දිවයිනේ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය  ආචාර ධර්‍ම භාවිතාව, සමාජ ප්‍රගමනය සඳහා භාවිතා කිරීමට යොමු කෙරෙන අධ්‍යාපන වැඩ සටහනක් (Mediathon) කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ රෙයින්බෝ ආයතනය විසින් සංවිධානය කෙරින.

“Mediathon” නම් වූ අධ්‍යාපන වැඩසටහන සංවිධානය කිරීම සඳහා දායකත්වය “ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ” SRP වැඩසටහනේ කොටසක් ලෙස යුරෝපීය සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය එකාබද්ධව ලබා දෙන ලදී.

Mediathon වැඩසටහන, මාධ්‍යවේදීන් ආචාර ධර්‍ම භාවිතය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරනු ලැබූ වැඩසටහනකි, තමන්ගේ මාධ්‍ය භාවිතය තුළ සමාජ ප්‍රගමනයට දායකවීම පිළිබඳව සාකච්ඡා කරමින් අදහස් හුවමාරු කරගත් පැය 21 ක මාර්‍ගගත පුහුණුවක් විය.

පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍යකරනයේ නියැළෙන පූර්‍ණ කාලීන මාධ්‍යවේදීන් 130 ක් සමග   මාධ්‍ය විෂය හදාරන සිසුන්පිරිස්ක ද සහභාගී විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රජාවන් සහ භාෂා නියෝජනයන් සහිතව දිස්ත්‍රික්ක 25  ම නියෝජනයවන පරිදි වූ මාධ්‍යවේදීන් පිරිසක් මෙම පුහුණුව සාර්ථකව නිමකර තිබේ.

මෙම Mediathon වැඩසටහන සාමකාමී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා ජනතාව යොමුකිරීම වෙනුවෙන් සමාජීය සහජීවනය, ආකල්පමය සහ හැසිරීම් පෝෂණය කිරීම පිණිස ජනමාධ්‍ය කාර්‍ය්‍යභාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.

රේන්බෝ ආයතනයේ ප්‍රධාන අධ්‍යයන උපදේශක සහ ජ්‍යෙෂ්ඨ සන්නිවේදන විශේෂඥවරයෙකු වූ ආචාර්‍ය්‍ය මහීම් මෙන්ඩිස්, ප්‍රවීන විදේශ මාධ්‍යවේදිකෙු සහ ජනමාධ්‍ය පුහුණුකරුවෙකු වූ , ශිහාර් අනීස් සහ සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල කථිකාචාර්‍ය්‍යවරියක් වූ තුෂාරි ගමගේ මහත්මිය මෙම වැඩ සටහනේ සම්පත් දායකයන් ලෙස කටයුතු කරන ලදී.

Mediathion සඳහා විෂය මාලාව නිර්මාණය කරන ලද්දේ ටාන්යා වර්ණකුලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ විශේෂඥ කණ්ඩායමක් විසිනි. වර්ණකුලසූරිය මහත්මිය සමග  රේන්බෝ සන්නිවේදන ආයතනයේ මාධ්‍ය විශේෂඥයින් සහ මාධ්‍ය පුහුණුකරුවන් පවත්වන ලද වැඩමුළුවකින් විෂය මාලාව ලංකාවේ ජනමාධ්‍ය කර්‍මාන්තයට ගැලපෙන පරිදි නැවත සැළසුම් කිරීමට ද  පියවර ගනු ලැබින.

සහභාගිවන්නන් සිංහළ, දෙමළ හා ඉංග්‍රීසි භාෂා මත පදනම්ව වර්ගීකරණය කරන ලද කණ්ඩායම් 6 කට බෙදා මෙම අධ්‍යාපන වැඩසටහන සඳහා ඔවුන් යොමු කරනු ලැබීය.

Mediathon පාඨමාලාව අතරතුර ප්‍රායෝගික අභ්‍යාස, ක්‍රියාකාරකම්හී නිරතවෙමින් අවසන් සැසියේදී, සහභාගිවූවන් මාධ්‍ය ආචාර ධර්‍ම සහ සමාජීය ප්‍රගමනය සඳහා ඔවුන්ගේ කැපවීම ප්‍රදර්ශනය කරමින් අතිශය නිර්මාණශීලී පෝස්ටර් සහ සටන් පාඨ නිර්මාණය කරනු ලැබීය.

