප‍්‍රකාශකයින් සිවරාම්ගේ තර්කනයේ රූපකාරය එහි අන්තර්ගතයෙන් වෙන්කිරීමට උත්සාහ කරනු දැකිය හැක. ස්වකීය ජනයා සහ ඔවුන්ගේ අරගලය සමඟ සිවරාම්ට පැවැති සම්බන්‍ධය විසන්‍ධි කිරීමට ඔවුන්ට අවශ්‍යව තිබේ. ඔහු දිවිහිමියෙන් පෙනී සිටි දෙය විනාශ කිරීම පිණිස ඔවුහු සිවරාම්ට ප‍්‍රශංසා කරති. නමුත් සත්‍යය වන්නේ සිවරාම් ස්වකීය දිවි පරදුවට තබා ප‍්‍රකාශනයක් ලබාදෙන ලද්දේ පිබිද එන ජනතාවකට ය. දෙමළ ජනයාගේ අරගලය සිවරාම්ගේ දීප්තිමත්භාවයෙන් කඩා වෙන් කළ නොහැකිය. යුදවන් වකවානුව වූ කලී අඳුරු කුරුබිලියක් තුළ ගමන් කිරීමක් හා සමාන බවත්, සාම කි‍්‍රයාදාමය එකී කුරුබිලියෙන් බැහැරට ඒමට ඇති මාවත බව ද වේලූපිල්ලේ ප‍්‍රභාකරන් වරක් ප්‍රකාශ කොට තිබුණි. යුද වකවානුවකදී අත්‍යවශ්‍යයෙන්ම පටු ආකාරයක් ගන්නා ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාදාමයන් සාමකාමී වකවානුවක් තුළ වේගයෙන් වෙනස් කළ යුතු බවත්, සජීවී විවාදයන්ට ප්‍රකාශ වීමට අවාකශ සැළසෙන පරිදි සකළ විධ සීමාවන් පුළුල් විය යුතු බවත් ඔහු ඉන් අදහස් කළේය. සිවරාම්ගේ ශක්‍යතාවන් පෝෂණය වූයේ මෙම කොන්දේසි යටතේය. අරගලය ආයුධවලින් වචනවලට මාරුවන සැණින් සුපිරිතර රණකාමියා සිවරාම් විය. ඔහුගේ අරමුණ සත්‍යවාදී වූ අතර එය පැන නැගුණේ තුවක්කු බටයෙන් නොව, පෑන් බටයෙනි. දෙමළ සමාජය තුළ පංති අරගලය පෙරට තල්ලූ කිරීම සම්බන්‍ධයෙන් හෝ සාම උගුලේ අනතුරු පිළිබඳව හෝ ඔහු විසින් දෙමළ මාධ්‍යයන්ට ලියන ලද ලිපි මඟින් වේවා, සිංහල ජාතිවාදය හා බටහිර අභිලාෂයන් පිළිබඳව ඔහු විසින් කොළඹ ඉංගී‍්‍රසි මාධ්‍යයන්ට ලියන ලද ලිපි මඟින් වේවා, යුද්ධය පුපුරා යාමේ තර්ජනය පිළිබඳව බටහිර ධනවත් රාජ්‍යයන්හි දී ඔහු විසින් පවත්වන ලද කතා තුළින් වේවා සිවරාම් සතු මෙම බලය නිරායාසයයෙන් ‍ඒත්තු ගන්වනු ලැබුණි.

දෙමළ ජනයා සහ සිවරාම්

ආචාර්ය එස් සදානන්දන් පෙන්වා දී ඇති ආකාරයට ‘‘සිංහල ජාතිවාදය වඩාත් කුපිත කරවනු ලැබුවේ ලෙනින්ගේ වැදගත් සිද්ධාන්තයක් සිවරාම් අතිශය විනාශකාරී බලපෑමක් සහිතව භාවිතාවේ යෙදවීම විසිනි: සැබැවින්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට සිවරාම් තමන්ගේ කාර්යය සීමා කරගත් අතර සිදුවිය හැක්ක ගැන, වඳ සමපේක්‍ෂණයන්ගේ පැටලීමට හෙතෙම උත්සුක නොවීය.’’

දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින් නායකත්වය සැපයූ දෙමළ ජනයාගේ අරගලයෙන් සිවරාම් වෙන් කොට දැක්වීමට තැත් දරන දයාන් ජයතිලක වැන්නන්ට යොමු කිරීමට ප්‍රශ්නයක් මට තිබේ. බුද්ධිමතෙකු වටා වන සමාජයේ හා ජනතාවන්ගේ අඛණ්ඩ සංවර්ධනයකින් තොරව ඔහුගේ පූර්ණ සංවර්ධනයක් සිදුවිය හැකිද? බේතෝෆන් ප‍්‍රකට කළාවූ දීප්තිමත්භාවය විසින් රදළ බලවේගයන්ට එරෙහිව නැගීගත් ජර්මානු ධනේශ්වරය තුළ වර්ධනය වන විශ්වාසය පරාවර්තනය නොකළේද? වෙනස් වකවානුවක වුව ද, සිවරාම්ගේ වර්ධනයන් සහ කාර්ය සාධකතාව වූ කලී එපරිද්දෙන්ම නැගී ගත් දෙමළ ජනයාගේ සාමූහික ආත්ම විශ්වාසයේ බුද්ධිමය ප‍්‍රකාශනයක් විය.

ජනතා විමුක්ති පෙරමුණ දයාන් ජයතිලකටත් වඩා පියවරක් ඉදිරියට ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. මැයි 03 වෙනිදා ශී‍්‍ර ලංකා රජයේ ‘ලක්හඬ’ ගුන් විදුලියේ සාකච්ඡාවකට එක්වෙමින් ජවිපෙ නොනිල ප‍්‍රකාශනය වූ ලංකා පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු තදබල ලෙස තර්ක කරමින් කියා සිටියේ සිවරාම් මරාදමනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් බව ය! සිවරාම් ඝාතනයට සතියකට හෝ දෙකකට පෙරාතුව ‘සිවරාම් යනු කොටියෙක්’ යැයි කියමින් විසකුරු ප‍්‍රචාරයක් ගෙනගිය ප‍්‍රකාශනයක් හා සංවිධානයක් විසින් මෙවැනි තර්කයක් ගොඩනැගීම බැලූ බැල්මට උත්ප‍්‍රාසජනක විය හැකි ය. නමුත් ඊට වැඩිමනත් දෙයක් ද තිබේ. ජවිපෙ තර්කය වී ඇත්තේ මරණයට මෑත දී, සිවරාම් ජවිපෙ හා සහානුභූතී වෙමින් ලියන ලද ලිපිය, එල්.ටී.ටී.ඊ.ය පිළිවෙත් පිළිබඳ ඔහුගේ විවේචනාත්මක ආස්ථානය හඟවන බවත්,  ඒ නිසා කොටින් විසින් සිවරාම් ඝාතනය කළ බවත් ය. ලාංකීය මාධ්‍යයන්ට යථාර්ථය කෙතරම් පහසුවෙන් විකෘති කළ හැකිද යන්න පිළිබඳ දැනුවත් අයෙකු වශයෙන් මෙම තර්කය සමඟ ගණුදෙනු බේරාගැනීමට මම බැඳී සිටිමි.

