මාධ්‍යවේදීන් මුහුණදෙන අභියෝග හා මාධ්‍ය කර්මාන්තයේ ගැටළු සාකච්ඡා කිරීමට පෙර ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තයේ ආරම්භය හා එහි විකාශය පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීම වැදගත්. ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තයක් ලෙස එහි ඉතිහාසය, අද දවසේ හැසිරීම පිළිබඳව වූ මෙම කෙටි සටහන, ජනමාධයවේදීයා හා කර්මාන්තය වර්තමානයේ මුහුණදෙන අභියෝග අතික්‍රමණය කිරීමේදී වැදගත් සාධකයක් වනු ඇත.

ජනමාධ්‍ය කර්මාන්තයේ ඉතිහාසයෙන් බිඳක්

ලංකාවේ පුවත් පත් ලියාපදිංචි කිරීමේ අංක 05 දරණ පණත සම්මත කරන්නේ 1839 දීය. පළමු සිංහළ පුවත්පත 1862 ප්‍රකාශයට පත් කළ  ”ලංකා ලෝක” නම් විය. 1862 වසරේ සැප්තැම්බර් මාසයේ සිට “ලක්මිණි පහණ” පුවත්පත ආරම්භ විය.

1841 වසරේ “Idea Atari” නමින් ප්‍රකාශයට පත්වූ දමිළ පුවත් පත ලංකාවේ දමිළ පුවත්පතෙහි ආරම්භය ලෙස සටහන්ව තිබේ.

1832 වසරේ ජනවාරි 01 “Colombo Journal” නමින් බ්‍රිතාන්‍ය පාලනය විසින් ද, 1834 වසරේ පෙබරවාරි 04 වෙනිදා ප්‍රකාශයට පත්කොට ඇති “The Observer and Commercial Advertiser”, ඉංග්‍රීසි පුවත්පතෙහි ආරම්භය ලෙස සැළකිය හැකිය.

1923 වසරේදි, “European Association” නම් වූ මුද්‍රණ සමාගමක් ඩී. ආර්. විජයවර්ධන මහතා මිළට ගනිමින් “ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම” පිහිටුවීම ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ නව පරිච්ඡේදයක ආරම්භය විය. එවකට පැවති ප්‍රකාශනයන් සියල්ල ම පාහේ මිළට ගනිමින් ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ ඒකාධිකාරි බලව්‍යුහයක් ගොඩනඟා ගන්නට  (ANCL -Lake House) සමත් විය.

1973 අංක 05 දරණ විශේෂ විධි විධාන පණත මගින් ඩී. ආර්. විජයවර්ධන ආධිපත්‍යය බිඳ දමමින් සිරිමා රජය විසින් එම සමාගම රජයට පවරා ගන්නා ලදී. අදාල පනත මගින් ලේක්හවුස් ආයතනය මහජන ආයතනයක් ලෙස පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කළ ද, දැනට වසර පණහක් ආසන්න වෙමින් තිබීයදී පවා කිසිම රජයක් ගැසට් පත්‍රය ක්‍රියාත්මක කර නැත.

ගුවන් විදුලිය

ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසය ආරම්භ වන්නේ 1925 රේඩියෝ සිලොන් (“Radio Ceylon” ) නමින් බ්‍රිතාන්‍ය පාලන සමයේ ය. එය 1949 ගුවන් විදුලි දෙපාර්තමේන්තුව බවට පත්කෙරෙන අතර 1966 අංක 37 දරණ පණත මගින් “ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව” බවට පත්කොට එම සංස්ථාව අද දක්වා රජයේ පාලනය යටතේ පවත්වාගෙන යනු ලබයි.

රූපවාහිණීය

1979 වසරේ අප්‍රේල් මස ෂාන් වික්‍රමසිංහයන් විසින් ආරම්භ කරනු ලැබූ ස්වාධීන රූපවාහිණී ජාලය , “Independent Television Network”  ශ්‍රී ලංකාවේ බිහිවූ පළමු රූපවාහාණී නාලිකාවයි. ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් එම නාලිකාව රජයට පවරා ගන්නා ලද අතර  අදටත් ITN නමින් රජයේ සමාගමක් ලෙස විකාශන සිදු කෙරේ.

ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව රජයේ සංස්ථාවක් ලෙස 1982 අංක 06 දරණ පණත යටතේ ආරම්භ කළ අතර 1982 පෙබරවාරි 15 දා එහි විකාශණ කටයුතු ආරම්භ කෙරින.

