බිඟුන් මේනක ගමගේ සහ චාමර සම්පත් විසිනි
මහජනතාවට අවශ්‍ය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව සාධාරණ මිලට සපයාදීමේ අරමුණෙන් 2021 ජුනි 7 වැනිදා ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබිණ. වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන හා වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන දෙපළ එක්ව ඉදිරිපත් කර තිබූ මෙම කැබිනට් යෝජනාවෙන් ඔවුන් ඉලක්ක කර තිබුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හා පෞද්ගලික පර්යන්තවල අත්හැර දමා ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා ශ්‍රී ලංකා රේගුවෙන් රාජසන්තක කෙරුණු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගය.
එනම් එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අදාළ ආයතන වෙන්දේසි කිරීමකින් තොරව ලංකා සතොස ආයතනයට මිලට ගැනීමටය. එම කැබිනට් පත්‍රිකාවට අනුව නම් වසංගත තත්ත්වය තුළ පවා මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීමේ ක්‍රමයක් ලක් සතොස විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙම ආහාර ද්‍රව්‍ය තොග ලබාගැනීමට අපේක්ෂා කරන්නේ එම ක්‍රමය සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහාය. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ 2.1ට අනුව මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් තීරණය කිරීමේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටෙන්ඩර් මණ්ඩලය විසින් ලංකා සතොස ආයතනයේ නියෝජිතයන් සමග සාකච්ඡා කරන අතර ඊට සමගාමීව අනෙකුත් තත්ත්ව පරීක්ෂණ වාර්තා හා අනුමැතින් ලබා ගත යුතුය.
ලංකා සතොසෙන් එකඟ වන මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ගෙවිය යුතු අතර එවිට රේගු ගාස්තු පියවීමට යටත්ව අදාළ භාණ්ඩ රේගුවෙන් නිදහස් කෙරේ. මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට 2021.06.07 වැනිදා අමාත්‍යවරුන් දෙපළගේ ප්‍රධානත්වයෙන් වරාය අධිකාරියේ හා රේගු දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවක අදහස් ද සැලකිල්ලට ගෙන තිබිණි. ඒ අනුව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ ප්‍රනාන්දු මහතාගේ අස්සනින් යුතුව ඊට අනුමැතිය ලබාදෙන ලිපිය යොමුකරන තිබුණේ 2021 ජුනි 8 දාතමයෙන් යුතුවය.
ලොක්කන්ගේ අස්සන් සහිත ලිපි හුවමාරුව
විවාදයට තුඩු දී ඇති සුදු ලූනු නැව වරායට සේන්දු වන්නේ මේ අතරේ ය.
ආනයනය කළ සමාගම පවසන ආකාරයට එහි අගය රුපියල් කෝටි දෙකක් පමණ වේ. විදේශ විනිමය හිඟය මත ආනයනික භාණ්ඩ නිශ්කාශනය කරගැනීමේ අර්බුදය නිසා මෙම සුදු ලූනු තොගයට සිදුවන්නේ ද වරායේ හිරවීමටය. වරාය හා ලක් සතොස එකඟ වූ වැඩපිළිවෙලට මෙම සුදු ලූනු තොගය ද වැටෙන්නේ ඉන්පසුවය.
එකඟතාව අනුව වරාය අධිකාරියෙන් මෙම සුදු ලූනු තොගය ගැන 2021.09.07 වැනිදා ලක් සතොසට දන්වා ඇති අතර තත්ත්ව පරීක්ෂකවරුන් විසින් එය පරීක්ෂාවට ලක්කරනු ලැබ තිබේ. ජූලි 14 වැනිදා වරායට සේන්දු වූ කන්ටේනර් දෙකක අඩංගු සුදු ලූනු කිලෝග්‍රෑම් 56 000 ක මෙම තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බවට එහිදී සහතික කර ඇත.
මෙහිදී වැදගත්ම කරුණ වන්නේ ලක් සතොස අභ්‍යන්තර ලේඛනවලට අනුව මේ සුදු ලූනු තොග තත්ත්ව පරීක්ෂාවේ නිගමන හා නිර්දේශ ගැන අදහස් හුවමාරුවක් එහි ඉහළ නිලධාරින් අතර සිදු වී තිබේ. තත්ත්ව පරීක්ෂාවේ නිගමන හා නිර්දේශ සහිතව සහකාර කළමනාකාර(තත්ත්ව සහතික) දුලාංජි රන්දෙනිවල විසින් ජ්‍යෙෂ්ඨ කළමණාකරු(තත්ත්ව සහතික) චමිල බොතේජු හරහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ප්‍රසම්පාදන) චමිල අසුරමාන මෙනෙවිය හා ජ්‍යෙෂ්ඨ කළමණාකාර(සැපයුම්) ආර්.එස් ප්‍රනාන්දු වෙත යොමු කළ ලිපිය ඊට සාක්ෂි දරයි.
ඉන්පසුව 2021 සැප්තැම්බර් 09 දාතමයෙන් යුතුව ජ්‍යෙෂ්ඨ කලමණාකරු (සැපයුම්) ආර්.එස් ප්‍රනාන්දු විසින් යොමු කරන ලද ලිපියකින් පැවැසෙන්නේ සාකච්ඡා කරගත් පරිදි රුපියල් 135.00 ක් ලෙස වැඩිම මිල ගණන් ඉදිරිපත් කර තිබූ සමාගමට සුදු ලූනු තොගය ලබාදීමට තීරණය කරන ලද බවයි. එම ලිපියේ දැක්වෙන පරිදි පිළිවෙලින් රුපියල් 125.00 හා 128.00 යන ගැනුම් මිල තවත් සමාගම් විසින් ඉදිරිපත් කර තිබිණ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ප්‍රසම්පාදන) චමිල අසුරමාන මෙනෙවිය හරහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිරි පෙරේරා හට යොමු කර තිබූ මෙම ලිපියේ පිටපත් ප්‍රධාන විධායක නිලධාරි රංජිත් ජී රූබසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ටී.ඩී කුලතුංග හා ජ්‍යෙෂ්ඨ කළමණාකරු (ප්‍රසම්පාදන) ලක්ෂ්මන් කුමාර යන අයට යොමුකර ඇතැයි ද සඳහන් වේ.
කෙසේ වෙතත් මේ ගනුදෙනුව ගැන රට තුළ කතාබහක් ඇතිවූයේ පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන එයින් දින කීපයකට පසු දැක් වූ අදහස් සමගය.
“සැප්තැම්බර් 9 උදේ මට ලංකා සතොසෙන් කෝල් එකක් ආවා. එතකොට මම සභාපතිවරයාත් සමග හිටියේ. වැලිසර තොග ගබඩාවකින් සුදු ලූණු කිලෝ පනස් දාහකට වැඩි තොගයක් පන්නන වැඩක් යනවා කියල තමයි තොරතුර ලැබුණේ. මම ඒ වෙලාවෙම අපේ ටීම් එකක් එතැනට යවලා ඒ වැඬේට අදාළ ලේඛනවල ඡායාරූප ගන්න උපදෙස් දුන්නා. මොකද තොරතුරට අනුව එතැන වෙමින් තිබුණේ කලින් දවසෙ හොර රහසේ ව්‍යාපාරිකයකුට සුදු ලූණු කන්ටේනර් දෙකක් මුදාහැරලා ඒකට අදාළ ව්‍යාජ ලේඛන සැකැසීමක්. ඒ සඳහා ගිහින් තිබුණෙත් ලංකා සතොසෙ හෙඞ් ඔෆිස් එකෙන්. මේ ලූනු තොගය තිබුණේ මහජනතාවට විකුණන්නයි. මොකද දැන් තොග විකුණන්නැතිව මහජන අවශ්‍යතාවට සිල්ලරට දෙන්න කියලා කැබිනට් තීරණයක් තිබෙනවා. මෙතන බරපතලම කාරණය වුණේ කිලෝව රුපියල් 135 ගානේ බිල්පත් කිසිවක් නිකුත් කරන්නේ නැතිව තොග වෙළෙන්දට විකුණලා රුපියල් ලක්ෂ 73ක් සල්ලි අරගෙන. එහෙම කරන්න උපදෙස් දීලා තිබෙන්නේ සතොසෙ ප්‍රධාන කාර්යාලයේ කෙනෙක්. සල්ලි අරගෙන සේප්පුවේ දාලා. ”
තුෂාන් ගුණවර්ධන මහතා පවසන ආකාරයට මෙම අයථා ගනුදෙනුව ගැන මුල්වරට ඔත්තුවක් ලැබී තිබුණේ ඔහුටය. එමෙන්ම අදාළ වැටලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලබාගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වී යැයි ද ඔහු කීවේය. මෙවැනි ගනුදෙනුවක් ඉහළ කළමනාකාරිත්වය නොදැන සිදුවීමට නොහැකි යැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා කළ ප්‍රකාශයෙන් පසුව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා හා ලක් සතොස ඉහළ කළමනාකාරිත්වය එය ප්‍රතික්ෂේප කරන්නට විය. ඇමැතිවරයා මේ සියල්ලට කලබල වූයේ අඩුම තරමින් මූලික විමර්ශනයක්වත් නොකර වීම විශේෂ කරුණකි.
සිදුවීම ගැන මාධ්‍ය වාර්තා සමග ලක් සතොසේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිරි පෙරේරා ඇතු`ඵ සිව් දෙනෙක් සැප්තැම්බර් 13 වැනිදා වැඩ තහනමට ලක්වූහ. එයින් දින තුනකට පසු 16 වැනිදා සුසිරි පෙරේරා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ්භාරයට පත් කෙරිණි. වැඩිම මිල ගණන් ඉදිරිපත් කර තිබූ සමාගමට සුදු ලූනු තොගය ලබාදීමට තීරණය කළ බවට ලිපිය යොමු කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ කලමණාකරු (සැපයුම්) ආර්.එස් ප්‍රනාන්දු විසිනි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිරි පෙරේරා හට මෙම ලිපිය යොමු කර තිබුණේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ප්‍රසම්පාදන) චමිල අසුරමාන මෙනෙවිය හරහාය. ප්‍රධාන විධායක නිලධාරි රංජිත් ජී රූබසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ටී.ඩී කුලතුංග හා ජ්‍යෙෂ්ඨ කළමණාකරු (ප්‍රසම්පාදන) ලක්ෂ්මන් කුමාර යන අයට එම ලිපිය පිටපත් කළේ යැයි එහිම සඳහන් වේ.
එමෙන්ම සුදු ලූනු ගනුදෙනුවට අදාළව තත්ත්ව පරීක්ෂාවේ නිගමන හා නිර්දේශ සහිතව සහකාර කළමනාකාර(තත්ත්ව සහතික) දුලාංජි රන්දෙනිවල විසින් සැප්තැම්බර් 7 වැනිදා යොමුකරන ලද ලිපිය ලක් සතොස සභාපති ආනන්ද පීරිස්ට ද පිටපත් කර ඇත. ඒ අනුව සුදු ලූනු ගනුදෙනුව සම්බන්ධයෙන් මූලික අදියරේ සිට සන්නිවේදනයක් වී නැතැයි කාටවත් කිව නොහැකිය. එහෙත් විමර්ශන ක්‍රියාවලිය අවසන්වීමටත් පෙර ආරම්භයේ සිටම වෙළෙඳ ඇමැතිවරයා මහත් පරිශ්‍රමයක් දැරුවේ ලක් සතොස ඉහළ කළමනාකාරිත්වය මෙයට සම්බන්ධ නැති බවක් කියාපෑමටය. එහෙත් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ලිපි ගනුදෙනුවේ තිදෙනකුම අත්අඩංගුවට ගෙන තිබේ. ලියුම්කරුවන් මේ කරුණ මුල සිටම අවධාරණය කළ ද ඉන්පසුව ලක් සතොස සභාපතිවරයා කියා සිටියේ ඉහළ කළමනාකාරිත්වය යන යෙදුම මාධ්‍ය විසින් වැරැදියට භාවිත කරනු ලැබූ බවය. ඇමැතිවරයාගේ කලබල නිගමනය වැරැදි බවට මේ මූලික සන්නිවේදන කටයුතු පමණක් ප්‍රමාණවත්ය.
සභාපතිවරයාගේ කතාවෙන් හෙළි වන අභ්‍යන්තර අවුල
“ඕක වෙලා තිබුණේ සිකුරාදා. ඊට කලින් අඟහරුවාදා සිට සතියක් මම හිටියෙ කොළඹින් පිටත. මට මේල් ආවා තියා මුකුත් මම දන්නේ නෑ. මට මේල් බලන්න වෙලාවක් නෑ. මම සතොසවල් හොය හොයා ලංකාව වටේ ගියා. මේල් එකක් ආව පලියට සමහරු කියවන්නත් ඉඩ තියෙනවා. සමහරු නොකියවන්නත් ඉඩ තියෙනවා. අංක එක මට අවස්ථාව තිබුණෙ නැති නිසා මම කියෙව්වේ නෑ. ඊළඟට මම දුරකථනයකින් වෙන වැඩකට කතා කරද්දි මට ඔය ආරංචිය ආවා. ඇත්ත කියන්න එපැයි. මට ඕක ආරංචි වුණා. මට සිකුරාදා හෝ සෙනසුරාදා එස්.එම්.එස් එකක් ආවා. දැනට වැඩ තහනම් වෙලා ඉන්න එක නිලධාරියෙක් වෙන වැඩකට මට කතා කළාම ඔයිට කලින් ඔය ගැන කිව්වා. එයාට ඒකට විශේෂිත වූ උපදෙස් මම දීලා තිබියදී තමයි මේක වෙලා තියෙන්නේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිරි පෙරේරාට ඉහළින් ඉන්නෙ මමයි විධායක අධ්‍යක්ෂවරයායි විතරයි. පොලිසියෙන් අහන්න අපි දෙන්නගෙ සම්බන්දෙ මොකක්ද කියලා..”
ලක් සතොස සභාපතිවරයා පවසන්නේ සැප්තැම්බර් 7 වැනිදා සිට 14 වැනිදා දක්වා තමා කොළඹින් පිටත සිටි නිසා ඊමේල් පරීක්ෂා කිරීමට ප්‍රායෝගිකව අපහසු වූ බවකි. සුදු ලූනු ගනුදෙනුවට අදාළව තත්ත්ව පරීක්ෂාවේ නිගමන හා නිර්දේශ සහිත ලිපියක් සහකාර කළමනාකාර(තත්ත්ව සහතික) දුලාංජි රන්දෙනිවල විසින් සභාපතිවරයා ඇතුළු කළමනාකාරිත්වයට යොමුකරනු ලැබුවේ ද හරියටම එදිනමය. අන් කිසිවක්ම අවශ්‍ය නැත. රාජ්‍ය ආයතනයක සභාපතිවරයකුට සිය රාජකාරි ලිපි පරීක්ෂා කිරීමට විද්‍යුත් තැපෑල පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව දුෂ්කර නම් එතැනම ඇත්තේ විශාල අවුලකි. ආනන්ද පිරීස් මහතාගේ පිළිතුර තුළම ඇත්තේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයකුගේ කාර්යභාරය ප්‍රශ්න කිරීමකි. විමර්ශනය අවසන් කිරීමට පෙර සිටම ලක් සතොසේ ඉහළ කළමනාකාරිත්වය බේරාගැනීමට සටන් වැදුණු වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉතාම කදිම තැනකට මේ විවාදය ගෙන ආවේය. ඇමැතිවරයා කියන්නට උත්සාහ කළේ ලක් සතොස සභාපතිවරයා හා ප්‍රධාන විධායක නිලධාරිවරයාට මීට අදාළව යොමු කළ ඊමේල් පණිවුඩ යවා තිබුණේ ඔවුන් භාවිත නොකරන ඊමේල් ලිපිනයකට කියාය. ඇමැතිවරයා නිලධාරින් බේරාගැනීමට ඉදිරිපත් කරන මේ විත්තිවාචකයෙන් හෙළිදරව් වෙන්නේ සුදු ලූනුවලටත් වඩා ලොකු අවුලකි.
ඩිජිටල් ආණ්ඩුකරණය..
වෙළෙඳ ඇමැතිවරයා නොදැන සිටියාට ආණ්ඩුකරයේදී විද්‍යුත් තැපෑල භාවිතය ඇතු`ඵ ඩිජිටල් තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබේ. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් ‘රාජ්‍ය අංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති සහ කාර්ය පටිපාටි’ මැයෙන් 2010 මැයි 31 නිකුත් කරන ලද චක්‍රලේඛයෙන් ඊට අදාළ නියෝග නිකුත් කර තිබේ. ඊට අනුව සෑම රජයේ ආයතනයක්ම තම වාර්ෂික අයවැය මගින් ආයතනයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රසම්පාදන කටයුතු සහ ආයතනයේ පවතින තොරතුරු සන්නිවේදන තාක්ෂණ උපකරණ, පද්ධති සහ ජාලනඩත්තුව සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගත යුතුය. එම කාර්ය පටිපාටි අනුව සියලුම රජයේ ආයතන නිල සන්නිවේදන කටයුතු සඳහා ඊමේල් භාවිතය අනිවාර්ය වනු ඇත. එමෙන්ම මෙම ඉ- රාජ්‍ය ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සවිස්තරාත්මකව සංග්‍රහ කර තිබේ. දැන් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා හා ලක් සතොස ඉහළ කළමනාකාරිත්වය කුප්‍රකට තර්ක ඉදිරිපත් කරමින් ඇඟ බේරාගැනීමට හදන්නේ මෙම රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන අබමල් රේණුවක දැනුවත්භාවයකින් තොරව බව පෙනේ.
එහෙත් එයින් සිදුවන්නේ එකක් කඩතොලු වසාගැනීමට ගොස් සියක් කඩතොලු හදාගැනීමක් බව පැහැදිලිය.
තොරතුරු නිලධාරියෙක් නැති ලක් සතොස..
ඩිජිටල් ආණ්ඩුකරණයට අදාළව ලක් සතොස හා වෙළෙඳ ඇමැතිවරයා ඉදිරිපත් කරන තර්ක පදනමකින් තොර බවත් සත්‍යයෙන් තොර බවත් ලියුම්කරුවන්ටම ඔප්පු කළ හැකිය. ඒ මෙසේය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හා පෞද්ගලික පර්යන්තවල අත්හැර දමා ඇති සහ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර ඇති අත්‍යවශ්‍ය ආහාර වෙන්දේසි කිරීමකින් තොරව ලංකා සතොස වෙත ලබාදීම යටතේ ලංකා සතොස ලබාගත් ආහාර ද්‍රව්‍ය හා ඒවායේ ප්‍රමාණ හා මිල ගණන් අන්තර්ගත ලේඛනය, ඒවා බෙදාහැරි ලංකා සතොස ශාඛා හා ප්‍රමාණ මිල ගණන්, එසේ නොකොට තොග වෙළෙඳුන්ට අළෙවි කළේ නම් ඊට අදාළ මිල ප්‍රමාණ ඇතුලත් ලේඛන යන තොරතුරු පනත යටතේ ලබාගැනීමට ලියුම්කරුවන් උත්සාහ කළේ සැප්තැම්බර් 26 වැනිදාය.
එහෙත් ලක් සතොස වෙබ් අඩවියේ ඒ සඳහා තොරතුරු නිලධාරියකුගේ හෝ ඊට අදාළ සම්බන්ධ කරගැනීමේ දුරකථන අංකයක් සඳහන් නොවීය. එහි ඇමතුම් යනුවෙන් සඳහන් 1998 අංකයට සම්බන්ධ වූ විට එය නිවෙස් වෙත භාණ්ඩ බෙදාහැරීම සඳහා සකස් කළ ක්‍රමයක් යැයි පැවැසිණි.
ඉන්පසුව ලියුම්කරුවන් කළේ අදාළ තොරතුරු අයැදුම ලක් සතොස විෂය බාර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට යොමු කිරීමය. එම නිලධාරියා ඊට පසුදිනම අදාළ තොරතුරු ලබාදෙන්නැයි සඳහනකින් යුතුව ලක් සතොස සභාපතිවරයාගේ හා ප්‍රධාන විධායක නිලධාරියාගේ ඊමේල් ලිපිනයන්ට යොමුකර ලියුම්කරුවන් වෙතද පිටපතක් එවා තිබිණි.
එහෙත් තොරතුරු පනත ප්‍රකාරව ලක් සතොස පැත්තෙන් ලියුම්කරුවන්ට කිසිදු දැනුවත්කිරීමක් නොවූයෙන් ඔක්තෝබර් 5 වැනිදා සවස 3.36ට එහි සභාපති ආනන්ද පීරිස් මහතාගෙන් ඒ ගැන දුරකථනයෙන් විමසුවෙමු. ඔහුගේ පිළිතුර වූයේ තමාට ඊමේල් පණිවුඩ පරීක්ෂා කිරීමට නොහැකි වූ බවය. ඒ අනුව සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 5 වැනිදා දක්වා දින නවයක් යනතුරු ලක් සතොස සභාපතිවරයා සිය නිල පණිවුඩ පරීක්ෂා කර නැත. සුදු ලූනු ගනුදෙනුව ගැන පැත්තකින් තබන්න. වෙළෙඳ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදීත් ජනමාධ්‍ය හමුවේදීත් ඉදිරියට පැන ආරක්ෂා කරන්නට හදන්නේ මෙවැනි සභාපතිවරයෙකි. එපමණක් ද නොවේ.
සභාපති ආනන්ද පීරිස් එම ඇමතුමේදී වැඩිදුරටත් පැවසුවේ ලක් සතොසට තොරතුරු නිලධාරියකු ඒ වනවිටත් පත්කර නැති බවයි. තොරතුරු පනතේ 23(1) (අ) අනුව පනතේ විධිවිධාන බලාත්මක කිරීමේ කාර්ය සඳහා, සෑම පොදු අධිකාරියක් විසින්ම මේ පනත ක්‍රියාත්මක වීමෙන් මාස තුනක් ඇතුළත එම පොදු අධිකාරියේ තොරතුරු නිලධරයන් වශයෙන් නිලධරයන් එක් අයකු හෝ ඊට වැඩි ගණනක් සහ අභියාචනා විභාග කිරීම සඳහා නම් කළ නිලධරයකු පත්කරනු ලැබිය යුතුය. එහිම (ආ) වගන්තිය පවසන්නේ එසේ තොරතුරු නිලධාරියකු පත්කරනු ලබන තෙක් පොදු අධිකාරියක ප්‍රධානියා හෝ ප්‍රධාන විධායක නිලධාරියා මේ පනතේ කාර්ය සඳහා එම පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියා ලෙස සලකනු ලැබිය යුතු බවය. එහෙත් මේ වගකීම් එපරිද්දෙන් ලක් සතොසට අදාළව ඉටු වී නැත.
විමසීමෙන් පසුව තොරතුරු අයැදුමක් මගින් ඒ බව තමාට සිහි කළාට ලියුම්කරුවන්ට ස්තුති කළ හෙතෙම පැය බාගයක් ඇතුළත නැවතත් ඇමතුමක් ගෙන දැනුම්දුන්නේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ( නීති) සුගත් ඒ සඳහා පත්කළ බවත් ඔහුගෙන් මේ තොරතුරු ලබාගන්නා ලෙසත්ය. ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුගත් මහතා දුරකථනයට සම්බන්ධ කරගත් පසු ඒ ගැන සොයාබැලීමට කෙටි කාලයක් ඉල්ලා ගත් අතර පසුගිය 9 වැනිදා නැවතත් ඔහුගෙන් තොරතුරු අයැදුම ගැන විමසුවෙමු. එහිදී ඔහු පැවසුවේ තොරතුරු නිලධාරියා හැටියට කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු(මෙහෙයුම්) සන්ජීව් බැවින් ඔහුගෙන් වැඩිදුර තොරතුරු ලබාගන්නා හැටියටයි. එහෙත් පසුගිය 22 වැනිදා ඔහුගෙන් කළ විමසීමේදී පැහැදිලි වූයේ ඔහුට ද තමා තොරතුරු නිලධාරියාදැයි විශ්වාසයක් නැති බවය. “මාව පත්කළා වගේ මතකයි. ලියුම් වගයක් නම් තිබුණා. මම බලන්නම්” යැයි කී ඔහුට ලියුම්කරුවන් මතක් කළේ තොරතුරු අයැදුම යොමුකළේ විද්‍යුත් ලිපිනයෙන් බවයි.
තොරතුරු දැනගැනීමේ පනත අනුව වැඩ කරන දින 14ක් ඇතුළත තොරතුරු දෙන්නේද නැද්ද යන්න ඔක්තෝබර් 14 වැනි දින වනවිට දැනුම් දිය යුතු වුවත් අදටත් එවැනි දැනුම්දීමක් කිරීමට ලක් සතොසට හැකි වී නැත. ඒ අනුව පනත ප්‍රකාරව ලක් සතොස සභාපතිවරයාට මෙම තත්ත්වය ගැන අභියාවනයක් යොමුකිරීමට ලියුම්කරුවෝ කටයුතු කර ඇත. මෙයින් හෙළිවන්නේ ලක් සතොසේ ඉහළ කලමනාකාරිත්වය අතරේ පරිපාලන තීන්දු සම්බන්ධයෙන් නිවැරැදි අභ්‍යන්තර සන්නිවේදනයක්වත් නැති බවයි. කොවිඞ් වසංගතය සමග රාජ්‍ය මට්ටමින් සමස්ත සමාජය දිරිමත් කරමින් තිබෙන්නේ මාර්ගගත ක්‍රම ඇතු`ඵ ඩිජිටල් තාක්ෂණයේ උපරිම භාවිතයෙන් ඵලදායිතාව ළඟා කරගැනීමටය.
එවැනි පරිසරයක ලක් සතොස කළමනාකාරිත්වය ක්‍රියා කරන්නේ තවමත් 19 වැනි සියවසේය. ලක් සතොසේ මේ සන්නිවේදනයෙන් පමණක් වුව එහි ඉහළ පරිපාලන අවුල ගැන අපට සිතාගත හැකිය. අනෙක් අතට මෙම වංචාවට අදාළව අත්‍යවශ්‍යම තොරතුරු සම්භාරය මුදාහැරීම කල්මරන්නේ ඒවා විනාශ කිරීමේ අරමුණෙන්දැයි යන සාධාරණ පැනය මේ හමුවේ පැන නගී. වඩා බරපතල කරුණ එයයි.
වෙළෙඳ ඇමැතිවරයා රකින්නට තතනන මේ ඉහළ කළමනාකාරිත්වය ගැන දැන් කියන්නේ කුමක්ද? සුදු ලූනු ගනුදෙනුවට අදාළ තොරතුරු සන්නිවේදනය මින් වෙනස් වී යැයි කියන්නට වෙළෙඳ ඇමැතිවරයා තවදුරටත් කලබල වන්නේද?
මෙම අත්‍යවශ්‍ය අහාර තොග මිලදීගැනීමේ තීන්දු ගත් කළමනාකාරිත්වය තනතුරුවල තබාගනිමින් කෙරෙන විමර්ශනය ස්වාධීන නැතැයි අපි මුල සිටම අවධාරණය කළෙමු. එහෙත් බලධාරින්ගේ පැත්තෙන් වූයේ අප දැක් වූ කරුණු සොයා බලනු වෙනුවට පණිවුඩකරු විවේචනය කිරීමයි. එහෙත් අද වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම අප අවධාරණය කළ කරුණු නිවැරැදි බව ඔප්පු කර තිබේ. වැඩිම මිල ගණන් ඉදිරිපත් කර තිබූ සමාගමට සුදු ලූනු තොගය ලබාදීමට තීරණය කළ බවට ලිපිය යොමු කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ කලමණාකරු (සැපයුම්) ආර්.එස් ප්‍රනාන්දු විසිනි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිරි පෙරේරා හට මෙම ලිපිය යොමු කර තිබුණේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ප්‍රසම්පාදන) චමිල අසුරමාන මෙනෙවිය හරහාය. ප්‍රධාන විධායක නිලධාරි රංජිත් ජී රූබසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ටී.ඩී කුලතුංග හා ජ්‍යෙෂ්ඨ කළමණාකරු (ප්‍රසම්පාදන) ලක්ෂ්මන් කුමාර යන අයට එම ලිපිය පිටපත් කළේ යැයි එහිම සඳහන් විය.
ආහාර ද්‍රව්‍ය ලක් සතොස ශාඛා මගින් පොදු ජනතාවට අඩු මිලට ලබාදීමට වූ කැබිනට් එකඟතාව කඩවන පරිදි තොග වෙළෙඳාමකට තීන්දුව ගෙන තිබෙන්නේ සැබැවින්ම ඒ අවස්ථාවේය. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරන පරිදි සුදු ලූනු කිලෝවක් සඳහා රුපියල් 30.00ක කොමිස් මුදලක් ලබාගැනීමේ උත්සාහයක් ගෙන තිබේ. ඒ මේ කතාවේ සුදු ලූනු පරිච්ඡේදයයි.
තවමත් සමාජ අවධානය යොමු වී තිබෙන්නේ සුදු ලූනු ගනුදෙනුව ගැන පමණය. ලියුම්කරුවන් එතැනින් ඔබ්බට ගොස් තොරතුරු ඉල්ලා සිටින්නේ ලක් සතොසේ සෙසු ගනුදෙනු ගැනය. ඒ සම්බන්ධයෙන් තවමත් ලක් සතොසේ බලධාරින් අනුගමනය කරන බව පෙනෙන්නේ විනිවිදභාවයෙන් තොර පිළිවෙතකි. සුදු ලූනු පොඩි කිරීමකින් තොරව මේ ගනුදෙනු ගැනත් කඩිනමින් නීතියට අනුව තොරතුරු මුදාහැරීම ලක් සතොස ලොක්කන්ගේ වගකීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම තොරතුරු යනු දැන් මහජන දේපළකි. ඒවා සැඟවීම ද නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.