ජනවාරිය, ගතව ගිය දශක කිහිපය තුළ මාධ්‍ය නිදහස, භාෂණයේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මෙන්ම දූෂණය සහ භීෂණයට එරෙහිව හඬ නැගූ මාධ්‍ය සගයන් ඝාතනයට, පැහැර ගැනීමට සහ වධ බන්ධනවලට ලක් වූ මාසයයි. එම හේතුවෙන් ”කළු ජනවාරිය” ලෙස නම් කරමින් ඝාතනයට හා පැහැරගැනීමට ලක්වූ මාධ්‍යවේදින්ට යුක්තිය ඉල්ලා හඬ නැගීමට සියළු මාධ්‍ය සගයන් මේ දිනවල කටයුතු කරනු ලබයි.
එහෙත් කාලයත් සමඟ එසේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් පිළිබඳ මතකයන් අපට තිබේද? ඔවුන්ට යුක්තිය ඉල්ලා අඛණ්ඩව අප හඬ නැඟුවේද? පිළිතුර, නැත යන්නයි. කාලයත් සමඟම සමහරුන් අපට අමතකව යන අතර ඒ හේතුව නිසාම, එක් කළෙක ඝාතකයා, තවත් විටෙක යුක්තිය ඉල්ලා හඩා වැටෙන්නෙකු බවට පත්වෙන වන අතර යුක්තිය ඉල්ලා කෑමොර දෙමින් බලයට පත්වෙන්නා, ඊලග අවස්ථාවේදී ඝාතකයෙකු බවට පත්වේ. එයට හොඳම උදාහරණය මාධ්‍යවේදී රිචඩ් ද සොයියා ඝාතනයයි.
එම ඝාතනය සිදුවන අවස්ථාවේදි යුක්තිය ඉල්ලා කෑමොර දෙමින් බලයට පත්වූ අය තවත් විටෙකදි ඝාතකයන් බවට පත්වූ ආකාරය අපට මතකය. එදා රිචඩ් ද සොයියා ඝාතනය කරන අවස්ථාවේදි බලයේ සිටියවුන්,ඉන් පසු කලෙක වෙනත් පාලනයකදි ඝාතනයට හා පැහැර ගැනීමට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් කිඹුල් කඳුලූ හෙළමින්, යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි ආකාරය අමතක නැත. සිදුවීම් සිදුවන්නේ කොක් හඩලා සීනාසීමටත්, හඬා වැළපීමටත් නොව එයින් පාඩම් ඉගෙන ගැනීමටයි. අද අපට අමතකව ගිය මාධ්‍යවේදි රිචඩ් ද සොයියා පිළිබඳව මතකයන් සොයා යා යුත්තේ, ඒ පිළිබඳව හැදෑරීම උදෙසාය.
මිනිසුන් ලොකයේ කොතෙකුත් වාසය කරන අතර ඒ අතරින් අනෙකා කෙරෙහි අසීමිත ආදරයක්, සමාජය කෙරෙහි දැඩි ඇල්මකින් යුත් ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහි වන්නේ සියවස්
ගණනාවකට වරක්ය. නූතන වකවානුවේ අපිට හමුවූ එවන් මිනිසෙකු වූයේ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා යි. මුහුණ පුරාවට වැවෙන රැවුලකට උරුමකම් කියන ලද ඔහු බොහෝ
වෙලාවට පරණ හමගිය ඩෙනිම් කලිසමත්, නිල් පාට කොලරය සහිත කමිසයත් ඇද සිටිනු දකින්නට ලැබුණි.