මේ අධ්‍යාපන වැඩ සටහන සඳහා සහභාගී වූ ජනමාධ්‍යවේදීන් අතරින් තෝරාගත් මාධ්‍යවේදීන් 20 දෙනෙකු පමන වූ ඉතාමත් සීමිත පිරිසකට සංඛේතාත්මක සහතිකපත් පිරිනැමීමේ උළෙලක් 2021 දෙසැම්බර් 16 වන දින කොළඹ රේන්බෝ සන්නිවේදන ආයතන පරිශ්‍රයේදී පැවත්වන්නට යෙදින. වඩසටහනට සම්බන්ධවූ අනෙකුත් සාමාජිකයන් සියළුදෙනා අන්තර්ජාලය හරහා සජීවීව සම්බන්ධවීමට කටයුතු කරනු ලැබීය.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ බ්‍රිතාන්‍ය අධ්‍යාපන හා ඉංග්‍රීසි ආයනයේ අධ්‍යක්ෂිකා ලොයිස් කව්චර් මහත්මියයි. උත්සව සභාව ඇමතූ ඇය නිවැරදිව තොරතුරු ඉදිරිපත් කිරීමේ මාධ්‍යය කාර්යභාරය සහ වගකීම පිළිබඳව අවධාරණය කළාය. “කිසිදු හානියක් නොකරන්න” යන මූලධර්මය මත පදනම් වූ තොරතුරු වාර්‍තාකරන ලෙසත්, මීඩියාතන් පුහුණුවෙන් ලද අත්දැකීම් සිය මාධ්‍ය භාවිතය සඳහා යොදාගන්නා ලෙස ද ඇය රේන්බෝ ආයතනයෙන් සහ වැඩසටහනට සහභාගී වූ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියාය.

ආචාර්‍ය්‍ය මහිම් මෙන්ඩිස් මහතා අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය කවුන්සිලයට සිය කෘතඥතාව පළ කළේය. වැඩසටහනට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් හැමදෙනාම වැඩසටහන පිළිබඳව ප්‍රශංසාත්මකව කථාබහ කරන බව තමන් දන්නා බවත්, ප්‍රායෝගික තලයේදී සිය අත්දැකීම් හා මාධ්‍ය ආචාර ධර්‍ම භාවිතා කිරීමට සහභාගී වූවන් ඒකමතිකව සිටින බවත්  අවධාරණය කරනු ලැබීය. රේන්බෝ ආයතනය දශකයකට වැඩි කාලයක් පුරාවට විවිධ මාධ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම තුළින් මාධ්‍යවේදීන් සවිබල ගැන්වීමටත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කිසියම් බලපෑමක් කිරීමටත් සමත්ව සිටින බව ඔහු පැහැදිලි කළේය.

     

බොහෝ ව්‍යාපෘති ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ලද අතර ධර්මසිරි ලංකාපේලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය,( FMETU) මෙම කටයුතුවලදී විශාල සහයෝගයක් ලබාදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

එසේම, මෙම වසර මුලදී, රේන්බෝ සන්නිවේදන ආයතනය ඇමරිකානු මධ්‍යස්ථානය සමඟ හවුල්කාරිත්වයෙන්, ලංකාවේ දිස්ත්‍රික්ක දහයක (10) තරුණ නායකයින් දෙසියයක් (200) සඳහා මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ පැය 30ක පුහුණු වැඩසටහනක් ද පවත්වනු ලැබීය.

FMETU සමඟ රේන්බෝ ආයතනය මාධ්‍යවේදීන් හැත්තෑවක් සඳහා නායකත්ව කුසලතා වර්ධනය කිරීමටත්,  මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ වෘත්තීය සමිතිය ශක්තිමත් කර ගැනීමට ඔවුන්ට මගපෙන්වීමට දායකත්වය ලබාදෙන ලද තවත් වැඩ සටහනකි. FMETU හි විධායක කමිටුවේ නායකත්ව භූමිකාවන්ට පිවිසීමටත්, තරුණ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන්ට සංවිධානය තුළ නායකත්වය ගැනීමට ඇති අවස්ථාව මෙම වැඩසටහන මඟින් තහවුරු කරන ලදී.

මේ වැඩ සටහන සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය, IFJ විසින් සහාය දක්වන ලදී.

රේන්බෝ සන්නිවේදන ආයතනය FMETU සමඟ එක්ව ඉදිරියේදීත් මෙවැනිම වූ වැඩකටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙන අතර මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සහ මාධ්‍ය නිදහස ශක්තිමත් කිරීමටත්, වැඩිදියුණු කිරීමටත් දායක වීම වෙනුවෙන් විචිත්‍රවත් ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ මාධ්‍යවේදියාගේ හතරවන රාජ්‍ය භූමිකාව ශත්කතිමත් කිරීමට කැපවේ.

මැණිකේ මෙන්ඩිස්