ජනවාරිය තවම කළුයි!
ඝාතකයන්, චුදිතයන් නිදැල්ලේ!
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධයන්ට යුක්තිය කෝ?

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දුමින්ද සම්පත් හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලසන්ත සිල්වා සොහොයුරන්ගේ ඉල්ලීම මත  ”කළු ජනවාරිය” සමරන්නට යොදා ගන්නට මවිසින් ලියූ සටහන සංවර්ධනය කර ලියන්නට හිතුවේ සිදුවීම් පිළිබඳව බැඳුණු සටහන් ගනනාවක් මුහුණු පොතේ සංසරණය වෙමින් පවතින නිසාම ය. උවිඳුගේ සටහන ඒ අතරිනන් ප්‍රමුඛ වේ.

මාධ්‍ය ක්‍රියාකාරීන්ට අනුව ජනවාරි මාසය යනු ”කළු” මාසයකි. ජනවාරිය යනු ”කළු ජනවාරියකි”. එ් මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා වගකිවයුත්තන්ට බලපෑම් කිරීමේ මාසය ලෙස ජනවාරි මාසය යොදා ගන්නට සිදුව තිබීම නිසාය.

ජනවාරි මාසය තෝරා ගෙන ඇත්තේ අනෙක් මාසවල අපරාධ සිදු නොවූ නිසා ම නොවේ. ජනමාධ්‍යවේදීන්ට, ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව බහුතරයක් සිදුවීම් ජනවාරි මාසය තුළ සිදුව ඇති නිසා ය.

ඒ මෙහෙමයි!

සුබ්‍රමනියම් සුගීර්දරාජන් ඝාතනය කළේ 2006 ජනවාරි 24. රෑපවාහිණියේ ලාල් හේමන්ත මාවලගේට ප්‍රහාරයක් එල්ල කළේ 2008 ජනවාරි 23. සිරස මැදිරි සංකීර්ණය ක්ලේමෝ බෝම්බ ගසා ගිනි තැබුවේ 2009 ජනවාරි 06. සන්ඩේ ලීඩර් කර්‍තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය  කළේ 2009 ජනවාරි 08. රිවිර කර්‍තෘ උපාලි තෙන්නකෝන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවුනේ 2009 ජනවාරි 23. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සිදුවුනේ 2010 ජනවාරි 24. ලංකා ඊ නිවුස් කාර්‍ය්‍යාලය ගිනි තිබ්බේ 2011 ජනවාරි 30.

 

මේ අයුරින් පසුගිය පාලනයන් සමයන්හිදී ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනයන්ට එරෙහිව සිදුකළ බිහිසුනු, මිලේච්ඡ ප්‍රහාරයන් ගණනාවක් නිසා ජනවාරි මාසය අපට “කළු” මාසයකි.

2000 – 2015 කාලපරාසය තුළ, ශිෂ්ඨ සමාජයක් නොඉවසන, ජනමාධ්‍යයට එරෙහි ඒ අපරාධම ය, බිහිසුනු සිදුවීම් ලැයිස්තුවෙන් කොටසක් මෙසේ සටහන් කළ හැක.

ඝාතන
  1. මයිල්වාහනම් නිමලරාජන් ඝාතනය 2000.10.19
  2. අයියාතුරෙයි ජී නඩේෂන් ඝාතනය 2004.05.01
  3. කන්දසාමි අයියර් බාලනඩරාජ් ඝාතනය 2004.08.16
  4. ධර්මරත්නම් සිවරාම් ඝාතනය 2005.04.28
  5. රේලන්ගී සෙල්වරාජා ඝාතනය 2005.08.12
  6. සුබ්‍රමනියම් සුගීර්දරාජන් ඝාතනය 2006.01.24
  7. සම්පත් ලක්මාල් ද සිල්වා ඝාතනය 2006.07.01
  8. සුභාෂ් චන්ද්‍රබෝස්           ඝාතනය 2007.04.16
  9. සෙල්වරාසා රජිව්වර්මන් ඝාතනය 2007.04.29
  10. සහදේවන් නිලක්‍ෂන් ඝාතනය 2007.08.01
  11. පරණිරූපසිංහම් දේවකුමාර් ඝාතනය 2008.05.28
  12. ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2009.01.08
අතුරුදහන් කිරීම්
  1. සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් අතුරුදහන් කිරීම 2007.02.15
  2. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම 2010.01.24
ප්‍රහාරයන්ට ලක්වූවන්
  1. ටී.එම්.ජී. චන්ද්‍රසේකර පහරදීම 2007.12.27
  2. ලාල් හේමන්ත මාවලගේ පහරදීම 2008.01.25
  3. කීත් නොයාර් පැහැරගෙන යෑම/පහරදීම 2008.05.22
  4. නාමල් පෙරේරා පහරදීම 2008.06.30
  5. රදිකා දේවකුමාර් වෙඩි තැබීම 2008.09.08
  6. උපාලි තෙන්නකෝන් පහරදීම 2009.01.23
  7. එන්. විද්‍යාදරන් පැහැරගෙනයාම/ පහරදීම 2009.02.26
  8. පෝද්දල ජයන්ත පැහැරගෙනයාම/ පහරදීම 2009.06.01
  9. ඥාණසුන්දරම් කුගනාදන් පහරදීම 2011.07.29
  10. මන්දනා ඉස්මයිල් තර්ජනය කිරීම 2013.08.23
මාධ්‍ය ආයතනවලට ප්‍රහාර

