ශ්‍රී ලංකාවේ දෘශ්‍ය සංනිවේදන මාධ්‍යය (රූපවාහිණී නාලිකා) හා ළමා  මන්ද පෝෂණය අතර දැවන්ත සම්බන්ධතාවයක් ඇතයි ඉකුත් 22  දා කන්තලේ දී පැවති වැඩමුළුකදී අනාවරණය විය.

“ජනතාව සහ ජනමාධ්‍යය” යන මැයෙන් කන්තලේ නුගසෙවන හෝටලයේ දී පැවති මෙම වැඩමුළුව “එලත්තු කලාභවන්” ආයතනය විසින්  කැඳවා තිබූ අතර ප්‍රදේශයේ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් තිහකට ආසන්න පිරිසක් සහ මාධ්‍යවේදීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ප්‍රදේශයට මෙන්ම ජාතික වශයෙන්ද බලපානා වබරපතල ගැටළු සම්බන්ධයෙන් මෙහිදී පැවති කණඩායම් ක්‍රියාකාරකම් වලට සහභාගී වූ එක් කණ්ඩායමක් ඉහත කාරණය පෙන්වා දුන්නේය.

මෙහිදී කණ්ඩායම් නායිකාවන් වන විනෝදනී විමලසේන සහ දීප්තී ජයසේකර විසින් ලෝක සෞඛ්‍යය සංවිධානයේ සහ දේශීය සෞඛ්‍යය සංවිධාන වල වාර්‍තා උපුටා දක්වමින් පෙන්වා දුන්නේ මේ වනවිට ලංකාවේ අඩුබර උපත් සංඛෘයාව 16% දක්වා ඉහළ ගොස් ඇති බවයි. වැඩෙන දරුවන් අතර වයසට සරිලන බර නොමැති  සංඛ්‍යාව20.5% කි. වයසට සරිලන උසක් නොමැති දරුවෝ 17.8% කි.

උග්‍ර වෙමින් පවතින ළමා මන්ද පෝෂණය සම්බන්ධයෙන් මෙසේ දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ ඇය වැඩි දුරටත් අවධාරණය කර සිටියේ මෙම තත්වයට අපේ රටේ රූපවාහිණි නාලිකා වල ප්‍රචාරයවෙන ආහාරපාන හා සම්බන්ධ වෙළඳ දැන්වීම් බරපතල ලෙස වගකිවයුතු බවයි.

“රූපවාහිණි යන්ත්‍රයක් ඉදිරිපිට වාඩිවී එය නරඹන ඔබ දෑස පමණක් නොව මොළයද ඒ දෙසට යොමු කරන්න. පැය භාගයක් ඇතුලත විනාඩි දහයකට දොළහකට වරක් රූපවාහිණී යන්ත්‍රයෙන් ඔබේ දරුවන්ට කවන ලෙසට පොළඹවන  රසකාරක, වර්ණ කාරක, සුවඳ කාරක මුසු කෘතිම ආහාර පාන පමණක් නොව කිරිපිටි ප්‍රමාණය කොතෙක්ද යන්න සිතා බලන්න.

කොළ කැඳ කොප්යක් ඔබේ දරුවාට පොවන්නයි ඉල්ලා සිටින එකම එක දැන්වීමක්වත් රූපවාහිණියේ නැත. යනුවෙන් ඔවුහූ ප්‍රකාශ කළහ.

කන්තලේ ආර් ජී ධර්මදාස