2023 ජුලි 28 වෙනිදා බොරැල්ලේ පැවති විරෝධතාවක් වාර්‍තා කොට නිවස බලායමින් සිටියදී, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අනීතිකව අත්අඩංගුවට ගැනීම, පහරදීම සහ ප්‍රතිකාර සඳහා යොමු නොකොට පොලිස් සිර මැදිරියේ රඳවා තබා ගැනීම පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට පියවර ගෙන තිබේ. මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ජාතික සංවිධායකවරයා ද වන ඔහු අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම 2024 ජුනි 11 වැනිදා ගොනු කරනු ලැබීය.මෙම සිද්ධිය හා ආණ්ඩුවේ මාධ්‍ය මර්‍ධනයට එරෙහිව මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය නිකිත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්‍ණයෙන් පහත පළවේ.

නිවේදනය

2024 ජූනි 12

ශ්‍රී ලංකා රජය පොලීසිය යොදවමින් කෙරෙන මාධ්‍ය නිදහස සීමා කිරීම වළක්වමු!

2023 ජුලි 28 වෙනිදා බොරැල්ලේ පැවති විරෝධතාවක් වාර්‍තා කොට නිවස බලායමින් සිටියදී, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අනීතිකව අත්අඩංගුවට ගැනීම, පහරදීම සහ ප්‍රතිකාර සඳහා යොමු නොකොට පොලිස් සිර මැදිරියේ රඳවා තබා ගැනීම පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට ඔහු කටයුතු කළේය. මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ජාතික සංවිධායකවරයා ද වන ඔහු අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම 2024 ජුනි 11 වැනිදා ගොනු කරනු ලැබීය.

එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසප්තිවරයා වූ වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බොරැල්ල පොලිස් ස්ථානාධිපති ජනක විතානගේ සහ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු පිරිසක්, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තකරුවන් කර තිබේ.

තරිඳු උඩුවරගෙදරට එරෙහිව උක්ත සිදුවීමට අදාලව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අතර, මූලික අයිතිවාසිකම් නඩුව ගොනු කරන අවස්ථාව වන විටත් අදාල විරෝධයේදී අත්අඩංගුවට ගැනීමට අදාලව ඔහු කර ඇති වරද කුමක්දැයි නිශ්චිතව චෝදනා ගොනු කිරීමට පොලීසිය අසමත්ව තිබේ. 2024 ජුනි 11 වැනිදා එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී ද පොලීසිය කියා සිටියේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බැවින් කාලය ලබා දෙන ලෙසයි. එහිදී නීතිඥ ස්වස්තිකා අරුලිංගම් ඉල්ලා සිටියේ තවදුරටත් අපරාධමය චෝදනා ගොනු නොකරන්නේ නම්, තරිඳු උඩුවරගෙදර අධිකරණ කටයුත්තෙන් නිදහස් කරන ලෙසයි. මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඊළඟ නඩු වාරය වන විට චෝදනා ගොනු නොකළහොත් එසේ සිදු කරන බවයි.

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයට පත් වීමෙන් පසු මේ දක්වා පොලීසිය විසින් මාධ්‍යවේදීන්ට පහර දීම, අත්අඩංගුවට ගැනීම සහ පීඩාවට පත් කිරීම පිළිබඳ සිදුවීම් ගණනාවක් වාර්‍තා විය. ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) විසින් 2024 මැයි 03 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිදහස පිළිබඳ වාර්‍තාවේ ද ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සීමා කිරීම පිළිබඳ කරුණු සහ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම පිළිබඳව ද එම වාර්‍තාවෙහි සඳහන් විය.

එසේම කුරුණෑගල මාධ්‍යවේදී බිමල් රුහුණගේ සහ බිංගිරිය මාධ්‍යවේදී දිනෙත් කුමාර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ සිදුවීම්ද  ඒ අතර වේ. එම මාධ්‍යවේදීන් දෙදෙනාගේම පැමිණිලි මානව හිමිකම් කොමිසම ඉදිරියේ විභාග කෙරේ. ඒ පිළිබඳව මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය දැඩි ලෙස  විමසිලිමත්ව සිටී. ශ්‍රී ලංකා රජය පොලීසිය යොදවමින් කෙරෙන මාධ්‍ය නිදහස සීමා කිරීමේ ක්‍රියායවන්ට එරෙහිව අධිකරණමය කටයුතුවලට සහ විරෝධය දැක්වීමේ ක්‍රියාකාරකම්වලට යොමු වීමට පසුබට නොවන බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය වැඩිදුරටත් පවසා සිටී.

 

විශ්වාසී,

                                                       

ධර්‍මසිරි ලංකාපේලි

ප්‍රධාන ලේකම්