1 සුඩරෝලි පුවත්පත් ආයතනය -බෝම්බ ප්‍රහාරය 2005.08.29

2 උදයන් පුවත්පත් ආයතනය ගිනි තැබීම/වෙඩි තැබීම් 2006.6.2/2013.04.13

3 සිරස රූපවාහිනිය මැදිරි විනාශ කිරීම 2009.01.06

4සියත ආයතනය           පහරදීම 2010.07.30

5 ලංකා ඊනිවුස් ආයතනය ගිනි තැබීම 2011.01.30

මේ ලැයිස්තුවට අමතරව අදාල කාල වකවානුව තුළ, අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීම අරමුණු කරගත් සෘජු ප්‍රහාර නිසා මාධ්‍ය සේවකයින්, පුවත්පත් නියෝජිතයන්, බෙදාහරින්නන් සහ මුද්‍රණාල සේවකයින් 12 දෙනෙක් ඝාතනය කර ඇති බව වාර්‍තාවේ.

(මේ ප්‍රහාරයන්ගේ දින වකවානු සහිත තොරතුරු සිතා රංජනී ගේ සටහනකින් උපුටා ගැනින.)

මේ සෑම සිදුවීමකට ම පාහේ යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් අවශ්‍ය මූලික පැමිණිලි සියල්ල ගොනුකර තිබේ. ඉහත දැක්වෙන ලැයිස්තුවේ බහුතරය දෙමළ මාධ්‍යවේදීන් වූවා සේම, ඝාතනය වූ මාධ්‍ය සේවකයින් 12 දෙනාම දෙමළ ජාතිකයන් වේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ පරීක්ෂණවලින් සැක කරුවන් ද හඳුනා ගෙන තිබියදී ඒවා අතර මඟ නතර වී ඇත.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් 2010 පෙබරවාරි 26 දින පොලිස් ත‍්‍රස්ත විමර්ශන අංශය ජේසුදාසන් නමැත්තෙකු අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවේ පසුවූ සැකකරු පී. ජේසුදාසන් හදිසියේ බන්ධනාගාරය තුළදි මිය ගියේය

ලසන්තගේ වැඩිමහල් සොහොයුරා ලාල් වික‍්‍රමතුංග වරක් කිව්වේ ”ජෙනරාල් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ” කියා ජනාධිපති මහින්ද රාජපක්ෂ, තමාට තුන් වරක් ප‍්‍රකාශ කළ බවකි. 2015 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව ලසන්ත ඝාතන පරීක්ෂණ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. ඒ පරික්ෂණත් මන්දගාමි වුනා

2016 ජුලි 16 දින ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළා. 2016 ජුලි 27 දින අත්අඩංගුවට පත් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා, ලසන්ත වික‍්‍රමතුංගගේ රියදුරා උසාවියේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනා ගත්තා. උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙම සෙබකා චෝදනා ලබා ඇති බව පොලිසිය උසාවියට කිව්වා. 2016 සැප්තැම්බර් 27 දින නව මරණ පරීක්ෂණයට ලසන්තගේ දේහය ගොඩ ගත්තා. අදාල පරික්ෂණත් යම් සීමාවකදි ඇන හිටිය.