ජවිපෙ සහ අසීමිත ශුභවාදය

සිවරාම්ගේ චරිතයේ වූ සුවිශේෂි ලක්‍ෂණයක් වූයේ ඔහු සතුවූ විවෘතභාවයයි. ඕනෑම අයෙකුට ඔහුට ළඟාවිය හැකිව තිබූ අතර  ඕනෑම අයෙකුගේ අදහස්වලට ඔහු විවෘතව සිටියේය. ඔහු මුළුමණින්ම කට්ටිවාදයෙන් තොරවූවෙක් විය. ඔහු සීමාරහිත ශුභවාදියෙක් වූ අතර සිංහල සහ දෙමළ ජනයා එක්සත් කළ හැකි මාවත් පිළිබඳව සීමාරහිත ගවේෂකයෙකු විය. ඉන්දීය සාම සාධක හමුදාව උතුරු සහ නැගෙනහිර කඳවුරු බැඳ සිටි සමයේ දෙමළ ජාතික ව්‍යාපාරය හා ජවිපෙ එක්සත් කළ හැකි බවට සිවරාම් විශ්වාස කළ බව මම දනිමි. සිංහල සහ දෙමළ ජනයාගෙන් සැළකිය යුතු තරම් බහුතරයක් මෙන්ම ශී‍්‍ර ලංකා ආණ්ඩුවම පවා ඉන්දීය හමුදාවන් රැඳී සිටීමට විරෝධය දැක්වූ තත්ත්වයක් යටතේ මූලධාර්මික සමගියක් සඳහා පදනමක් එහි පැවතිණ. දීර්ඝකාලීනව මුල් ඇදුණු දෙමළ විරෝධී ජාතිවාදයේ රැහැන් බිඳ දැමීමට තරම් බලවත් ශක්‍යතාවක් ඒ තුළ පෙනෙන්නට තිබිණ. සිවරාම්ගෙන් මුළුමණින්ම ස්වාධීනව වුවද මම පවා පෞද්ගලිකව මෙය පිළිගත් අතර ජවිපෙ සාමාජිකයන් වශයෙන් කි‍්‍රයා කළ සිංහල පීඩිත ජනයා කෙරෙහි අව්‍යාජ කැපවීමක් සහිත සුවිශේෂී ශිෂ්‍ය නායකයන් කිහිප දෙනෙක් සමඟ සමීපව කටයුතු කිරීම විසින් මගේ විශ්වාසය වඩ වඩාත් ප්‍රත්‍යක්‍ෂ වුණි. රාජ්‍ය හමුදාවන් විසින් දස දස් සංඛ්‍යාත ස්වකීය සාමාජිකයන් සමූල ඝාතනය කරනු දැක දැකත් මෙකී ශිෂ්‍යයන් විසින් අඛණ්ඩව අරගලයේ නිරත වෙමින් පෙන්නුම් කළා වූ විරෝධාරත්වය සැබැවින්ම ආවේශී එකකි. තීව‍්‍ර වූ සන්නද්ධ අරගලයත්, තම ජීවිතවලට එල්ල වූ අවදානමත්, විප්ලවකාරී වටපිටාවත් මෙකී ජවිපෙ අනුගාමිකයින්ගේ මනස් විවෘත කරනු ලැබ තිබූ අතර දෙමළ ජනතාව සමඟ වන සම්බන්‍ධතාවයේ සිට සෙසු සියල්ල පිළිබඳ නව විප්ලවකාරී ආකාරයකින් සිතීමට බලකරන තත්ත්වයන් ඔවුන් හමුවේ නිර්මාණය වී තිබුණි. මිනීමරු හමුදාවන්ගෙන් සැඟවී එක්ව ගතකළ සමයේ මා සහ ඔවුන් අතර මේ පිළිබඳ ගැඹුරු සහ විනිවිදින සාකච්ඡා බොහෝ ඇති විය.

මගේ සමීපතම සහෝදරයා වූ මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානයේ නායක ගැමුණු යසස් හෙවත් ගයාන්‍, රෝහණ විජේවීර විසින් ලියන ලද ලංකාවේ ජාතික ප‍්‍රශ්නය පිළිබඳ කෘතිය ඉංගී‍්‍රසි බසට පරිවර්තනය කිරීමට කටයුතු සැළසුම් කරමින් සිටි අතර මටත්, වෙනත් කිහිප දෙනෙකුටත් එහි අඩංගු තර්කයන්ට ප‍්‍රතිචාර දැක්වීමට අවකාශ සැළසීමද එහි එක් අරමුණක් විය. (ලැජ්ජාවට හේතුවන කරුණක් වුවද, දීර්ඝ කාලාන්තරයක් ලංකාවෙන් බැහැරව ජීවත්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඉහත කෘතියේ අඩංගු සංකීර්ණ තර්කනයන් සිංහල බසින් කියවා වටහා ගැනීමට අපොහොසත් වීමේ ගැටළුවෙන් මම පෙළුණි.) මෙකී කෘතියට ඉංගී‍්‍රසියෙන් කියවා විධිමත්ව ඊට පිළිතුරු දීමට සූදානම්ව සිටි තවත් අයෙකු වූයේ සිවරාම් බව මම දැන් දනිමි. දකුණේ අරගලයේ වැඩිවන අවදානම සහ අරගලකාරී උණුසුම තුළ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය පසුගාමී හා ප‍්‍රාදේශීයවාදී සිංහල ජාතිවාදී මාවතින් ගළවා ජාතීන්ගේ ප‍්‍රශ්නය පිළිබඳ ලෙනින්ගේ මූලධාර්මික ආස්ථානය මත පිහිටුවාලිය හැකිවනු ඇතැයි මම සැබැවින්ම විශ්වාස කළෙමි. සිවරාම් ද එකී සුබවාදී විශ්වාසයේ කොටස්කරුවෙක් වූ බව මට ඒකාන්ත වශයෙන්ම විශ්වාස ය. දෙමළ ජාතික විමුක්ති අරගලයට මවිසින් දක්වන ප‍්‍රතිපත්ති මූලික සහාය ජවිපෙ පිළිබඳ මා දැරූ එම ස්ථාවරය විසින් අංශුවකුදු වෙනස් නොකරන ලද අතර සිවරාම්ගේ තත්ත්වය ද එයම විය.

සිංහලයන් පිළිබඳ අපේක්‍ෂාව

සුනාමිය සමඟ බාහිර බලවේග සහ රාජ්‍ය නොවන සංවිධාන වේගයෙන් රට තුළ කාවදින තත්ත්වයක් හමුවේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරගැනීමට සමත් ශක්‍යතා සහිත බලවේගයන් සිංහල සමාජය තුළින් ද සොයාගැනීමේ උනන්දුවක් සිවරාම්ට තිබූ බව මම විශ්වාස කරමි. කවර හෝ ආකාරයක ‘බටහිර ආධාර’ පිටුපසින් වන පෙළඹුම් හේතු පිළිබඳ සිවරාම් හැමවිටම සැක කළේය. ජනවාරියේදී කොන්ඩොලීසා රයිස් විසින් ප‍්‍රකාශ කරන ලද්දේ ‘සුනාමිය වූ කලී අපහට විශේෂිත ප‍්‍රතිලාභ උපයා දුන් විශ්මයජනක අවස්ථාවක්’ බවයි. මෙකී ප‍්‍රකාශය බුෂ් පරිපාලනයේ කාලෝස් පැස්කුවල්ගේ ’’ජාතියක සමාජ වියමන වෙනස් කිරීමේ’’ පෙර සැළැස්ම සමඟ මනා ලෙස ගැලපේ. ඔවුන්ගේ සැළැස්ම වන්නේ පැරණි රාජ්‍යයන් යළි ගොඩනැංවීම නොව, ‘ප‍්‍රජාතාන්ති‍්‍රක සහ වෙළඳ පොළ කේන්‍ද්‍රීය රාජ්‍යයන්’ නිර්මාණය කිරීමයි. සුනාමී විනාශය හේතුවෙන් දැවැන්ත මානුෂික ප‍්‍රතිචාරයන් වේගයෙන් ලොව දස අතින් ළඟා වූ බව ඇත්තකි. නමුත් ප‍්‍රශ්නය වූයේ සුනාමියෙන් පහර කෑ ජනතාවන් හා ඔවුනට උපකාර කිරීමේ අවශ්‍යතාවෙන් පෙළුණු ප‍්‍රජාවන් වශයෙන් වන සරල බෙදීමකින් ඔබ්බට ගිය යථාර්ථයන් ඒ තුළ පැවතීමයි. මේ අතර මැද තවත් බොහෝ දේ තිබිණ. එහි ප‍්‍රතිඵලයක් වූයේ මෙකී සමස්ත මානුෂික ප‍්‍රතිචාරයන්ම කළමනාකරණය කරන්නා වූ මෙහෙයුම් පිටුපස වූ ගාමක බලය, බටහිර රාජ්‍යයන්ගේ අභිලාෂයන් වීමයි.