ඔහු නළුවෙකු ලෙස කටයුතු කළ මුත් ඉතා ලැජ්ජාශිලි පුද්ගලයෙකුවූ අතර ඒ නිසාම වැඩියෙන් කතා කිරිමට පෙළඹුණේද නැත. ඒ නිසාවෙන් ඇතැමෙකු ඔහු ආඩම්බර චරිතයක් ලෙස සිතුවද සත්‍යය එය නොවේ. ඇත්තටම ඔහු සරල පුද්ගලයෙකි. නිර්ව්‍යාජ ලෙස සමාජය ඇසුරු කළ මනුස්සයෙකි. ඔහු මාධ්‍යවේදියෙකි, ලේඛකයෙකි, කවියෙකි, වේදිකා නළුවෙකි, චිත‍්‍රපට නළුවෙකි, ගුවන් විදුලි නිවේදකයෙකි, රුපවාහිනි වැඩසටහන් නිෂ්පාදකයෙකි, මානව හිමිකම් ක‍්‍රියාදරයෙකි, දේශපාලන විචාරකයෙකුද වේ. සියල්ලටම වඩා මනුස්සකම් සපිරි මානවවාදියෙකි.
ඉහළ මධ්‍යම පාංතික සම්භවයකට අයත් රිචඩ්, ඉතා චතුර ලෙස ඉංග‍්‍රිසි භාෂාව හසුරවන ලදි. රිචඩ් විප්ලවවාදි දේශපාලනය හෝ අරගලකාරි මාතවාදයක් කර පින්නා ගැනිමට සමාජ වටපිටාවක් හෝ පවුල් පසුබිමක් පැවති පුද්ගලයෙකු නොවීය. පවතින සමාජය තුළ උපතින්ම ලද තම පංතියේ වරප‍්‍රසාද භුක්ති විදිමින් ඉහළින්ම වැජඹෙන්නට ඔහුට හැකියාව පැවතිණි. එහෙත් තමාට උපතින්ම ලැබුණ වරප‍්‍රසාද වෙනුවට අසාධාරණයට පත්වු ජනතාවගේ පිල තොරා ගැනිම සහ ජිවත්වූ ටික කාලය අවසානයේ ඒ වෙනුවෙන් තම ජිවිතයද කැප කිරිම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයයි.
සාමාන්‍ය පුද්ගලයන් තමා ජිවත්වන පංති ආවකාශයෙන් අඩියක් උඩට නැඟීමට ලතවෙන අතරම ඉහළ මහලට නැඟගත් තප්පරයේ පටන් පහළ මහල අමතක කර ඉන් නොනැවතී අවමන්ද කරයි. එවැනි තරඟකාරි සමාජයක පහළ මහලේ අසාධාරණයට ලක්වු මිනිසුන්ව රිචඩ් නොපැකිලිව සිප වැලඳ ගත්හ.
1958 මාර්තු 18 උපත ලද රිචඩ් ද සොයිසාගේ පියා, ලූශන් ද සොයිසා වන අතර මව ආචාර්ය වෛද්‍ය සිවරම් සරවනමුත්තුය. ඔහුට සහෝදරයෙක් හා සහෝදරියක්ද විය. අධ්‍යාපනය ලැබූවේ ශන්ත තෝමස් විද්‍යලයේය. එහිදි ඞී. එස්. ජයසේකර මහතා ඔහුගේ සිංහල නාට්‍ය රංගනය හඳුනාගත් අතර 1972 අන්තර් පාසල් ශෙක්ස්පියර් ඉංගි‍්‍රසි නාට්‍යයේ හොදම නළුවා බවට පත්විය. ඔහු පාසලේ වාද විවාද කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය.
මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ නව කතාවක් පාදක කරගෙන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා නිර්මාණය කළ යුගාන්තය විත‍්‍රපටයට, 1983 දී රංගනයෙන් දායකවු රිචඩ්, රඟපෑ සමාජවාදි අදහස් සහිත මාලන්ගේ චරිතය ඔහුගේ සැබෑ ජිවිතයේම පැතිකඩකි. රිචඩ් සත්‍යග‍්‍රහණය චිත‍්‍රපටයටද රංගනයෙන් දායක විය. යශෝරාවය ටෙලි නාට්‍යයේ රින්ස්ලිගේ චරිතය රඟපෑ ඔහු එවකට අතිශය ජනප‍්‍රිය විය.