හේග් නුවර ජනතා අධිකරණයේදී ජනවාරි 12, සහ 13 යන දිනවල සාක්ෂි විමසීමට නියමිතව තිබී කොවිඩ් නිසා අප්‍රේල් මස දක්වා කල් තබා ඇති, ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව ජාත්‍යන්තර අධිකරණයක් වෙත රැගෙන යන්නට සිදුව ඇත්තේ යුක්තිය උදෙසාම ය.

ලසන්තගේ වගේම සිවරාම් ඝාතනය, එක්ණැළිගොඩ අතුරුදන් කිරීම,  මේ සෑම ඝාතනයක්, පහරදීමක්,  සිදුවීමක් සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි ප්‍රමාණයක් සොයාගන්නට පොලීසිය සමත්වී තිබේ.

උතුරේදී අතුරුදහන් වූ සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් හමුදා මුර පොළකදී අත්අඩංගුවට ගත්තේ මිතුරකු සමඟ යමින් සිටියදීය. අවසන්වරට අසවල්  හමුදා කඳවුරේ සිටින බව දන්වා ඔහුගේ නිවසට දුරකතන ඇමතුමක් දී ඉක්මනින් එන්න ලැබේයැයි ඔහු ප්‍රකාශ කළත් ආපසු ආවේ නැත.

රෑපවාහිණියේ ටීඑම්ජීට හා රෑපවාහිණී සේවකයන්ට පහර දුන්නේ රූපවාහිනියට කඩා වැදුණු එකල ඇමැතිවරයෙක් වූ මර් වින් සිල්වා ය.

හමුදා බුද්ධි අංශ සමඟ සම්බන්ධකම් පවත්වමින් වැරැදි මාධ්‍ය භාවිතාවක යෙදුණු බවට පසුව අනාවරණය වූ සම්පත් ලක්මාල් අවසන් වරට නිවසින් පිට වී තිබුණේ ඔහු නිතර සම්බන්ධතා පැවැත්වූ මිතුරු හමුදා බුද්ධි අංශ නිලධාරියා සමඟ බව ඔහුගේ මව ප්‍රකාශ කර තිබුණි.

මේ හමුදා නිළධාරියාගේ නම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිද්ධියේදී ද කරළියට ආවේය. මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනියගේ නිවසට කඩා වැදුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමට සිය අවශ්‍යතාව ඉටු කර ගැනීමට හෝ ඇයට විපතක් කිරීමට හෝ හැකි වූයේ නැත.

2000 වසරේදී ඝාතනය වූ නිමලරාජන් සම්බන්ධ නඩුව දිගු කලක් බහා තබා තිබූ අතර එම නඩුව නීතිපති නියෝග මත අවසන් කරන ලද්දේ සැකකරුවන් ලෙස ඇප පිට සිටි හය දෙනා නිදොස් කොට නිදහස් කිරීමෙනි. නිමලරාජන් මරා දැමූ කෙනෙක් නැත.

මේ ආකාරයටම ධර්මරත්නම් සිවරාම් ඝාතන නඩුව ද බහා තබා ඇති එකකි. එය අවසන් කරන්නේ කෙසේද, කවදාද නොදනිමු.

පසුගිය යහපාලන සමයේ, ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වැනි පරීක්ෂණ ආරම්භ වූ සිදුවීම් කිහිපයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කොට ඔවුන්ට රැකියා ද ලබා දීමට කටයුතු කළේ වත්මන් ආණ්ඩුව ය.

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඇසට පෙනෙන, සහ ඔප්පු කළ හැකි සාක්ෂි තිබුණත් අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට, ආරක්ෂාව සපයන්නේ කවුද ?

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වන දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් ලෝක අවධානය දිනා ගන්නට මැදිහත්විය යුතුව ඇත. මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරවා ගන්නට නම් ඒ සඳහා ම වූ දේශපාලන අධිෂ්ඨානයක් ද අවශ්‍යය. මාධ්‍යවේදීන්ට ඒ සඳහා දිගටම බලපෑම් කිරීමට සිදුවෙනු ඇත.

මේ ඝාතන, අතුරුදහන්  කිරීම්, ප්‍රහාරයන් හා සිදුවීම් හා බැඳුණු තවත් ඛෙදනීය සිදුවීම් රැසක් මතකයෙන් බැහැර කළ නොහැක.