රූපවාහිණී විකාශණ පණත අනුව යමින් 1992 වසරේදී මහරාජා ආයතනයට විකාශණ බලපත්‍රයක් නිකුත් කළ අතර MTV ජාලය විසින් පළමු පුද්ගලික රූපවාහීණී සේවාව ආරම්භ කෙරින. අද දවසේ විශාල පරාසයක රූපවාහිණී හා ගුවන්විදුලි නාලිකා ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව තිබේ.

ඒ අතර සමාජ මාධ්‍ය ජාලයන් ද ප්‍රවෘත්ති හා තොරතුරු අභියෝගාත්මක ලෙස ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයට අභියෝගයක් ලෙස ප්‍රබල භූමිකාවක් ඉටු කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තය තුළ ප්‍රධාන ධාරාව නියෝජනය කරන පුවත් පත් 70ක් පමණ ද, ගුවන් විදුලි නාලිකා 30ක් පමණ ද, රූපවාහිනී නාලිකා 18ක් පමණ සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ.

රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ආයතන වශයෙන් ද සමාජ මාධ්‍ය කේෂ්ත්‍රයේ විශාල පැතිරීමක් පැවතිය ද ගුණාත්මක හා මාධ්‍ය ආචාර ධර්ම ගරු කරන, වෘත්තිමය ජනමාධ්‍ය භාවිතාව පවතිනුයේ ප්‍රශ්ණකාරී ආස්ථානයක ය. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හැසිරීම පිළිබඳව රටේ මහජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති බවක් පැහැදිළි නොවේ.

 ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තය

වසර 50ට අධික කාලයක්, රාජ්‍ය මාධ්‍ය සියල්ල, රාජ්‍ය බලය ලබාගන්නා දේශපාලන පක්‍ෂ හිතෛෂීන්ගේ පාරාදීසයක් බවට පත්වෙන අතර කළමණාකාරීත්වය හා මාධ්‍ය ප්‍රධානීන් වනුයේ ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් ය.

වරින්වර ආණ්ඩු විසින් රාජ්‍ය මාධ්‍ය රජයේ ග්‍රහණයෙන් මුදවාලීමේ සාකච්ඡා ආරම්භ කළ ද ඒ සියල්ල හුදු වංචාකාරී දේශපාලන පොරොන්දු පමණක් ම වී තිබේ. රාජ්‍ය මාධ්‍ය නිදහස් කිරීමේ අරමුණ වෙනුවෙන් සක්‍රිය මැදිහත්වීම, ජනමාධ්‍ය සංවිධාන මෙන්ම බහුජන ව්‍යාපාරයන් ද අතපසු කොට ඇත.

පුද්ගලික මාධ්‍ය බොහොමයක් වෘත්තීමය ආචාර ධාර්මික නිදහස් මාධ්‍ය භාවිතාව හා සංකල්ප බැහර කරමින් කටයුතු කිරීම රටේ බහුතර ජනතාවගේ නිරීක්‍ෂණය වේ. කළු සල්ලි සුදුකරන, මාධ්‍ය හිමිකරුවන්ගේ පෞද්ගලිකම ය වු න්‍යාය පත්‍රයකට යටත්ව හැසිරෙන බව පෙනේ. තමන්ගේ ගජමිතුරු දේශපාලන භාවිතාව හෝ වාණිජමය අරමුණු වෙනුවෙන් මෙන්ම වාර්ගික සමගිය වෙනුවට වර්ගවාදය වෙනුවෙන් යොදා ගැනිම ද අඩු වැඩි වශයෙන් පොදු ලක්‍ෂණයන් ලෙස ගිණිය හැක.

ආණ්ඩුවේ හෝ විවිධ පාර්ශවයන්ගේ බලපෑම් හා මැදිහත්වීම් වලින් තොරව සංවරණ හා තුලන, ආචාර ධාර්මික, ස්වාධින මාධ්‍ය භාවිතාවක රාජ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය සමූහය නියැලෙන බවක් නිරීක්‍ෂණය නොවේ.

මාධ්‍ය ආයතන නියාමනය

මාධ්‍ය ආයතන නියාමනය සඳහා විධිමත්ව පිහිට වූ නිළ ආයතනයක් නොමැති වුවද, ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩල පනත, ගුවන් විදුලි සංස්ථා පනත, රූපවාහිනී සංස්ථා පනත වැනි පනත් මගින් ද ජනාමාධ්‍ය ආයතන හසුරවන අවස්ථා දැකිය හැක.

මාධ්‍ය ආයතන හිමිකරුවන් හා මාධ්‍ය සංවිධාන කිහිපයක් එක්ව අනත්ර් ජාතික සහයෝගයත්, මාධ්‍ය සහයෝගීතාවයත් සහිතව ආරම්භ වූ “ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය” (Sri Lanka Press Institute (SLPI) 1998 ආරම්භ විය. එහි සාමාජික සංවිධාන වූ පුවත්පත් පැමිණිලි කොමිෂම Press Complaints Commission of Sri Lanka (PCCSL), ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය (Sri Lanka College of Journalism (SLCJ) මාධ්‍ය කර්මාන්තයේ ගැටලුවලට ප්‍රමාණවත් පිළිතුරු ලබාදෙන්නට අපොහොසත්ව ඇත.

මේ නිසා අද දවසේ ප්‍රබල ස්වාධීන මාධ්‍ය නියාමන යාන්ත්‍රයක අවශ්‍යතාවය සපුරා ගන්නට සංවිධිත ජනමාධ්‍යවෙදියා වෙත පැවැරෙන වගකීම ප්‍රමුඛ බව වටහා ගතයුතුය.

කීර්තිමත් ජනමාධ්‍යවේදීන්.

අපේ රටේ ජනමාධ්‍ය කර්මාන්තයේ පුනර්ජීවයක් යළි ලබන්නට නමි ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තයේ පුරෝගාමී ජනමාධ්‍යවේදීන් පිළිබඳව කියවීමක් වත්මන් ජනමාධ්‍යවේදියාට අවශ්‍යවේ යැයි සිතමි.

ඒ සඳහා මගේ පළමුවැනි තේරීම ඩී. බී. ධනපාල ශූරීන් වේ. පිටිසර බද තිස්සමහාරාමයේ ඉපිද, ගාල්ලේ මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබ, ඉන්දියාවේ අලහබාද් විිශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය නිම කළ අයෙකි.

මුලින් ම ඩේලිනිව්ස් පුවත්පත්ට සම්බන්ධවන ඔහුගේ ලේඛන කලාව පෙරළිකාරීවිය. පුවත්පතේ ජැනස් (ග්‍රීක අනවර්ථ නාමයක්) නමින් ඔහුගේ පෙරළිකාරී “Blue Page” පිටුව එකල සමාජය කළඹන්නට සමත්විය. පාලනාධිකාරය සමග මතුවූ නොඑකඟතාවයන් නිසා මාධ්‍ය වෘත්තියට සමුදුන් ඔහුගේ තේරිම ගුරු වෘත්තිය විය.

තමන් විසින් ඉටු කළ මාධ්‍ය මෙහෙවර සමත්වූ සමාජ තෙරපුම පිළිබඳව ඔහු සිය මනස සමග නිතර පොර බදන්නට විය. අවසානයේ නැවත ඔහු පෑන අවිය කරගන්නට එවකට ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ සමාගම පළකල ‘ලංකාදීප‘ පුවත්පතට සම්බන්ධවිය. ඇත්තට ම ඒ අවධියේ සිංහළ භාෂාවේ නැවුම් පුවත්පත වූයේ ‘ලංකාදීප‘යයි. පළමුවරට ජනමාධ්‍යවේදියාගේ නම (by line) tl එකතු කළේ ඩී. බී. ධනපාල ශූරීන් විසින් බව කියැවේ.

ඔහු සුවිශේෂි ජනමාධ්‍ය කලාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා පමණක් නොව, දේශපාලනඥයන්, ප්‍රභූවරුන් ඉදිරියේ නොනැමුනු, රටේ පොදු ජනතාවගේ ප්‍රකාශකයා බවට පත්වූ බව ඔහු ජනමාධ්‍ය හැසිරවූ ආකාරය නිරීක්‍ෂණය කරනු ලබන ඕනෑම අයෙකුට පැහැදිළිවනු ඇත. ‘දවස’ පුවත්පත ප්‍රමුඛ ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශන සමූහයේ නිර්මාතෘවරයා වන්නේ ද ඔහු ය.

‘ඇත්ත’ පුවත්පතේ කර්තෘ බී. ඒ. සිරිවර්ධන චරිතය ද වත්මන් ජනමාධයවේදීන් හැදෑරිය යුතු චරිතයකි. ඔහුට ම ආවේණික වූ ඔහුගේ ළේඛණ කලාව, ලංකාවේ ජනමාධ්‍යවේදීන් පිටකොන්දක් සහිතව හැසිරිය යුතු බව ප්‍රකාශ කළ ප්‍රතිමූර්තියකි.

වත්මන් ජනමාධ්‍යවේදීන් කියවිය යුතු එවැනිම කීර්තිමත් ජනමාධ්‍ය චරිතාපදානයක් ලෙස දයාසේන ගුණසිංහයන් හඳුන්වා දිය හැක. තම පෑන ප්‍රබල අවියක් කරගනිමින්, පුද්ගල තරාතිරම නොබලා පහරදිය යුතු තැන්, පුද්ගලයන් හඹාගියේ පොදුජනයා වෙනුනේම ය.

සිහිපත් කළහැකි, පරමාදර්ශී ජනමාධ්‍යවේදීන් අතරින් මේ නම් කීපය ඔබට සිහිපත් කළේ හැකි නම් එවැනි ජනමාධ්‍ය චරිතාපදානයක්, ඒ හා සමාන ප්‍රබල මාධ්‍ය භාවිතාවන් සහිත පරිපූර්ණ ජනමාධ්‍යවේදයේ ප්‍රමුඛයෙක් අද දවසේ ඉන්නවාදැයි සොයා බලන්නට ඔබට උපකාරීවීම පිණිස ය.

වෘත්තීය ජනමාධ්‍යවේදියා?

වර්තමාන ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදියා, වෘත්තිකයෙක් ලෙසට පිළිගැනිමක් නැත. එයට හේතු රාශියකි. ජනමාධ්‍යවේදීන් ලෙස වෘත්තියට ඇතුළුවන පිරිස නිසි පුහුණුවකට යොමුවීමට හෝ ජනමාධ්‍ය විෂය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් මාධ්‍ය ප්‍රධානීන්, කර්තෘවරුන්ගේ සිට පහළට මාධ්‍යවේදියා දක්වා ම නොමැත. එවැනි අවශ්‍යතාවයක් තිබෙන බවක් ද නොපෙනේ. අවශ්‍යතාවයක් තිබුණත් එයට අවස්ථාවක් ද නැත.

රාජ්‍ය නොවන සංවිධාන උපකාරයෙන් මාධ්‍ය සංවිධාන වරින්වර ජනමාධ්‍ය විෂයන් පිළිබඳ පුහුණුවක් ලබා දෙන්නට උත්සාහ කළ අවස්ථා ඇතත් එම අවස්ථාවන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ බොහෝවිට ප්‍රාදේශීය මට්ටමේ සිට සේවය කරන මාධ්‍යවේදීන් පමණක් බව සඳහන් කළයුතුය. ප්‍රධාන දහරාවේ මාධ්‍යවේදීන්ට මේ සඳහා සහභාගීවන්නට අවසරයක් ලැබෙන්නේ ද නැත. බොහෝ මාධ්‍ය ප්‍රධානීන්, මාධ්‍යවේදීන් ඔවුන් වෘත්තිකයන් පිරිසක් නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටී.

 මාධ්‍ය සංවිධාන

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (Fedaration of Media Emplyees Trade Unions FMETU), ශ්‍රී ලංකාවේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Sri Lank a Working Journalists Association SLWJA) සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (Free Media Movement FMM), ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ :ෂබඑැරබ්එසදබ්ක (International Federation  Of Journalis -IFJ) සාමාජික සංවිධාන වේ.

60 දශකයේ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පුද්ගලික හිමිකාරිත්වයට නතුව පැවති සමයේ එහි ලංකා වෙළඳ හා පොදු කාර්මික සංගමය (CMU) ශාඛාවක් පැවති අතර, 90 දශකයේ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ මැදිහත්වීමෙන් පිහිටුවන ලද ‘උපාලි පුවත්පත් සමාගමේ සේවක වෘත්තීය සමිතිය’ ද අභාවයට පත්ව තිබේ.

ලේක්හවුස් ආයතනය තුළ අසූව දශකයේ අගභාගයේ ආරම්භ වූ ‘ලේක් හවුස් සේවක සංගමය’ මුල්වී ‘මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය’ බිහිකරමින් ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය එක්සත් කමක් ගොඩනඟන්ට දැරූ උත්සාහය ද විවිධ බාධාවන් නිසා සම්පූර්ණයෙන් සාර්ථකවී නොමැත.

වාර්ගික පදනමින් පවා ජනමාධ්‍ය සංවිධාන බිහිවී පවතින අතර තවත් විවිිධ මාදිලියේ මාධ්‍ය සංවිධාන ද අද දක්නට තිබේ. කෙසේ වෙතත් පවත්නා බොහෝ ජනමාධ්‍ය සංවිධාන නාමික සංවිධාන බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුය. ඒ නිසා ම ජනමාධ්‍යවේදීන් තුළ මේ සංවිධාන පිළිබඳව විශ්වාසයක් නැත. ඒ විශ්වාසය දිනාගන්නට මාධ්‍ය සංවිධාන කටයුතු කරන බවක් ද නොපෙනේ.

මෙලෙස විවිධාකාරයේ මාධ්‍ය සංවිධාන වශයෙන් බෙදී වෙන්ව කටයුතු කිරීමෙන් සතුටුවිය හැකි, ජයග්‍රහනයන් ජනමාධ්‍යවේදියා ලබාගෙන තිබේද? කර්මාන්තයේ ජයග්‍රහණයන්ට දායකවී තිබේ ද?

පිළියමක් ලෙස ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) සාමාජික සංවිධාන තුනටවක් එක් සංවිධානයක් බවට පත්කරගන්ට වෙහෙසක් ගන්නට හැකි නම් ?

විසඳුම්

ලංකාවේ ජනමාධ්‍යවේදිනියන්/ජනමාධ්‍යවේදීන් අතිබහුතරයක් සංවිධානගතවී නොමැත. ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ ද නැත. ජනමාධ්‍යවේදියා සංවිධානගත නොවීමේ වාසිය ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් නිතැතින් ම අත්පත් කරගෙන සිටී. අද දවසේ මාධ්‍යවේදීන් මුහුණ දෙන පළමු අභියෝගය වනුයේ සංවිධානයවීමේ වටිනාකම පිළිබඳව අවබෝධයක් රහිතව කටයුතු කිරීම වේ.

ශ්‍රී ලංකාවේ කිසියම් වෘත්තියක, සේවාවක, දෛනික, කොන්ත්‍රාත් පදනමේ සේවකයෙකුට පවා අනිවාර්යයෙන් හිමිවෙන මූලික හිමිකම් වු සේවක අර්ථ සාධක අරමුදලේ, සේවක භාර අරමුදලේ හිමිකම, විශ්‍රාම පාරිතෝෂිකය ජනමාධ්‍යවේදීන් බහුතරයකට අහිමිව තිබේ. මෙවැනි මූලික හිමිකම් පවා අහිමි සේවකයන් පිරිසක් වේ නම් ඒ ජනමාධ්‍යවේදීන් බව රහසක් නොවේ.

ජනමාධ්‍ය කර්මාන්තයේ පවතින මේ ඛෙදනිය ත්තවයෙන් ගලවා ගැනීමේ වගකීම රඳා පවත්නේ ජනමාධ්‍යවේදීයා අතේම ය.

ලෝකයේ අදටත් යම් දියුණු ජනමාධ්‍ය කර්මාන්තයක් පවතින්නේ නම් ඒ ජනමාධ්‍යවේදීන් ප්‍රබල ලෙස සංවිධානයවී සිටින රටවල් තුළ පමණි.

අපටත්, ජනමාධ්‍යවේදියා මුහුණදෙන අභියෝග ජය ගන්න ඇති එකම මාවත වනුයේ පවතින සියළු බෙදීම් අවසන්කර, එක පවුලක් ලෙස සංවිධානයවීම පමණි. ඒ ජනමාධ්‍යවේදියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව, ජනමාධ්‍ය ආයතන හිමියා, කර්මාන්තයක් ලෙස මුහණ දෙන අභියෝග සමග ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කළහැකි මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායක් බිහි කරගැනීම වෙනුවෙනි.

 

ධර්මසිරි ලංකාපේලි, ප්‍රධාන ලේකම්, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය.

077 364 1111

“තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ” ශාලික විමලසේන සහෘදයාගේ ඉල්ලීම පරිදි 2018 වසරේ සකස්කළ ලිපියකි.