සිංහලයන් මෙකී සැළසුම්වලට එරෙහිව ස්වකීය ස්වෛරීභාවය වෙනුවෙන් සටන් කරනු දැකීම සිවරාම්ගේ අවශ්‍යතාව වූ බව නිසැක වූ අතර දශක කිහිපයකට පෙරාතුව කෙන්යානු ලේඛක න්ගුයෙන් වා තියෙන්ගෝ කී පරිදි ඔහුට අවශ්‍ය වූයේ ජනයා එක්සත්ව හඬ නගනු දැකීමයි. තියෙන්ගෝ මෙසේ ලීවේය:

‘‘ඔබගේ සියළුම ප‍්‍රයෝගයන් සඟවා ගත් සළුපිළි පිළිබඳ සියළු රහස් දැන් අපි දන්නෙමු. ඔබම ඝාතනයන් සිදුකොට, අනතුරුව ශෝකයේ සළු හැඳ එහි ගොස් අනාථයින්ගේ හා වැන්දඹුවන්ගේ නෙත කඳුළු පිසියි. මැදියමේදී ඔබ ජනයාගේ ආහාර ගබඩා බිඳ ආහාර කොල්ල කා, අරුණෝදයේ දී ඔබේ පුණ්‍යවන්තභාවයේ සළු හැඳ එම ජනයා අතරට ගොස් රාති‍්‍රයේදී කොල්ල කා ගත් ධාන්‍ය ලබු කැට පුරවා ඒ ජනයා අතරෙහිම බෙදයි. ඔබ හුදෙක් ඔබගේම  ආශා පිනවාගැනීම සඳහා කාමුකත්වයට අනුබල දී අනතුරුව ධාර්මිකභාවයේ සළු හැඳ ජනයා අතරට ගොස් පශ්චාත්තාප වන ලෙසත්, පාරිශුද්ධත්වයේ මාවත් පෙන්වා දීම සඳහා ඔබ පසුපස එන ලෙසත් දන්වයි. ඔබ මිනිසුන්ගේ ධනය පැහැරගෙන, අනතුරුව මිත‍්‍රත්වයේ ලෝගු හැඳ කොල්ලකෑමෙහි යෙදුණ දුෂ්ඨයන් ලූහුබැඳ යන මෙන් ජනයාට උපදෙස් සපයයි.’’

සිවරාම් සහ වෙනම රාජ්‍යය

ඉන්දීය හමුදා දිවයිනට පැමිණි ‘80 දශකයේ පසු භාගයේදී මෙන්ම, ඔහුගේ මරණයට පෙර ද සිවරාම් ජවිපෙ තුළ යම් යහපතක් දකින්නට වෑයම් කළේය. නමුත් සිවරාම් පිළිබඳ මතකයට ගර්හා කරන්නට ජවිපෙ විසින් යොදාගනු ලැබ ඇත්තේ ද සිවරාම් තුළ බලපැවැති මෙකී යහපත් සුබවාදී අපේක්‍ෂාවයි.

2003 ඔක්තෝබරයේදී හිරු කණ්ඩායම විසින් කොළඹ දී සංවිධානය කළ සිංහල – දෙමළ සංස්කෘතික සමුළුවේ කතා කළ සිවරාම්ගෙන් කෙනෙක් අසන ලද්දේ, ඔහුට එතරම් ජීවිත අනතුරක් ඇති කොළඹ නගරයේම ජීවත්වන්නේ මන්දැයි කියා ය. වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීමේ ඉරණමට ගොදුරු නොවී දෙමළ මාධ්‍යවේදියෙකුට කොළඹ සිට ක්‍රියා කළ නොහැකි නම්, දෙමළ ජනයාගේ වෙනම රාජ්‍යයක් සඳහා වූ අවසාන කොන්දේසිය ද සැපිරෙන බව සිවරාම් කීවේය.   ජීවිතය කෙරෙහි එල්ල වූ බරපතල අවදානම මැද පවා කොළඹ ජීවත්වීමට තරම් එඩිතරවීම ඔස්සේ සිවරාම් සිය  ජීවිතය තුළින් ප‍්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරන ලද්දේ සිංහල සහ දෙමළ ජනයා අතර සහයෝගීතාව සඳහා තවදුරටත් ඇති අවකාශයයි. ඔහුගේ ඝාතකයින් විසින් මෙය කළ නොහැක්කක් බවට පෙරළා ඇත්තේද?

මෙම ප‍්‍රශ්නයට පිළිතුරක් සපයා දෙනු ඇත්තේ අපගේ කි‍්‍රයාකාරීත්වයන් විසිනි. (2005.05.04)

විරාජ් මෙන්ඩිස්

© JDS

 

#Gota Go Home 2022 ජනඅරගලයට ජනමාධ්‍යවේදීන්ගේ සහාය! පාගමන අප්‍රේල් 20 පස්වරු 3.00 කොටුව දුම්රිය පොළ අසළින්.

# Gota Go Home, ජනඅරගලයට සහය පළකරමින් අරගලයට සම්බන්ධවීම පිණිස ජනමාධ්‍යවේදීන්   කොටුව දුම්රිය පොළ අසළින් පාගමනක් සංවිධානය කොට ඇත.
එම පාගමන අප්‍රේල් 20 පස්වරු 3.00 කොටුව දුම්රිය පොළ අසළින් පිටත්වීමට නියමිත අතර රටපුරා විසිරී සිටින මාධ්‍යවේදීන් මෙම පාගමනට සම්බන්ධවීමට නියමාත ය. පාගමන සම්බන්ධයෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ.

 

මාධ්‍ය නිවේදනය

 2022 අප්‍රේල් 18

#Gota Go Home 2022 ජනඅරගලයට ජනමාධ්‍යවේදීන්ගේ සහාය!

පාගමන අප්‍රේල් 20 පස්වරු 3.00 කොටුව දුම්රිය පොළ අසළින්.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ජනපීඩනය දරාගත නොහැකිව සවයංසිද්ධව ආරම්භ වූ ජනඅරගලයට දින 10 ඉක්මවමින් තිබේ. සකල විධ භේදයන්ගෙන් තොරව ආරම්භ වූ රජයට එරෙහි අරගලය, රටේ ජනතාවට බලය පවරන ලෙසට බලකරමින් රටපුරා විහිදුනු වර්‍ධනය වෙන ජනඅරගලයක් බවට පත්වෙමින් තිබේ.

මේ ජනඅරගලයට, ලංකාවේ සියළු ජනමාධ්‍යවේදීන් කිසිදු සංවිධානම ය, වෘත්තීම ය, භාෂාම ය භේදයකින් තොරව පූර්‍ණ සහය පලකිරිීමට තීරණයකර තිබේ. ඒ වෙනුවෙන් ලංකාව පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන් සංවිධානය කරනු සහයෝගිතා පාගමන අප්‍රේල් 20 වෙනි දින පස්වරු 3.00 කොටුව දුම්රිය පොළ අසලින් ආරම්භ වේ.

ගාළුමුවදොර ජනඅරගල විරෝධතාවට සහාය පළකෙරෙන මෙම පාගමනට සංවිධානමය හෝ වෘත්තීම ය, භාෂාම ය භේදයකින් තොරව සහභාගීවෙන ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය දිවයින පුරා විසිරී සේවය කරන මාධ්‍යවේදීන්ගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටී.

රටේ ම ජනතාව විසින් ජනපීඩාකාරී රජයට එරෙහිව සංවිධානයකර ඇති ජනඅරගල සහයෝගිතා පාගමනට සහභාගීවීමට මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ද ගෞරවයෙන් ආරාධනයකර සිටී. එසේම සිය මාධ්‍ය ආයතන තුළ සේවය කරන සියළු මාධ්‍යවේදීන්, මාධ්‍යවේදිනියන්හට මේ පාගමන සඳහා සහභාගීවීමට අවසර ලබාදෙමින්, ඔවුන් එදින පස්වරුවේ සේවයෙන් මුදාහැරීමට කටයුතු කරන ලෙස ද මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.    

විශ්වාසී,

ධර්‍මසිරි ලංකාපේලි

ප්‍රධාන ලේකම්

 

ඔබට ගැටළු තිබේද?
අපව අමතන්න,
නැත්නම් පැමිණෙන්න.

+[94] 773 641 111

අංක 30,
අමරසේකර මාවත,
කොළඹ 05.
ශ්‍රී ලංකාව.

info@fmetu.org

Newsletter

Get latest news & update

© 2021 – FMETU. All rights reserved.

Carefully crafted by Cyber Ceylon