ගාසා තීරයේදී ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන මාධ්‍යවේදීන් සහ ජනතාව ඝාතනය කිරීමට විරෝධය දැක්වීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සිය අනුබද්ධ මාධ්‍ය සංවිධාන සමග පෙබරවාරි 26 දින ලෝක සහයෝගිතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය. “ඊශ්‍රායලය සිදුකරන ජනමාධ්‍යවේදීන් හා සිවිල් ජනඝාතනය වහා නවතනු!” යන සටන් පාඨය යටතේ මේ පලස්තීන සහයෝගිතා දිනය ප්‍රකාශයට පත් කෙරින.

පලස්තීන සහයෝගිතා දිනය සමග එක්වෙමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) විසින් කොළඹ 05, රෙයින්බෝ ආයතන පරිශ්‍රයේ සංවිධානය කරන ලද මාධ්‍ය හමුව සමග සහයෝගිතා හමුව සංවිධානය කර තිබුණි.

   

සම්මේලනයේ ලේකම් ධර්‍මසිරි ලංකාපේලි, සභාපති ක්‍රිෂ්ණි ඉෆාම්,ජාතික සංවිධායක තරිඳු උඩුවරගෙදර, යාපනය මාධ්‍ය සමාජයේ වී සෙල්ව කුමාර් සහ සම්මේලනයේ විධායක සභිකාවක්වූ ෂෙරීෆා තාහීර් යන සහෝදර සහෝදරියන් මෙම අවස්ථාවට එකතු වෙමින් පලස්තීන ජනමාධ්‍ය සින්ඩිකේට් සංවිධානයට, පලස්තීන ජනතාව වෙත සිය සහයෝගිතාවය ප්‍රකාශ කළහ.

වහාම මේ ජනඝාතක තිරශ්චීන යුද්ධය අවසන්කර පලස්තීන  ජනතාවට තමන්ගේම වූ ස්වාධීන  රාජ්‍යක ජීවත්වීමට අවස්ථාව උදාකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ ලෝක බලවතුන්ගෙන් මෙහිදී දැඩි ලෙස ඉල්ලා සිටිනු ලැබීය.

විශේෂයෙන් ජනමාධ්‍යවේදී 102කට අධික පිරිසක් ඝාතනය කරමින් සිවිල් පුරවැසියන් දසදහස් ගණනින් ඝාතනය කරමින් ඊශ්‍රායල ගෙන යමින් සිටින ම්ලේච්ඡ ජනඝාතක යුද්ධය වහාම නතර කරන ලෙසට දැඩිලෙස බලපෑම් කරමින් මාධ්‍යවේදීන් හා සිවිල් පුරවැසියන් ඉල්ලා සිටින ලදී