‘උදයන්’ පුවත්පතේ කර්‍තෘ තංගරාසා ප්‍රභාකරන් කොළඹට කැඳවා 27.11.23 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ කිරුළපන කාර්යාලයේදී පැතවති පරීක්ෂණය පිළිබඳව යාපනය මාධ්‍ය සමාජය නිකුත් කළ නිවේදනය සමග එකඟ වෙමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්‍ණයෙන් පහත දැක්වේ.

2023 නොවැම්බර් 28

මාධ්‍ය නිවේදනය.

උදයන් කතෘට එරෙහි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පරීක්ෂණය කතා කිරීමේ නිදහසට පටහැනියි!

උදයන් පුවත්පතේ කතෘ තංගරාසා ප්‍රභාකරන් කොළඹට කැඳවා 27.11.23 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ කිරුළපන කාර්යාලයේදී පරීක්ෂණයක් පවත්වන ලදී. ඒ මීට වසර තුනකට පමණ පෙර උදයන් පුවත්පතේ එල්ටීටීඊ නායක ප්‍රභාකරන් පිළිබඳ පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

උදයන් කතෘ තංගරාසා ප්‍රභාකරන්ගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය පැය හතරක් දැඩි ලෙස ප්‍රශ්න කොට තිබේ. උදයන් පුවත්පත ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ජනතාව අතර බහුලව බෙදා හරිනු ලබන දමිළ මාධ්‍ය පුවත්පතකි.

2020 නොවැම්බර් 27 දිනට යෙදෙන ප්‍රභාකරන්ගේ උපන්දිනය සහ දෙමළ ජාතික අරගලය තුළ දිවි පිදූවන්ගේ දිනය නිමිත්තෙන් පුවත්පත ප්‍රභාකරන්ගේ රුව සහිත මෙම සටහන පළකර තිබේ. එසේම වසර තුනකට පසු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය එම පුවත විමර්‍ශකර කතුවරයාට එරෙහිව යාපනය අධිකරණයේ නඩුවක් ද පවරා තිබේ.

යාපනය මාධ්‍ය සමාජය සහ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය එකඟත්වයෙන් පවසන්නේ එය පැහැදිලිවම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ඔවුන් විශ්වාස කරන බවයි. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයට (IFJ) අනුබද්ධ සාමාජික සංවිධානයක් වන අතර එය රටවල් 146 ක මාධ්‍ය සංවිධාන 167 ක සාමාජිකයින් හයලක්ෂයකට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ලොව ශක්තිමත්ම මාධ්‍ය සංවිධානය වේ.

 ස්තුතියි

                                        

ධර්‍මසිරි ලංකාපේලි                                                                                                  

ප්‍රධාන ලේකම්