තරුණ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර තෙවෙනි වතාවටත් රහස් පොලීසිය වෙත කැඳවීම අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතියට එරෙහිවීමක් බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ඒ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

ප්‍රධාන ලේකම්වරයාගේ අත්සනින් නිකුත්කර ුැති එම නිවේදනය සම්පූර්‍ණයෙන් පහත පළවේ.

2023/07/03

මාධ්‍ය නිවේදනය

තරිඳු උඩුවරගෙදර නැවතත් රහස් පොලිසියට කැඳවීම මාධ්‍ය මර්‍ධනයේ තවත් පියවරක්!

අතථ්‍යන්තයෙන් ම ක්‍රියාකාරී තරුණ ජනමාධ්‍යවේදියෙකු වු තරිඳු උඩුවරගෙදර ජුලි 04 වැනිදා පෙරවරු 10.30ට පරිගණක අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව විසින් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යළිත් එහි කැඳවා තිබේ. 2023 මැයි 29 වැනිදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී තරිඳු උඩුවරගෙදර කළ අදහස් දැක්වීමක් මත, මෙම කැඳවීම සිදු කර ඇත.

ඔහු විසින් මෑත මාස කිහිපය තුළ මාධ්‍ය වෙත සිදුකළ අදහස් ප්‍රකාශ කිරීම් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා සිදු කරන තෙවැනි ප්‍රශ්න කිරීම වේ.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් හා වෘත්තීය ආරක්ෂාව පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරණ රජය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ක්‍රියාකාරකම් බියගැන්වීමට දරණ උත්සාහයක් ලෙස මෙම ක්‍රියාව සළකමු. මෙරට තුළ  වරින්වර මතුවෙමින් තිබෙන ජාතිකවාදී-ආගම්වාදී රැළි සහ ඒ පසුපස ඇති දේශපාලන අරමුණු පිළිබඳව ඔහු සිය අදහස් දැක්වීම සිදුකර තිබේ. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන ලද්දේ නතාශා එදිරිසූරිය සිදු කරන ලද හාස්‍යමය වැඩසටහනක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේදීය.

තරිඳු උඩුවරගෙදර රහස් පොලීසිය වෙත කැඳවනු ලබන්නේ රජය විසින් විද්‍යුත් නියාමන අධිකාරී පනත, සමාජ මාධ්‍ය නියාමන අධිකාරී පනත, වැනි මර්‍ධනකාරී පනත් කිහිපයක් යෝජනා කරමින් සිටින වටපිටාවකය. එබැවින් මෙම කැඳවීම අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතියට එරෙහි ක්‍රියාවක් ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විශ්වාස කරනු ලබයි. එබැවින් තරිඳු උඩුවරගෙදර රහස් පොලීසිය වෙත කැඳවිම පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලු ජනමාධ්‍ය සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන පමණක් නොව අන්තර් ජාතික ජනමාධ්‍ය සංවිධානන්හී දැඩි අවධානයට යොමුකිරීම වැදගත් අවශ්‍යතාවයක් බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශකර සිටී.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ලෝකයේ රටවල් 170 ක ජනමාධ්‍යවේදීන් ලක්‍ෂ හයකට අධික සාමාජිකත්වයක් සංවිධානයවී සිටින ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (International Federation of Journalists- IFJ) පූර්‍ණ සාමාජිකත්වය හිමි සංවිධානයකි.

විශ්වාසී

                                         

ධර්‍මසිරි ලංකාපේලි

ප්‍රධාන ලේකම්,

විධායක සභාව වෙනුවෙන්

077 364 1111

fmetu123@gmail.com

dlankapeli@gmail.com