රිචඩ් ද සොයිසා ජනතාවාදි මධ්‍යවේදියෙකු ලෙස සිදුකරන ලද සේවයද විශිෂ්ටය. ඔහු ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියෙකු ලෙස භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනි සිටීම, මානව හිමිකම් ක‍්‍රියාධරයෙකුසේ කටයුතු කිරිම. අදහස් ප‍්‍රකාශ කිරිමේ අයිතිය වෙනුවෙන් පෙනි සිටීම. අත්අඩංගුවට ගැනිම්, අතුරුදහම් කිරීම්, හා ඝාතනය කිරිම් වලට එරෙහිව කටයුතු කිරිම කැපි පෙනෙන ලක්ෂණයක් විය.
මේ සියල්ල ඉවසීමට නොහැකිවූ පිරිසක්ද අප රට තුළ සිටි බව නොරහසකි. එක් භීම සමයක, 1990 පෙබරවාරි 18 දින රාත‍්‍රියේ නිවසට පැමිණි පිරිසක් විසින් ඔහු පැහැර ගන්නා ලදි. පොලිසියෙන් බව හඳුන්වා, කොළ පැහැති ජිප් රථයක නග්ගවාගෙන රැගෙන ගිය අතර, ඔහුගේ මවට ඒ මොහොතේ කළ හැකි කිසිදෙයක් නොවීය.
මව විසින් පාන්දර 4.30 ට කොල්ලූපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කරන ලදි. අළුයම උදාවුවේ හදවත් කම්පා කරන පුවතකිනි. මොරටුව කොරළවැල්ල දුම්රියපොළ අසළ වෙරළට කඩවසම් තරුණයෙක්ගේ මළ සිරුරක් ගොඩගසා තිබුණි. ඒ කාගෙවත් නොව සුවහසක් ජන හදවත් දිනා ගත් කලා කරුවෙකු සහ මධ්‍යවේදියෙකුවු රිචඩ් සොයිසාගේ මෘත ශරිරයයි. මෘත ශරිරය සොයා ගන්නා විට අධික ලෙස ඉදිමි පැවතුණි. හිසේ පිටුපස සහ උගුරේ වෙඩි පහරවල් පැවති අතර පසුදින කළුබෝවිල රෝහලේදි රිචඞ්ගේ මව මෘත ශරිරය හඳුනා ගත්හ.
දසමසක් ඇකයේ හොවා මෙලොවට බිහි කළ දරුවා මහ රැක තමා ඉදිරියේදිම පැහැරගෙන ගොස් මරා දැමීම මවකට දරා ගැනිමට හැකි දෙයක් නොවීය. වෛද්‍ය සිවරම් සරවනමුත්තු මහත්මිය පසුකාලීනව පුවත්පතකට මෙලෙස කියා ඇත. ”දුර ඈතක සිට රිචඩ් මා දෙස බලා සිටිනවා. මගේ පුතා බොහෝ විට මා හා කතා කරනවා. ඔහු ඔහුගේ දේශයට එදා මෙන්ම ආදරෙයි. ඔහුගේ ජනතාවට එදා මෙන්ම ආදරෙයි. මියගිය බොහෝ දරුවන් ඔහු වගේම යැයි මා හිතනවා. සත්තකින්ම මා දන්නවා දිනයක් ඒවි. නිසැකවම දිනයක් ඒවි. එදිනට අප නොදන්නා යම් තැනක හිඳ ඔවුන් සියල්ලන් මේ දේශයට ඒවි. රිචඩ් මෙන්ම මරා දැමුණු බොහෝ අහිංසක දරුවන් ඔවුන් ආදරය කළ මේ දේශයට ඒවි. ඔවුන් මේ දේශයට ආදරෙයි. ඔවුන් මේ ජනතාවට ආදරෙයි. අම්මා.. අපි ඔබලාට නිදහස හා ආදරය ගෙන ආවා කියන ඔවුන්ගේ කටහඬ අපිට ඇසේවි. රිචඩ් පුතුගේ කටහඬ මට ඇසේවි. ඉතින් ඒ දිනය එනතුරාවට මම සටන් කරනවා”.