ඒ අතර ම එදා මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරිත්වයේ ප්‍රමුඛයන් රැසකට මරණයෙන් බේරී තමන්ගේ ජීවිතය බේරාගන්නට රටෙන් පිටවෙන්නට සිදුවිය.

https://www.facebook.com/uvindu.kurukulasuriya/posts/10158666353649818 20021 උවිඳු “මාරන්තික පහරදීම් වලට ලක්වුන​ පෝද්දලටවත් උපාලිටවත්, කීත්ටවත්, මරාදාපු කාටවත් දැන්ම යුක්තිය ඉටුවෙන එකක් නැහැ” කියල අවසන් කරපු සටහන නැවත ඇස ගැටුන නිසා උවිඳුගේ සටහන පූර්‍ණ කරන්න හිතුන.

ඇත්ටම මහින්ද ආණ්ඩුවට එදා මාධ්‍ය සංවිධාන ක්‍රියාකාරිත්වය හරිම හිසරදයක් වුනා. සිදුවීමක් උන සැණින් මාධ්‍ය සංවිධාන පහ (නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සංසදය, මුස්ලිම් මාධ්‍ය සංසදය සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය) ක්ෂණිකව ක්‍රියාත්මකවී හැම සිදුවීමකට ම ප්‍රතිචාරය දැක්වූවා.

ජනමාධ්‍යවේදීන්ට එරෙහි ආණ්ඩුවේ මර්‍ධනය එන්න එන්න ම දරුණු වෙන්ට වූ නිසා ජීවිත බේරාගන්න මේ නායකයන්ට රටින් පිටවෙන්නට අවශ්‍ය මග පෙන්වීම කළේ ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය(IFJ). උවිඳු කියන, ලංකාවෙන් පිටව ගිය මේ පිරිස සමග කළින් දවසෙ රාත්‍රිය මමත්, අජිත් සෙනවිරත්නත් නිදාගෙන හිටියෙ එකට මල් පාරේ, විකල්ප ප්‍රතිපත්ති කේනද්‍රය ලබාදුන් ආරක්ෂිත නිවස්නයේ. (Safety House) ඒ දවස්වල නායකයො හැමදෙනාම පාහේ ඒ දිනවල රාත්‍රිය ගත කළේ මේ නිවස්නයේ. මේ කියන අයගේ පිටත්වීම ගැන මම හෝ අජිය දැනගෙන හිටියෙ නෑ. උදේ නැගිටල බලන කොට අපි දෙන්න විතරයි. අනෙක් අය නෑ. විපරම් කිරීමෙන් පසුව තමයි මේ පිළිබඳව දැනගන්න හැකියාව ලැබුුනෙ.

මේ අයගේ පිටත්ව යෑමෙන් පසුව ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) මේ ලියුම්කරුට ද රටින් බැහැවන්ට උපදෙස් දෙන්න වුනා.

මේ ඒ මැදිහත්වීම

නමුත් මවිසින් ඇමෙරිකානු නිළධාරියා, Jeff Anderson හමුවී  මේ මැදිහත්වීම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. මේ හමුව සඳහා Sunday Obsover පුවත්පතේ රොෂෑන් සහ පෝද්දල සහභාගි වුනා. ඇත්තට ම පොද්දල ඒ සාකච්ඡාවට සම්බන්ධකර ගැනීමට මට විශාල වෙහෙසක් දරන්නට වුනා. ඒ බව පෝද්දල හොඳින් දනී.

උවිඳු පොද්දල ගැන තබා ඇති කරුණු සියල්ල සත්‍ය මත පදනම්ව තැබූ සටහනකි. ඒ පිළිබඳව මා හා පෝද්දල හොඳින් දන්නා තවත් කරුණු කිහිපයක් එකතු කරන්නේ ඌන පූරණයක් ලෙසිනි.

පෝද්දල පහරකෑමට ලක්වූ දින සවස සේවය අවසන්කර යන අතරතුර “ලේක්හවුස් සේවක සංගම්” කාර්‍ය්‍යාලයේ දොරකඩට පැමිණ “මචං” කියා විනඩියකට නැවතී මා ඇමතුවා. ” උඹ මහින්ද රාජපක්ෂ කැඳවල තියෙන් මාධ්‍ය සංවිධාන සාකච්ඡාවට යන්නෙ නැද්ද? ” නෑ මචං, අතුල අයියා (විකටර් අයිවන්) කිව්වා මම දැක්කොත් මහින්දට තරහ යයි කියල වෙන කෙනෙක් යවන්න කියල.” පොද්දල කිව්ව.

“මචං උඹ ගියා නම් හරි! උඹේ අනතුර පහව යන්නත් ඉඩ තියෙනව. උඹ දැක්ක ගමන් මහින්ද අහයි, හා කොහොමද පෝද්දල කියල” මම කිවිව. පොද්දල වචනයක් දුන්නෙ නෑ. පිටවෙලා ගියා. ඔහුගේ මුහුණේ පැවති තැතිගත් ස්වභාවය මට අදටත් මැවිල පේනව.

මම පෝද්දලට කිවවෙ මගේ අත්දැකීම. ඒ සාකච්ඡාවට ගියා නම් පොද්දල සමහරවිට තවමත් ලංකාවේ කියල මට හිතෙන්නේ මහින්ද රාජපක්ෂ ගැන මට කියැවීමක් තියෙන නිසා. මේ මාධ්‍ය සංවිධාන සාකච්ඡාව කැඳෙව්වෙ ම ඒ වනවිටත් ආණ්ඩුවට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟුනු අපකීර් තිය පොද්දල හරහා සමනය කරගන්නට කියලයි මම හිතන්නෙ. ඒ නිසා පෝද්දල ඒ සාකච්ඡාවට ගියා නම් එදා සිදුවුනු ප්‍රහාරය වලකින්නට තිබුණා කියන අදහසේ අදත් මම ඉන්නවා.

ඇමරිකන් තානාපති කාර්‍ය්‍යාලයෙන් මට ලැබුනු ආරාධනය සමග පෝද්දල මම රැගෙන ගියේ මේ අනතුර පිළිබඳව මට ඉවක් තිබුන නිසා. මම මොනතරම් පැහැදිළි කරන්නට උත්සාහ කළත් Jeff Anderson ඒ පිළිබඳව සැළකිල්ලක් දැක්වූයේ ම නෑ.

පෝද්දලට එල්ල වූ ප්‍රහාරයත් සමග Jeff Anderson ගේ අවධානය පෝද්දල වෙත තදින් යොමුවුනා.

ඔහු සහ IFJ Asia Pasipic නායකයන් සමග ඇතිවූ ඊමේල් සංවාද සටහන් එකතු කරන්නේ ලිපිය කියවන අයගේ අවබෝධය පිණිසම ය.

ලිපිය දීර්‍ඝ වුනා. කරුණුමය වශයෙන් සනාථ කිරීමටත්, ඉතිහාසය හැදෑරීම ඉදිරි ගමනට දායකවන නිසාත් මේ කරුණු එකතු කළා. ඒ නිසා ම ලිපිය දීර්ඝ වුනා. එහෙත් ඒ වෙනුවෙන් කරන්නන් වාලේ යමක් කරනවාට, ලියනවාට වඩා මාධ්‍ය සංවිධාන, මාධ්‍යවේදීන් අයෝමය බැඳීමකින් යුතුව යුක්තිය වෙනුවෙන් නොනවතින අරගලයක නිරත විය යුතු කාලය එළඹ තිබේ.

එක්සත්කම වඩාත් වඩාත් තහවුරු කළයතු අවධියක “තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය” මාධ්‍ය සංවිධාන එකතුවෙන් හේතු නොවිමසා ම  ඉවත්කර ඇති බව වාර්‍තා වේ. වර්‍තමානයේ ජනමාධ්‍යවේදීන්ට පමණක් නොව සකල දේශවාසී හැමදෙනාටම මාස දෙළහ ම කළු වෙමින් තිබෙන වටපිටාවක එය හෙළාදැකිය යුතු ක්‍රියාවකි.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන්ට “කළු “ජනවාරියක් වූ ජනවාරිය සුදු කරගන්නට රටේ පලල් ජනතාවත් එකතු කරගෙන යායුතු දුර අරගලයකට  කාලය පැමිණ ඇති බව  අවසන් වශයෙන් සටහන් කරමි.

ධර්‍මසිරි ලංකාපේලි 

ප්‍රධාන ලේකම්,

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය.