පසුගිය 14 වෙනිදා ප‍්‍රකාශයට පත් කරන ලද දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානයේ 2021 වාර්ෂික වාර්තාවට අනුව, මාධ්‍යවේදිනියන් 60 ක් ඇතුළුව 488 ක් ලොව පුරා සිරගෙවල් වල රඳවාගෙන සිටින අතර තවත් 65 ක් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටිති. මේ අතර, 2021 දී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව 46 කි. එය වසර 20 කට පසු වාර්තාවූ අඩුම අගයයි.

දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානය, සිය වාර්ෂික වාර්තාව ප‍්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේ 1995 වසරේදීයි. එතැන් පටන් නිකුත් කළ කිසිදු වාර්තාවක, රඳවාගෙන සිටින මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව මෙවැනි ඉහළ අගයක් ගෙන නොතිබුණි. 2021 දෙසැම්බර් මැද භාගයේදී සිරගතව සිටින මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් ගණන 488 ක් ලෙස වාර්තාවී තිබු අතර එය පෙර වර්ෂයට වඩා 20% වැඩිවීමකි.

අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීමේ සුවිශේෂී වැඩිවීමක් වාර්තාවන්නේ රටවල් තුනකය. එනම් මියන්මාරය, බෙලරුස් සහ චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වූ හොංකොං හීදිය.

දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි 2021 වසර මාධ්‍යවේදිනියන් විශාල සංඛ්‍යාවක් බන්ධනාගාර ගතකර ඇති වසරයි. එය පසුගිය කාලයට වඩා 33% වැඩිවිමක් බව ඔවුන් වාර්තා කරයි. මාධ්‍යවේදීනියන් 60 ක් වන එම සංඛ්‍යාවෙන් 19 ක් රඳවාගෙන ඇත්තේ චීනයයි. ඔවුන් අතර බරපතල ලෙස රෝගාතුරව සිටින, 2021 මාධ්‍ය සම්මානලාභියෙකු වන Zhang Zhan ද සිටිති.

බෙලරුස් දැනට මාධ්‍යවේදීන් 15 ක් සහ මාධ්‍යවේදීනියන් 17 ක් රඳවා ගෙන ඇත. ඒ අතර පෝලන්තය පදනම් කරගත් ස්වාධීන බෙලරුසියානු රූපවාහිනී නාලිකාවක් වන Belsat හි වාර්තාකරුවන් දෙදෙනෙකු ඇතුළත්වේ. Daria Chultsova සහ Katsiaryna Andreyeva යන මාධ්‍යවේදීනියන් දෙදෙනාට අනවසර පෙළපාලියක් සජීවීව ආවරණය කිරීම වෙනුවෙන් වසර දෙකක සිර දඩුවම් නියම කර තිබේ. මියන්මාරයේ රඳවා සිටින මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 53 දෙනාගෙන් 9 දෙනෙකු කාන්තාවන් වේ.

2021 ජනවාරි 1 සිට දෙසැම්බර් 1 දක්වා කාලය තුළ මාධ්‍යවේදීන් 46 ක් ප‍්‍රවෘත්ති ආවරණ කටයුතු හේතුවෙන් ඝාතනයට ලක්වී තිබේ. 2003 වසරෙන් පසු 50 ට අඩු සංඛ්‍යාවක් ඝාතනය වූ වර්ෂය ලෙස 2021 වර්ෂය සැලකේ. එයට බොහෝ දුරට හේතු වී ඇත්තේ සිරියාවේ, ඉරාකයේ සහ යේමනයේ ගැටුම් අඩුවීම සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර හා ජාතික යාන්ත‍්‍රණ ක‍්‍රියාත්මක වීමයි.

මෙම කැපී පෙනෙන පහත වැටීම තුළ වුවත්, සාමාන්‍යයෙන් සතියකට එක් මාධ්‍යවේදියෙකු තවමත් මරා දමනු ලැබේ. 2021 දී ඝාතනය කරන ලද මාධ්‍යවේදීන්ගෙන් 65% ක් හිතාමතාම ඉලක්ක කර ඝාතනය කර ඇති බව තහවුරු කර ඇත. මෙක්සිකෝව සහ ඇෆ්ගනිස්තානය වැඩිම මාධ්‍යවේදීන් ඝාතනය කළ රටවල් දෙක ලෙස සැලකේ. මෙක්සිකෝවේදී මාධ්‍යවේදීන් හත් දෙනෙකු සහ ඇෆ්ගනිස්ථානයෙදි හය දෙනෙකු ඝාතනය කර තිබේ. යේමනය සහ ඉන්දියාව මාධ්‍යවේදීන් හතර දෙනෙකු බැගින් ඝාතනය කර ඇත.

මෙම සංඛ්‍යාවලට අමතරව, 2021 වසරේදි සෞදි අරාබියේ Ali Aboluhom සහ වියට්නාමයේ Pham Chi Dung යන දෙදෙනාටම මෙම වසරේ ලබාදී ඇති දීර්ඝතම සිර දඩුවම වන,15 වසරක සිර දඩුවම නියම විය. කැමරූන් හි Amadou Vamoulké සහ මොරොක්කෝවේ Ali Anouzla හට වසරේ දීර්ඝතම නඩු විභාගය සිදු කරමින් පවති. රඳවාගෙන සිටින වයස්ගතම මාධ්‍යවේදීන් වන්නේ හොංකොං හී Jimmy Lai සහ ඉරානයේ Kayvan Samimi Behbahani වන අතර ඔවුන්ගේ වයස අවුරුදු 74 සහ 73 වේ. ප‍්‍රංශ මාධ්‍යවේදී Olivier Dubois මෙම වසරේ පැහැර ගැනීමට ලක්වූ එකම විදේශීය මාධ්‍යවේදියා විය. අපේ‍්‍රල් 8 වැනිදා සිට ඔහු මාලි රාජ්‍යයේ ප‍්‍රාණ ඇපයට තබා ගෙන ඇත
.
1995 සිට, දේශසීමා රහිත වාර්තාකරුවන් සංවිධානය විසින්, වසරේ ජනවාරි 1 සිට දෙසැම්බර් 1 දක්වා රැස් කරන ලද නිරවද්‍ය දත්ත මත පදනම්ව මාධ්‍යවේදීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ අපයෝජන පිළිබඳ වාර්ෂික වාර්තාව සම්පාදනය කරයි. එමෙන්ම එක් එක් මාධ්‍යවේදියා රඳවා තබා ගැනීම, පැහැර ගැනීම, අතුරුදහන් කිරීම හෝ මරණයට පත් කිරීම ඔවුන්ගේ මාධ්‍ය සේවයේ සෘජු ප‍්‍රතිඵලයක් බව නිශ්චිතව හෝ දැඩි විශ්වාසයකින් තහවුරු කිරීමට හැකි සවිස්තරාත්මක තොරතුරු රැස්කරමින් මෙම වාර්තාව පිළියෙළ කිරීම විශේෂත්වයකි.