දිවයින පුරා විසිරී සිටින වෘත්තීය මාධ්‍යවේදීන් සඳහා පොදු ජාතික මධ්‍යස්ථානයක් බිහිකිරීමේ අරමුණින් උතුරු නැගෙනහිර ඇතුළු දිස්ත‍්‍රික්ක ගණනාවක් නියෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගී වූ සාකච්ඡාවක්, 2021 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්විණි. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ මගපෙන්වීම අනුව පසුගිය කාලයේ දිවයිනේ දිස්ත‍්‍රික්ක ගණනාවක ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය සමිති පිහිටුවාලීමට කටයුතු කරනු ලැබීය. එම වෘත්තිය සමිති ලියාපදිංචිය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවට අයදුම්පත් භාරදෙනු ලැබුව ද, එහිදී මතුවූ ප‍්‍රායෝගික අපහසුතා නිසා ලියාපදිංචිය ප‍්‍රමාද විය.

එම ගැටළු සැළකිල්ලට ගනිමින් රටපුරා විසිරී සේවය කරන වෘත්තිය ජනමාධ්‍යවේදීන් සඳහා ජාතික මට්ටමින් පොදු වෘත්තීය සමිතියක් ගොඩනැඟීමේ අරමුණ පෙරදැරිව මෙම සාකච්ඡාව සංවිධානය කෙරුණි. එලෙස ගොඩනඟනු ලබන සංගමය කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව දැනටමත් පිහිටුවා ඇති දිස්ත‍්‍රික් සංගම් එහි ශාඛා සංවිධාන වශයෙන් අනුබද්ධ කිරීම වඩා යෝග්‍ය බැව් බොහෝ දෙනාගේ අදහස විය. මේ සියළු කටයුතුවලදී මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ විධායක කමිටුවේ මගපෙන්වීම හා දායකත්වය ලබාදීමට ඔවුන් මැදිහත් වූහ.

දිස්ත‍්‍රික් ජනමාධ්‍යවේදින්ගේ සංගම්වල නියෝජිතයන්ගේ සභාභාගිත්වයෙන්, සූම් තාක්ෂණය ඔස්සේ 2021 දෙසැම්බර් 11 වෙනි දින ආරම්භ වූ සාකච්ඡාව වෘත්තීය සමිතිය ආරම්භ කිරීමේ මහ සභා රැස්විම ලෙසට පරිවර්තනය විය.

මහා සභා රැස්වීමට සහභාගීවූ සියළුම නියෝජිතයන්ගේ විමසීමෙන් අනතුරුව යෝජනා ස්ථිරත්වයෙන් සංගමය ”ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය” ලෙස නම් කිරීමට තීරණය විය.

එහිදී නව සංගමයේ සභාපතිවරයා ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක, නුවරඑළිය දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ, ඩග්ලස් නානායක්කාර සහෝදරයා තෝරාපත් කරගන්නා ලදී. සංගමයේ ලේකම් ධූරයට, කළුතර දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ බන්දු තඹවිට සහෝදරයා ද, භාණ්ගාරික ධූරයට, මහනුවර දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප‍්‍රදීප් සේනාධීර සහෝදරයා ද, තෝරා පත්කර ගන්නා ලදි.

එසේම ජාතික සංවිධායකවරු වශයෙන්, මඩකලපුව දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ පුණ්‍යමූර්ති ශෂිදරන් සහෝදරයා සහ ත‍්‍රීකුණාමලය දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලක්මාල් වඩුගේ සහෝදරවරු සභාවේ ඒකමතික තීරණය අනුව නම් කෙරුණි.

උප සභාපති ලෙස පත්වූයේ වව්නියාව දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරන එස්. තිව්‍යා සහෝදරිය වන අතර, උප ලේකම් වශයෙන් මොණරාගල දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරන ඉන්දික ගරුසිංහ සහෝදරයා තේරී පත්විය.

විධායක කමිටුව වශයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප‍්‍රියදර්ශනි කරුණාරත්න සහෝදරියත්, ගාල්ල දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අනුරාධ ප‍්‍රියදර්ශන සහෝදරයාත්, රත්නපුර දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ යූ. ඒ. අයි. වීරවර්ධන සහෝදරයාත්, අම්පාර දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සමන් දිසානායක සහෝදරයාත්, කෑගල්ල දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ බණ්ඩාර පහලවත්ත සහෝදරයාත්, ත‍්‍රීකුණාමලය දිස්ත‍්‍රික් වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මනුසංඛ කාරියවසම් සහෝදරයාත්, යෝජනා ස්ථිරත්වයෙන් තෝරා පත් කරගනු ලැබීය.

නිළධාරී මණ්ඩලයේ සියළුදෙනා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ විධායක සභාව නියෝජනය කිරීමද විශේෂත්වයකි.

”ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය” කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ අනුබද්ධ වෘත්තිය සමිතියක් වශයෙන් කටයුතු කිරීමටද තිරණය විය.

රටපුරා දිස්ත‍්‍රික් මට්ටමින් ශාඛා ගොඩනඟමින් දස දෙස විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන් සංවිධානය කිරීමත්, ඔවුන්ගේ වෘත්තිය අයිතිවාසිකම් දිනාදීමත්, වෘත්තීය තත්ත්වය නඟාලීමත්, සංගමයේ එකම අරමුණ බව සභාපති ඩග්ලස් නානායක්කාර සහෝදරයා පැවසූ අතර නව ලේකම්වරයා ඇතුළු කිහිපදෙනෙක් සහභාගී වු සැමට සුභාශිංසන එක් කරමින් කතා කළහ.

සම්පත් ජයලාල්
විධායක සභික,
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය.