මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනසක් වෙනුවෙන් අරගල කළ, ඒ වෙනස වෙනුවෙන්ම රජයන් වෙනස් කළ, නව යුගයක් පතන මොහොතක ඒ වෙනස වෙනුවෙන් ජීවිත අහිමි කරගත්, පහරකෑමට ලක් වූ, කතා කිරීමේ අයිතිය වෙනුවෙන් නොයෙකුත් වධහිංසාවන්ට ලක් වූ අපේම මිනිසුන් කෙසේ අමතක කරන්නද?

කළු ජනවාරි සැමරුමට එන ලෙස මෙරට මාධ්‍යවේදීන්ට මෙන්ම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපේක්ෂා කරන හැමදෙනාට ම ආරාධනා කරන්නේ ඒ නිසයි.

වෙනසක් පැතීමට හෝ වෙනසක් වෙනුවෙන් හඬ නැගීමට තහංචි වැටුණු යුගයන්හිදී හඬනගා කතා කරන්නට තරම් ඔවුන් නිර්‍භය වුණා. වෙනස්කම් අත්පත් කරගන්නා මොහොතක ඒ නිර් භීත මිනිසුන්ට අපෙන් යුතුකම් ඉටු විය යුතුයි.

කළු ජනවාරිය! ඒ කැපකිරීම් කළ මිනිසුන් වෙනුවෙන් වෙන් කරන ලද මාසය. ශ්‍රී ලාංකික ජනමාධ්‍ය සමාජය ඝාතනය වූ, අතුරුදන් වූ, පහර කෑ, වධහිංසාවන්ට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉල්ලන මාසයයි.

මෙය කීත් නොයාර්, ලසන්ත වික්‍රමතුංග යනාදී මාධ්‍යවේදීන් ගණනාවකට එරෙහිව සිදු කළ අපරාධවලට අදාල නඩු පැවරීම්වලට පසුබිම සැකසී තිබෙන මොහොතක්. ප්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳ නඩුව බාධා නැතිව ඉදිරියට යනු ඇතැයි විශ්වාස කළ හැකි සමයක්.

පෝද්දල ජයන්ත, සුගීර්දරාජන්, සිවරාම් ඇතුළු සිදුවීම් ගණනාවක කල් ඇදුණු විමර්‍ශන ඉදිරියට ඇදෙනු ඇතැයි විශ්වාස කළ හැකි කාලයක්. බිහිසුණු ගණයේ මාධ්‍ය මර්‍ධනයන් බොහොමයක් අතීතයට එක් වූ කාලයක්. එවැනි මොහොතක මේ යුගය උදා කරගැනීම වෙනුවෙන් මර්‍ධනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා සිටීම වෙනුවෙන් මෙවර කළු ජනවාරි සැමරුම ජනවාරි 30 වැනිදා සවස 5.30ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙනවා.

එලෙස අතීතයේදී ඇදවැටුණු මාධ්‍යවේදීන් සිහිපත් කිරීමට මෙන්ම වත්මනෙහි රාජකාරියේ යෙදී සිටින මාධ්‍යවේදීන්ට ගිවිසුම්, වැටුප් සහ අනෙකුත් වෘත්තිය අයිතිවාසිකම් ලබාගැනීමට මෙන්ම ප්‍රකාශන නිදහසට බාධා කරන නීතිරීති ඇතුළු බාධා ඉවත් කරගැනීමද කළු ජනවාරි සැමරුමේදී අපි අපේක්ෂා කරන්නෙමු.

2004 සිට 2014 දක්වා ඝාතනය වූ හෝ අතුරුදන් කළ මාධ්‍යවේදීන් 13 කගේ නම් මෙහි දැක්වේ.

අයියාතුරේ ජී. නඬේසන් – 2004. 05. 31

කන්දසාමි අයියර් බාලනඩරාජ් – 2004 අගෝ. 16

ධර්මරත්නම් සිවරාම් – 2005 අපේ‍්‍රල් 28

රේලන්ගී සෙල්වරාජා -2005 අගෝස්තු 12

සුබ‍්‍රමනියම් සුගීර්දරාජන් – 2006 ජනවාරි 24

සම්පත් ලක්මාල් ද සිල්වා – 2006 ජූලි 02

සුබ‍්‍රමනියම් රාමචන්ද්‍රන් – 2007 පෙබරවාරි 15 (අතුරුදහන්)

සුභාෂ් චන්ද්‍රබෝස් – 2007 අපේ‍්‍රල් 16 – වව්නියාව

සෙල්වරාසා රජීව්වර්මන් – 2007 අපේ‍්‍රල් 29

සහදේවන් නිලක්‍ෂන් – 2007 අගෝ. 01

පරණිරූපසිංහම් දේවකුමාර් – 2008 මැයි 28

ලසන්ත වික‍්‍රමතුංග – 2009 ජනවාරි 08

ප‍්‍රගීත් එක්නැලිගොඩ – 2010 ජනවාරි 24 – (අතුරුදහන්)