සිවරම් සරවනමුත්තු මව මෙන්ම තවත් දහසක් මව්වරු එලෙස තම දරුවන් යළිත් පැමිණෙයි කියා සිතුවද, ඔවුන් පැමිණියේ නැත. රිචඩ්ගේ මව තමාගේ පුතුගේ මරණය පිළිබඳව අධික ලෙස සංවේගයට පත්වු අතර පුතු මෙන්ම එකල පැහැරගත්, අතුරුදහන්වු, ඝාතනයට ලක්වු තරුණයන් කෙරෙහි පෙනි සිටිමට පෙරට ආහ. එහෙත් රිචඩ්ගේ මරණය වෙනුවෙන් යුක්තිය ඉටුනොවීම ඛේදවාචකයකි. ඇසින් දුටු සාක්ෂිකරුවන් හත්දෙනෙක් ඉදිරිපත්වු අතර ප‍්‍රධාන සාක්ෂිකරුවන්ට තර්ජනද එල්ල විය.
1990 දී මැයි 1 දා රාත‍්‍රි ජාතික රුපවාහිනිය නරඹද්දි තමන්ගේ පුතාව පැහැර ගත්, පොලිස් පරික්ෂක ලාල් ක‍්‍රිෂන්ත ධර්මසිරි රංචාගොඩව හදුනා ගත්හ. මේ පිළිබඳව ඇය පැමිණිලි කළ අතර මහේස්ත‍්‍රාත් රෝහිණි පෙරේරා විසින් ඔහුව අත්ඩංගුවට ගන්නා ලෙස නියෝග කළද ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්නගේ මැදිහත්වීම තුළ එය වැළකී ගියහ.
රිචඩ් ද සොයිසාව ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙසින් පැමිණ පැහැරගෙන ඝාතනය කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ නායකත්වය දුන් පොලිස් කණ්ඩායමක් විසින් බව පසු කලක අනාවරණය විය. මෙම ඝාතනයට පොලිස් පරික්ෂක ලාල් ක‍්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ, පොලිස් පරික්ෂක එම්. ජී. ජී. දේවසුරේන්ද්‍ර, පොලිස් සැරයන් වෙඩික්කාරගේ සරත්චන්ද්‍ර යන අය සම්බන්ධ වූ බව අනාවරණය විය. රිචඩ් ද සොයිසාව ඝාතනය කළ අයට එරෙහිව මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු ගොනු කළේය.
පසුව එය කොළඹ අලූත්කඬේ මහාධිකරණයේ විභාගයට ගැනුණි. 2005 ඔක්තෝම්බර් මස 9 වෙනි දින විත්තිකරුවන් සියළු නඩු වලින් නිදහස් විය. සක්ෂිකරුවන් ලබා දුන් සාක්ෂි පරස්පර විරෝධි බව පැවසු අතර විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු වි නොමැති බව ප‍්‍රකාශ කළහ
රිචඩ් ද සොයිසාගේ මරණය සම්බන්ධව 1990 අප‍්‍රියෙල් 23 වන දින ටයිම්ස් සගරාවේ ලිපියක් පළවු අතර එහි අන්තර්ගතය වුයේ ශ‍්‍රී ලංකා රජය විසින් මෙහෙයවන ඝාතන කණ්ඩායම් සහ ශ‍්‍රී ලංකාවේ සිදුවන බරපතල මට්ටමේ මානව හිමිකම් උල්ලංගනයන් පිළිබඳව ලොව දැනුවත් කිරීම නිසාවෙන් ඔහු ශ‍්‍රී ලංකා රජයට බලවත් තර්ජනයක් වූ බැවින්, රජයේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකොට ඇති බවයි. මෙම ලිපිය ශ‍්‍රී ලංකා රජය විසින් බෙදා හැරිම සහ විකිණීම තහනම් කරන ලදී.