බරපතල ප‍්‍රහාර/පැහැරගැනීම්වලට ලක්වූ මාධ්‍යවේදීන්

ලාල් හේමන්ත මාවලගේ – ප‍්‍රහාර – 2007. 01. 26

ටී.එම්.ජී චන්ද්‍රසේකර – පහරදීම – 2007. 12. 27

රධිකා දේවකුමාර් – වෙඩි තැබීම – 2008. 03. 07

කීත් නොයාර් – පැහැර ගැනීම හා ප‍්‍රහාර -2008 මැයි

නාමල් පෙරේරා – ප‍්‍රහාර – 2008. 06. 30

උපාලි තෙන්නකෝන් – ප‍්‍රහාර – 2009. 01. 23

නඬේසපිල්ලේ විද්‍යාදරන් – පැහැර ගැනීම- 2009.2.26

පෝද්දල ජයන්ත – පැහැර ගැනීම හා ප‍්‍රහාර – 2009. 06. 01

ක්‍රිෂ්ණි ඉෆාම් – පැහැර ගැනීම  – 2009. 06. 24

ඥාණසුන්දරම් කුගනාදන් – ප‍්‍රහාර – 2011 ජූලි 29

මන්දනා ස්මයිල්ට තර්ජනය කරමින් ලිපි ගොනු සෙවීම – 2013. 08. 24

ප‍්‍රහාරවලට ලක් වූ මාධ්‍ය ආයතන

සුඩර්ඔලි පුවත්පත – 2005. 08. 29, 2005. 09. 29 අත්බෝම්බ දමා ගැසීම

උදයන් පුවත්පත – 2006. 05. 02, 2013. 03. 13 ඇතුලූ බරපතල ප‍්‍රහාර කිහිපයක්

සිරස මැදිරි සංකීර්ණ විනාශ කිරීම – 2009 ජනවාරි 8

සියත ප‍්‍රහාරය – 2011 ජූලි 30

ඊ නිවුස් ගිනිතැබීම – 2011. 01. 11 සහ තවත් හිරිහැර කිරීම්

එලෙස අතීතයේදී ඇදවැටුණු මාධ්‍යවේදීන් සිහිපත් කිරීමට මෙන්ම වත්මනෙහි රාජකාරියේ යෙදී සිටින මාධ්‍යවේදීන්ට ගිවිසුම්, වැටුප් සහ අනෙකුත් වෘත්තිය අයිතිවාසිකම් ලබාගැනීමට මෙන්ම ප්‍රකාශන නිදහසට බාධා කරන නීතිරීති ඇතුළු බාධා ඉවත් කරගැනීමද කළු ජනවාරි සැමරුමේදී අපි අපේක්ෂා කරන්නෙමු.

එහිදී මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්‍මසිරි ලංකාපේලි කළු ජනවාරියේ ඉතිහාස කතාව සිහිපත් කරනු ඇති. තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මාධ්‍යවේදීන්ගේ අනාගතය වෙනුවෙන් අදහස් දක්වනු ඇති. අතීතයේ ඇදවැටුණු මාධ්‍යවේදීන් සිහිපත් කිරීම පමණක් නොව, දැන් රාජකාරියේ යෙදෙන මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරැකීමත් වෙනුවෙන් අපි පෙළගැසිය යුතුයි. වැටුප් අයිතිය, නිසි සේවක ගිවිසුම් උදෙසා අයිතිය මෙන්ම වෘත්තිය ගරුත්වය සහ ප්‍රමිතිය වෙනුවෙන් මාධ්‍ය සමාජය හඬ නැගිය යුතුයි. ඒ අයිතීන් ගැන එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනි නීතිඥ ස්වස්තිකා අරුලිංගම් අදහස් දක්වනු ඇති.

අලුත් ජනමාධ්‍ය යුගයක් ඇරඹීම සඳහා සියලු මාධ්‍යදීන් එකාවන්ව පෙළගැසිය යුතු කාලයක්. මාධ්‍ය සමාජය වෙනුවෙන් සමස්ත සමාජයම පෙළගැසිය යුතු කාලයක්.

ජනවාරි 30 වැනිදා සවස 5.30ට කොටුව දුම්රිය ස්ථානයට එන්න.

 

තරිඳු උඩුවරගෙදර

ජාතික සංවිධායක,

මාධ්‍ය සේවක වාත්තීය සමිති සම්මේලනය