රිචඩ් ද සොයිසා ඝාතනය වීමෙන් පසුව ඉන්ටර්ප්‍රෙස් මාධ්‍ය ආයතනය විසින් 1990 දී විශිෂ්ඨතම ඇගයීමේ සම්මානය ඔහු වෙනුවෙන් පිරිනමන ලදී. 2008 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී බි‍්‍රතාන්‍යයේ බි. බි. සී මාධ්‍ය ජාලය විසින් විනාඩි 60 ක ගුවන් විදුලි නාට්‍යයක් නිර්මාණය කොට විසුරුවා හැරුණි. එම ගුවන් විදුලි නාට්‍යය නිෂ්පාදනය කොට තිබුනේ රිචඩ් ද සොයිසා නම්වූ මාධ්‍යවේදියාගේ ජීවිතය සහ මරණය යන සිද්ධීන් පාදක කොටගෙනය.
රිචඩ් සහාසික ලෙස ඝාතනය කොට දශක තුනකටත් වැඩිය. එම වරදෙහි බිහිසුනුම කරුණ නම් ඔහු මිය යාමෙන් අනතුරුවද තවත් මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනය වීමයි. රිචඩ්ලා දෑසට පෙනෙන මනසට හසුවන, කන් වලට ඇසෙන සත්‍යය, ඒ අයුරින්ම ඉදිරිපත් කළ මිනිසුන්ය. අසත්‍ය සමග ඔවුනට කිසිදු සංහිඳියාවක් නොපැවතුණි. රිචඩ් ඝාතනය කිරිමට පෙර පෘතුගාලයේ ඉන්ටර්ප්‍රෙස් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කළහ. එමඟින් මෙරට සිදුවන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව හඬක් නැගෙයි යන්න රජය බියවිය. මිනිසුන්ව සත්‍යයෙන් ඇත් කරන සුරංගනා ලෝකවල අතරමං කරන මාධ්‍යකරුවන්, නරුම දේශපාලකයන් ගෙන් ආරක්ෂිතය. රිචඩ්ලා ඝාතනය කළේ පිඩිත පංතියේ මිනිසුන් වෙනුවෙන් තම පංතිය පවා අමතක කොට පෙනි සිටීම නිසාය.
සමහර විට මරණය ඔහු වෙත වේලාසනින් පැමිණෙන බව දැන සිටින්නට ඇත. මන්දයත් එකල සත්‍යය පැවසිම පවා මරණයට නැකම් කියන්නට හේතුවක් වූ අවධියකි. කෙසේ හෝ ඔහු වසර 32 ක පමණ ඉතා කෙටි කාලයක් ජීවත්වු පුද්ගලයෙකි. එහෙත් ජිවත්වූ ටික කාලය තුළ ඔහු සමාජයට කළ ප‍්‍රගතිශීලී බලපෑම අතිමහත්ය. සමාජයේ කොතෙකුත් මිනිසුන් ඉපිදේ. මිනිසුන් පුද්ගලික සුගතිය උදෙසාම ජිවත්වේ. මමත්වය වෙනුවෙන් අනෙකාවද විනාශ කරයි. එවැනි මිනිසුන් අතර රිචඩ් යනු උඩු ගම් බලා පිහිනුවෙකි. සීමිත හෝ මනුෂ්‍යත්වයක් සොයා ගැනිමට නොහැකි සමාජයක් තුළ අසීමිතව මිනිස් වර්ගයාට පේ‍්‍රම කළ රිචඩ් ඔබ සදා අමරණීය වේ.
සටහන – සම්පත් ජයලාල්. විධායක කමිටු සාමාජික, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය.