කඳුළු ගෑස් ගැන තොරතුරු ලබාදන්නැයි RTI කොමිෂම පොලීසියට නියෝග කරයි!

සමාජය සහ සාමයික කේන්ද්‍රය හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාග කළ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව පැමිණිලිකරුවන් විසින් කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්‍තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ලකළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම සම්බන්ධයෙන් ඉල්ලා ඇති තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙස නියෝගකර තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය වෙත නියෝගය කළේ සමාජය සහ සාමයික කේන්ද්‍රය හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන යොමු කළ තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමකට අදාල අභියාචනයක් විභාග කර තීන්දුව ලබා දෙමිනි.

මේ සියළු තොරතුරු මහජන වැදගත්කමක් සහිත තොරතුරු බව තීන්දු කළ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව එම තොරතුරු නොවැම්බර් 14 වැනිදාට පෙර මුදා හරින ලෙස ද වැඩිදුරටත් ශ්‍රී ලංකා පොලිසියට නියෝගකර තිබේ.‍

නොවැම්බර් 14 වැනිදාට පෙර අදාල තොරතුරු පෙත්සම්කරුවන් වෙත මුදා හැරීම්ට ශ්‍රී ලංකා පොලිසිය අපහොසත් වන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියට සහ එහි අදාල නිලධාරීන්ට එරෙහිව තොරතුරු පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද කොමිසම තීන්දුකර තිබේ.

මෙම තොරතුරු ලබාගැනීම  පිළිබඳ ඉල්ලීම ජීවිතයට සහ පෞද්ගලික නිදහසට අදාල තොරතුරු පනතේ ප්‍රතිපාදන යටතේ ඉදිරිපත් කළ ඉල්ලීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව හා ඉල්ලා ඇති තොරතුරු සමාජයේ වඩාත් සංවාදයකට ලක්වූ තොරතුරු බැවින් තොරතුරු නිලධාරීන් ද පනතේ ප්‍රතිපාදන පිළිබඳව මීට වඩා උනන්දුවක් දැක්විය යුතුබව ද කොමිෂන් සභාව සිය තීන්දුව මගින් අවධාරණය කර තිබේ.

මාස දෙකකට ආසන්න කාලයක් පුරා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව මෙම අභියාචනය විභාග කළ අතර එම විභාගය සඳහා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ සමඟ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා පෙනී සිට ඇත.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න, අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු රෝහිණී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන කිෂාලි පින්ටෝ ජයවර්ධන, ජගත් ලියන ආරච්චි සහ මොහොමඩ් නහියා යන කොමසාරිස්රුන්ගේ අත්සන සහිතව ය.

 

 

 

 

බීබීසී (BBC) යට වසර 100 ………. මාධ්‍යවේදීන් ලෙස ඔබට සේවය කළ අපි, අද අසරණයි!

ලියන්නේ කන්තලේ ආර් ජී ධර්‍මදාස

ත්‍රිකුණාමල ලංකාදීප මාධ්‍යවේදිනියක්ව සිටි විශාකා ජයසේකර නංගී වසර විසිතුනකට පමණ පෙරදී එක්තරා දවසක මට හමුවූ අවස්ථාවක මෙසේ පැවසුවාය.

“අයියේ! බී බී සී සංදේශයට ත්‍රිකුණාමල දිසිත්‍රික්කයෙන් වාර්‍තාකරුවෙකු සොයනවා. ඉතාම අපහසුකම් මැද්දේ වාර්‍තාකරණයෙහි යෙදෙන කෙනෙක් තමයි එයාලා හොයන්නේ. මට මේ කථාව කිව්වේ එල්මෝ අයියා. මම ඔයා ගැන කිව්වා. මොකද කියන්නේ කැමතිද?”

විශාකාගේ මෙම යෝජනාවට “එකපයින් ම හා හොඳයි“ කියන්නට තරම් කැමත්තක් මට නොවීය. මන්ද ඇය ඒ වනවිටත් සංදේශයට ප්‍රවෘත්ති ලබාදෙමින් සිටි බැවිනි.

“නංගී එතකොට ඔයා”?

මා ඇසුවේ ඒ නිසය. ඇගේ පිළිතුර වූයේ දෙන්නම එක්ව වැඩකරමු කියා  ය.මම යෝජනාවට කැමත්ත පළ කළෙමි. මා බී බී සී සංදේශයට සම්බන්ධවූයේ එපරිද්දෙනි. එහෙත් සිදුවූයේ එතන්සිට මගෙන් පමණක් ප්‍රවෘත්ති ලබාගනීමය. මා සංදේශයට සම්බන්ධවූයේ විශාකා නංගී නිසා බව මම අදටත් ඉතා නිහතමානීව පවසමි. ඇය දැන් කොහේ සිටී දැයි මම නොදනිමි.

බී බී සී සංදේශයට එක්වීම නිසා මා දැඩිසේ ආදරය කළ ලක්බිම පුවත්පතෙන් සමුගැනීමට මම හිත හදාගත්තෙමි. ලංකාවේ පත්තරයකට ලියනවාට වඩා ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වූ බී බී සී සංදේශයට පුවත් සැපයිම අසීරු කාරියකි. ඒ බව මට වැටහුනේ වැඩකරගෙන යනවිටය.

විශේෂයෙන්ම යුධ බිමක සිට යුද්ධය වාර්‍තා කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. බී බී සි ය කොටි සංවිධානයට පක්ෂව ප්‍රචාරණයක යෙදෙන මාධ්‍ය ආයතනයක් බවට චෝදනා එල්ල වූ පසුබිමක තත්වය වඩාත් භයානක විය. අවි දැරූ සියළු පාර්‍ශවයන්ගෙන් ප්‍රවේශම් වීමට අපට සිදු විය.

කෙසේ හෝ අපි අභියෝගවලට මුහුණ දෙමින් ලොවට සත්‍යය අනාවරණය කළෙමු. යුද්ධය පමණක් නොව විවිධ රසවත් විශේෂංග ද අපේ මාතෘකා අතර විය. අපේ මාධ්‍ය සගයන් වූයේ වව්නියාවේ දිනසේන රතුගමගේ, අම්පාරේ වසන්ත චන්ද්‍රපාල, පොළොන්රුවේ තක්ෂිලා දිල්රුක්ෂී ජයසේන,මඩකළපුවේ ශාන්ති සෙල්වදොරේ, රත්නපුරේ අජිත් ශාන්තලාල් උදය, කොළඹ කේ එස් උදයකුමාර,  හලාවත ප්‍රශාද් පූර්ණමාල් ජයමහ, කොළඹ ඥණසිරි කොත්තිගොඩ ය. මේ අතර බී බී සී තමිල් ඕසේ මාධ්‍යවේදීන් ද අපගේ ගජ මිතුරෝ වූහ. ඔවුන්ගේ නම් මතකයට නඟා ගැනීම අසීරුය. සමාවෙන්න. පසුව තොළඹ බී බී සී වාර්‍තාකරු අසාම් අමින් ද අප අතරට එක්විය. එල්මෝ ප්‍රනාන්දු මහතා අප සියළු දෙනාගේම නියමුවා විය. ඇත්ටම ඔහු නැතිනම් සංදේශයක් නැති තරමිය.

ලන්ඩන් නුවර සිට විකාශය වූ බී බී සී සිංහල අංශයේ ප්‍රධානියාව සිටියේ අප කවුරුත් ආදරය කරන ප්‍රියාත් ලියනගේ මහතාය. දක්ෂ මාධ්වේදීන් වන චන්දන කීර් ති බණ්ඩාර, උපාලි ගජනායක, විමලසේන හේවගේ, ඉන්දිරා රාමනායක, එම් ජේ ආර් ඩේවිඩ්, ඇතුළු තවත් කීපදෙනෙකු ප්‍රියාත් මහතාගේ කාර්‍ය්‍යමණ්ඩලයට අයත් වූහ. එම වකවානුවේ ලොවපුරා ලක්ෂ විසිඑකක ජනතාවක් බී බී සී සිංහල සංදේශයට සවන් දුන්හ.

බී බී සී ලෝක සේවය තම සියවස් පූරණය පසුගිය දා සමරනු ලැබීය. අසන්නට දකින්ට ලැබුන උදානයන් බොහෝය. එහිදී බී බී සි යට පණ දුන් ප්‍රියාත් ලියනගේ, සහ එල්මෝ ප්‍රනාන්දු යන මහත්වරුන් දෙදෙනා ගැන එක වචනයක් අසන්නට දකින්නට නොලැබුනි. හැබයි සුද්දන් පිළිබඳ පුරවරුණාවේ නම් අඩුවක් නොවීය.

ඉතින් ලංකාවේ අප වැනි දුගී තීරුවේ අය ගැන කවර කථා ද? අපට ආවඩන්නැයි අපි කිසිසිවෙකුටත් කිසිසේත් ම නොකියමු. බී බී සී ලෝක සේවයේ ශ්‍රී ලංකාවේ වාර්‍තාකරුවන්ට සිදුකළ අසාධාරණය පමණක් ඉතා සැකවින් කියමු.

බී බී සී ලෝක සේවය යනු මුළු ලොව පුරා ග්‍රාහකයන් විශාල පිරිසක් සිටින අති දැවන්ත සහ පිළිගැනීම අතින් අංක එකේ මාධ්‍ය ආයතනයක් බව අවිවාදිතය. මෙය පවත්වගෙන යන්නේ මහා බ්‍රිතාන්‍යයයි. එම ආයතනය හා සම්බන්ධ මාධ්‍යකරුවන් පුහුණු කිරීම සඳහා වැයකරන ධනස්කන්ධය ද අසීමිත ය. ලංකාවේ අපට ලබාදුනනේ ද එම පුහුණුවම ය.

බී බී සී ආයතනයෙන් විශේෂ හැඳුනුම් පතක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවෙන් විදේශීය මාධ්‍යවේදීන් සඳහා ලබාදෙන හැඳුනුම් පතක් අපට ද නිකුත්කර තිබුනි. මේ අතර වසරක් පාසා අළුත් කෙරෙන ගිවිසුමක් ද අප අතර විය. මේවා බ්‍රිතාන්‍ය රජය දන්නවාද නැද්ද යන්න අපි නොදනිමු. එහෙත් එකක් දනිමු. එනම්, වසර විස්සක්, විසි පහක් ජීවිත පරදුවට තබා බී බී සී සංදේශයට සේවය කළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් තඹ දොයිතුවක්වත් නොදී ඉවත්කර ඇති බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව නොදන්නා බව නම් අපි ඉඳුරාම දනිමු.

දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ලංකාව පාලනය කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. එහිදි බ්‍රිතාන්‍යය රාජකීය හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකිකයන් දස දහස් ගණනින් බඳවා ගැනුනි. යුද්ධය අවසන් වූ වහාම ඔවුන් සියළු දෙනා විශ්‍රාම ගැන්වූයේ මියෙන තුරා ලැබෙන විශ්‍රාම වැටුපක් ද සමඟය. සිය රටේ වැදගත් මාධ්‍ය ආයතනයක සේවය කළ ශ්‍රී ලාංකික මාධ්‍යවේදින් පිරිසක් නිකම්ම නිකම් දොට්ට දමා ඇති බවක් බ්‍රිතාන්‍ය රජය තවමත් නොදන්නා බව අපි සපථකර කියා සිටිමු.

මා ඉතාමත්ම වගකීමෙන් යුතුව ප්‍රකාශකරන්නේ අපට මෙම වින්නැහිය කළේ ප්‍රියාත් මහතාගෙන් පසුව බී බී සී සිංහල අංශයේ ප්‍රධානියා බවට පත්වූ සංගීත් කළුබෝවිල නැමත්තා බවයි. ඔහු ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති විශේෂංග ලෙස දුටුවේ ගැණුන්ගේ යට ඇඳුම්, යෝනි සාර, මාස් සුද්ධිය වැනි ජරා ගොඩවල්ය. එයින් පිටස්තර පුවත් ලෝකයක් ඔහුට නොවීය. අපේ ගැටළු මේ උම්මත්කයාට ගැහැණුන්ගේ යටි බඩවල් තරම් වැගත් නොවීය.

අවසන් වශයෙන් සඳහන් කරන්නට ඇත්තේ බී බී සී ලෝක සේවයට වසර සියයි. එහි සේවය කළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වන අපට ප්‍රශ්ණ කෝටියයි යන්න ය

ධර්‍මදාස කියන ඉහළ කථාවත් අහන්න

තවත් විස්තර දැනගැනීම සඳහා……

 

 

 

 

 

නව මාධ්‍ය සහ ඩිජිටල් ආර්ථිකය තුළ මාධ්‍යවේදීන්ගේ සංවිධාන උපාය මාර්‍ග හඳුණා ගැනීම.

මාධ්‍ය නිවෙිදනය

 

2022 ඔක්තෝබර් 17

නව මාධ්‍ය සහ ඩිජිටල් ආර්ථිකය තුළ මාධ්‍යවේදීන්ගේ සංවිධාන උපාය මාර්‍ග හඳුණා ගැනීම.

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) මග පෙන්වීම හා සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්‍මාන්තය හා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් නගාසිටුවීම වෙනුවෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් වැඩ සටහන් මාලාවක් දියත් කරනු ලැබීය.

තරුණ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති නායකත්වය හා සමස්ථ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීම පිළිබඳව ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයක් ලෙස තමන් මුහුණ දෙන අභියෝග හඳුනාගැනීම හා නව මාධ්‍ය සහ ඩිජිටල් ආර්ථිකය තුළ සංවිධානය වීමට පවතින බාධා සහ උපාය මාර්‍ග හඳුණා ගැනීම වැඩසටහනේ මූලික අරමුණ විය.

ප්‍රධාන වශයෙන් ඩිජිටල් මාධ්‍ය භාවිතාව සමග තරුණ මාධ්‍යවේදීන් අතර සන්නිවේදනය, බඳවා ගැනීම, රඳවා තබා ගැනීම සහ ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමට අවශ්‍ය නව කුසලතා හඳුණාගැනීම මාධ්‍ය සංවිධානයක ප්‍රධාන වගකීමකි.

මේ සඳහාල ජනමාධ්‍යවේදීන් සංවිධානයවීමේ වැදගත්කම හා ඔවුන්ගේ වෘත්තීමය ගැටළු හඳුණාගැනීම හා විසඳුම් සඳහා මෙතෙක් ගෙන ඇති හා ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්‍ගයන් පිළිබඳව සිංහළ හා දමිළ මාධ්‍යවේදීන් 200 පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡා සභා දෙකක් සංවිධානය කෙරිණි. සිංහල හා දෙමළ මාධ්‍යයෙන් මෙම සාකච්ඡා සභා වෙන් වෙන් වශයෙන් සංවිධානය කළ අතර සිංහළ හා ඉංග්‍රීසි මාධ්‍යවේදීන් 140 ක් පමණද, දමිල මාධ්‍යවේදීන් 60 ක් පමණ සහභාගී කරගන්නට සමත්විය.

මෙහි දෙවන වැඩසටහන වනුයේ, සමීක්ෂණයක් මගින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින FMETU සාමාජික මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳ ගවේෂණය කිරීම හා එහි තොරතුරු fmetu.org වෙබ් අඩවිය තුළ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ත්‍රෛභාෂා මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්කිරීම වේ.

සකස් කරන ලද ප්‍රශ්නාවලිය මාර්‍ගගත ගූගල් අයදුම් පත්‍රයක් යොමුකොට මාධ්‍යවේදීන්ගේ දත්ත එක් රැස්කර ගනු ලැබීය. මාධ්‍යවේදීන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයේ සිට සෑම තොරතුරක්ම වෙන් වෙන්ව හඳුණාගැනීම හා ඔවුන් විඳින වෘත්තීමය පීඩාවන් පිළිබඳව හා ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්‍මාන්තය හඳුණා ගැනීමේ අවකාශයක් විවරකර ගැනීම එහි අපේකෂාව විය.

දැනටමත් 340 පමණ වූ මාධ්‍යවේදීන්ගේ එක්රැස් කරගන්නා ලද තොරතුරු සියල්ල fmetu.org වෙබ් අඩවියේ IFJ-UTU 2022 පිටුවෙන් ඔබට විවෘතකර තිබේ.

තෙවන වැඩසටහන තරුණ මාධ්‍යවේදීන් සඳහා වූ ජංගම මාධ්‍යවේදය (Mobile Journalism) පිළිබඳ පුහුණු පාඨමාලාව විය. ඩිජිටල් යුගයේ ජනමාධ්‍ය වාර්‍තාකරණයේ කුසලතා වලින් පිරුණු තරුණ ජනමාධ්‍යවෙදීන් හඳුන්වා දීම මෙම පුහුණු පාඨමාලාවේ අරමුණ විය. මෙම පුහුණුව සඳහා කාන්තාවන් 30% සහ දෙමළ සහ මුස්ලිම් මාධ්‍යවේදීන් 30% වන පරිදි මාධ්‍යවේදීන් 21 දෙනෙකු අයදුම්පත් කැඳවා තෝරාගන්නා ලදී. එක් දින පාඨමාලාවක් ලෙස පැවැති මෙම පුහුණු වැඩසටහන ඩිජිටල් මාධ්‍ය විශේෂඥ ආචාර්‍ය්‍ය සමීර තිලකවර්‍ධන මහතා විසින් පවත්වනු ලැබීය.

පුහුණුවෙන් පසු ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්‍මාන්තය හා මාධ්‍යවෙදීන්ගේ වෘත්තීමය තත්වය පිළිබඳ වීඩියෝපට 15 ක් නිෂ්පාදනය කිරීම පුහුණුකරුවන්ගේ එකඟතාවය විය. ඔවුන් විසින් නිෂ්පාදනය කළ වීඩියෝපට 17 ක් fmetu.org වෙබ් අඩවියේ IFJ-UTU 2022 පිටුවේ දැන් ඔබට නැරඹිය හැක.

මෙම වැඩසටහන මගින් සම්පාදනය කළ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ සමීක්‍ෂණය හරහා එක්රැස් කරන ලද දත්ත, අද ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු සහ වෘත්තීය ප්‍රශ්ණ මතු කර ඇත. තරුණ මාධ්‍යවෙදීන් විසින් නිෂ්පාදනය කරන ලද වීඩියෝපට සියල්ලම පාහේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන පීඩාකාරී අවකාශයන් පිළිබඳව සාකච්ඡා කෙරේ.

අවසාන වශයෙන් මෙම දත්තයන් සමූහය මත පදනම් වූ වාර්‍තාවල ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණ දෙන වෘත්තීය සහ අයිතිවාසිකම් පදනම් කරගත් ගැටළු කම්කරු ඇමතිවරයා, ජනමාධ්‍ය ඇමතිවරයා සහ රජයේ අදාල බලාධාරීන් වෙත යොමු කරන්නට කටයුතු කරමින් සිටිමු.

මෙම වැදගත් කාර්‍ය්‍යය සඳහා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය වෙත සංවිධානමය උපදෙස් දෙමින් මග පෙන්වූ IFJ-UTU 2022 වැඩසටහනට හා ජනමාධ්‍යවෙදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ ආසියා ෆැෂිපික් කලාපයේ අධ්‍යක්ෂිකා ජේන් වර්තින්ටන් හා කාර්‍ය්‍ය මණ්ඩලයටත් කෘතවේදීත්වය පළකර සිටිමු.

මෙයට, විශ්වාසී,

 

 

 

ධර්‍මසිරි ලංකාපේලි                                                                                                                                                                                                                                                                                                               ක්‍රිෂ්ණි ඉෆාමි
ප්‍රධාන ලේකම්                                                                                                                                                                                                                                                                                                                         සභාපති
077 364 1111                                                                                                                                                                                                                                                                                                                               077 798 6818

මානව විරෝධී, පීඩාකාරී
”‍නිල රහස් පනත”‍
වහා අහෝසි කරනු!

මාධ්‍ය නිවේදනය
2022 සැප්තැම්බර් 29

මානව විරෝධී, පීඩාකාරී ”‍නිල රහස් පනත”‍ වහා අහෝසි කරනු!

රජය විසින් කොළඹ නගරය තුළ, රජයේ ගොඩනැගිලි, අධිකරණ බල ප්‍රදේශ ආදී වශයෙන් විශාල භූමි ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. කවර රජයක් හෝ මෑත භාගයේ භාවිතා නොකළ ”‍නිල රහස් පනත”‍ අවභාවිත කරමින් මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙන බවට ශ්‍රී ලංකා රජය වෙත බරපතල ලෙස චෝදනා එල්ල වෙමින් තිබේ.

සැප්තැම්බර් 23 දින නිකුත් කළ මෙම ගැසට් පත්‍රය මගින් නම්කර ඇති “අධි ආරක්‍ෂිත කලාප” තුළ ඕනෑම මහජන රැස්වීමක් පැවැත්වීමට පොලිසියේ ලිඛිත අවසරය පැය හයකට පෙර ලබාගැනීම අවශ්‍ය වේ.

මෙම කලාපයන් තුළ සිටින ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසියට පුළුල් බලයක් ඇති අතර, එහිදී අත් අඩංගුවට ගන්නා අයට ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයක් මගින් පමණක් බව සඳහන් කෙරේ. මෙම දැඩි සීමා කිරීම් මගින් ජනතාවට ඇති සාමකාමීව රැස්වීම සහ අදහස් ප්‍රකාශනයේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව අනීතික ලෙස බලය යෙදවීමට රජය පියවර ගනිමින් සිටින බව පැහැදිළිය.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස නීති විරෝධී ලෙස සීමා කරන ලෙස පනවා තිබෙන මෙම නව රෙගුලාසි ඉවත් කරගන්නා ලෙස දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන හා තවත් විවිධ සංවිධාන රජයට බලකරමින් තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් කරමින් කිසිදු සාධාරණ හෝ නීතිමය පදනමකින් තොරව පුරවැසියාගේ නිදහස සැලකිය යුතු ලෙස කප්පාදු කිරීමට රජය උත්සාහ කරන බව සඳහන් කර සිටී. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ මෙම පනත මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කෙරෙන බවකි. මෙම යල් පැනගිය නීතිය ඉවත් කරගන්නා ලෙසට රජයට වැඩිදුරටත් යෝජනාකර තිබේ.

රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 167න් සමන්විත, ලක්ෂ හයකට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක් සාමාජිකත්වය දරණ ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සමග එකතුවෙමින් මාධ්‍ය සේවක වෘත්තී‍ය සමිති සම්මේලනය භාෂණයේ හා ප්‍රකාශණයේ මූලික මිනිස් අයිතිවාසිකම් නොසළකා හරිමින් ජනතාව වෙත එල්ල කෙරෙන මෙම මානව විරෝධී, පීඩාකාරී පනත වහාම හකුලා ගන්නා ලෙස රජයට බලකර සිටී.

ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්
077 364 1111

තරුණ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සවිබල ගන්වමින්, ඔවුන්ගේ මූලික වෘත්තීය අයිතිවාසිකම් තහවුරු කිරීම!

තරුණ මාධ්‍යවේදීන්, ස්ත්‍රී පුරුෂ 21 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක්, සියලුම දිස්ත්‍රික්ක සහ සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරමින් 2022 සැප්තැම්බර් 3 වන දින දවසපුරා ඩිජිටල් මාධ්‍යකරණය පිළිබඳ උසස් වැඩසටහනක් හා සම්බන්ධ විය.

මෙම වැඩසටහන මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) විසින් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය වාර්ෂිකව මෙහෙයවන IFJ – UTU ව්‍යාපෘතිය මගින් සංවිධානය කරන ලදී. ඩිජිටල් ආර්ථිකය තුළ ඵලදායී ලෙස ජනමාධ්‍යකරණයේ නියැලීමට හා ජනමාධ්‍ය වෘත්තීකයන්ගේ මූලික වෘත්තීය අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා තරුණ මාධ්‍යවේදීන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හා සම්බන්ධ කරමින්, සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

සම්පූර්ණ වැඩසටහන ජංගම මාධ්‍යවේදය (Mojo Journalism) පිළිබඳ අන්තර්ර්ක්‍රියාකාරී ප්‍රායෝගික පුහුණුවකින් සමන්විත පුහුණු වැඩ සටහනක් විය. වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරු වූයේ ඩිජිටල් මාධ්‍යකරණය පිළිබඳ විශේෂඥ, ආචාර්ය සමීර තිලකවර්ධනය. ඔහු විවෘත විශ්ව විද්‍යාලයේ විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යයවරයෙකි. වැඩසටහනට සම්බන්ධ වූ තරුණ මාධ්‍යවේදීන් විෂයානුබද්ධ බොහෝ කරුණු ඉගෙන ගත් අතර ඔවුන් කණ්ඩායම්වලට බෙදී කෙටි වීඩියෝ පට කිහියක් නිෂ්පාදනය කරමින් බොහෝ විනෝදජනක අත්දැකීමක් ලැබීය.

පුහුණුව ලැබූ මාධ්‍යවේදීන්, තමන්ගේ වෘත්තීය අයිකිවාසිකම් සහ මාධ්‍ය කර්මාන්තයට අදාළ ගැටළු ඉස්මතු කරන වීඩියෝපට ඉදිරිපත්කර ඒ සියළුම වීඩියෝපඨ fmetu.org වෙබ් අඩවිය හරහා ජනගත කිරීමට බලාපොරොත්තු වේ.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) මග පෙන්වීම හා සම්පත් දායකත්වයටත්, ආචාර්ය සමීර තිලකවර්ධන මහතාට සහ රේන්බෝ සන්නිවේදන ආයතනයටත් මෙම වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස නිමකර ගැනීමට ලබාදුන් සියලු සහයෝගයන් පිළිබඳව ඔවුනට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සිය කෘතඥතාව පළකර සිටී.

වැඩසටහනේ තවත් පින්තූර රාමු කිහිපයක් පහත පළවේ.

මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන FMETU-IFJ-UTU 2022 වැඩ සටහන!

IFJ-UTU 2022 වැඩ සටහන FMETU සාමාජික මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ශක්තිමත් කිරීම, ඔවුන්ගේ තොරතුරු මත පදනම් වූ දත්ත සටහනක් ක්‍රියාත්මක කිරීම හා වෘත්තීය ගැටළු පිළිබඳව යොමුවූ කෙටි වීඩියෝ පට 15 ක් අන්තර්ජාල ගත කිරීම මෙම වැඩ සටහනේ මූලිකම ක්‍රියාමාර්ග වේ.

කලාපීය ජනමාධ්‍ය සංවිධාන ශක්තිමත් කිරීම වෙනුවෙන් IFJ-UTU උපකාරක වැඩ සටහන වාර්ෂිකව IFJ Asia Pacific කාර්‍ය්‍යාලය විසින් මෙහෙයවනු ලබයි.

ජනමාධ්‍යවේදීන්ගේ මූලික වෘත්තීය අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් බලපෑම් කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම පිණිස මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් දැනුවත් කිරීම මෙම වැඩ සටහන මගින් සිදුකිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සමඟ තරුණ මාධ්‍යවේදීන් සංවිධානය කිරීම පිළිබඳව, සාමාජික සාමාජිකාවන්ගේ අදහස් හා සාකච්ඡාව තුළින් ඔවුන් බල ගැන්වීම මෙම වැඩ සටහනේ මුලික ඉලක්කයකි. වෘත්තීය සමිතියක් ලෙස ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සහ නව ලෝකයේ ඩිජිටල් ආර්ථිකය තුළ ඵලදායී ලෙස සාමාජිකයන්ගේ දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම මෙන්ම ඔවුන් දැනුමෙන් සන්නද්ධ කිරීම මෙම සටහනෙන් අපේක්ෂා කෙරේ.

2022 අගෝස්තු 27 වන දින රට පුරා මාධ්‍යවේදීන් 300 කගේ සහභාගීත්වය අපේක්ෂාවෙන් සිංහල සහ දෙමළ භාෂා මාධ්‍ය දෙකෙන්ම මෙහි මාර්‍ගගත සාකච්ඡාව සංවිධානය කර සාර්ථකව අවසන් කරනු ලැබීය.

උක්ත වැඩ සටහන යටතේ තරුණ මාධ්‍යවේදිනියන්, මාධ්‍යවේදීන්, 20 දෙනෙකු ඩිජිටල් මාධ්‍ය පුහුණු වඩසටහනක් සඳහා ද යොමුකර තිබේ. සැප්තැම්බර් 03 වෙනි දින දවස පුරා විශේෂඥ දැනුමැති පුහුණුකරුවෙකුගේ උපදේශකත්වය මත මෙම තරුණ මාධ්‍යවේදීන් පුහුණු කිරීමට නියමිතය.

එම පුහුණුවෙන් පසු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන්ගේ වෘත්තීය ප්‍රශ්ණ හා ඔවුන් මුහුණදෙන අභියෝගයන් පිළිබඳව විමර්‍ශනාත්මක වීඩියෝ පට 15ක් fmetu.org වෙබ් අඩවිය හරහා සමාජගත කිරීමට පියවර ගනු ලැබේ.

වැඩසටහන අවසානයේ මේ සියළු ක්‍රියාකාරකම් ඇසුරෙන් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ප්‍රශ්ණ හා අභියෝගයන් පිළිබඳ ගොනුකරනු ලබන වාර්‍තාවක් fmetu.org හරහා අන්තර් ජාලයට මුදාහැරේ. මේ වාර්‍තාව රජයේ බලධාරීන්ට යොමුකර වගකිවයුත්තන් සමග සාකච්ඡාමය ප්‍රවේශයකට යොමුවීමට ද මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අදහස් කරයි.

විධිමත් වෘත්තීය ගරුත්වයකින් යුතු වෘත්තීමය මාධ්‍යවේදීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්‍මාන්තය තුළ තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි සහෝදරයා ජනමාධ්‍යවේදීන්ගේ මහගෙදර fmetu.org හමුවේ පවසා සිටී.

 

 

මෙම උද්ඝෝෂණික වැඩසටහන සමග සම්බන්ධ වෙන්නට කැමති අය සැප්තැම්බර් 05 වෙනිදාට පෙර https://tinyurl.com/FMETU-PROFILE ගූගල අයදුම්පත්‍රය පුරවා සහයෝගය පළකරන ලෙස සංවිධායකයන් ඉල්ලා සිටී

සාමකාමී අරගලකරුවන්ට සන්නද්ධ හමුදා විසින් මැදියම් රැයේ එල්ල කළ හදිසි ප්‍රහාරය වියරුවක්!

22 ජූලි 2022
මාධ්‍ය නිවේදනය

සාමකාමී අරගලකරුවන්ට සන්නද්ධ හමුදා විසින් මැදියම් රැයේ එල්ල කළ හදිසි ප්‍රහාරය වියරුවක්!

ගාලු‍ මුවදොර අරගල බිමේ රැඳීසිටි විරෝධතාකරුවන් වැටලූ, දහස් ගණනින් සන්නද්ධ ආරක්ෂක හමුදා ඊයේ මැදියම් රැයේ එල්ල කළ බිහිසුනු ප්‍රහාරය ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සියළු ජනකොටස් හෙළාදකිනු නොඅනුමාන බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශකර සිටී.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත්වීමට අරගලකරුවන් තින්දුකර තිබූ අවස්ථාවක, අරගල බිමේ රැඳීසිටි නිරායුද පිරිස්වලට හා විශේෂයෙන් එහි වාර්‍තාකරණයේ නියැළෙමින් සිටි දෙස් විදෙස් මාධ්‍යවේදීන් වෙත බිහිසුණු ප්‍රහාරයක් එල්ලකර තිබේ. බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බවද වාර්‍තා වේ. මේ වනවිට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරක් නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේද? පහරකෑමට ලක්වීම නිසා රෝහල් ගත තිබේද? කිසිදු තොරතුරක් ලබාදීමට රජයේ වගකිව යුත්තෙකු ඉදිරිපත් නොවීම මෙම ප්‍රහාරයේ බිහිසුණු බව මොනවට පැහැදිළි සාක්ෂියකි.

නීතිඥවරුන් සහ මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළ ද පිළිතුරක් ලබාදීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම හෙළාදැකිය යුතුය. මේ තත්වයන් අනුව මෙම ප්‍රහාරය රටේ නව ජනාධිපතිවරයා දිවුරුම්දී පැය කිහිපයක් තුළ රජයේ බලධාරීන්ගේ උපදෙස් පරිදි එල්ල කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී බිහිසුනු ප්‍රහාරයකි. නව ජනාධිපතිවරයාගේ කථාව හා ක්‍රියාවන් අතර පවතින වෙනස මැන ගැනීමට හොඳම සාධකයක් මේ සිදුවීම තහවුරු කරනු ලබයි.

හදිසි නීතිය යොදා ගනිමින් භාෂණයේ නිදහසට එල්ල කළ මෙම බිහිසුනු ප්‍රහාරය ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියළු පිරිස් දැඩිව හෙළාදැකිය යුතු අතර නව ජනාධිපතිවරයාගේ හා රජයේ මෙම ක්‍රියාමාර්‍ග පිටුදැකීමට හා රටතුළ ප්‍රජාත්න්ත්‍රවාදය තහවුරු කිරීමට වහාම මැදිහත්වීම ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන හා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන සතු මගහැරිය නොහැකි වගකීමක් බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රකාශකර සිටී.

මෙයට, විශවාසී,

ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්

අරගල නියමුවන් මාධ්‍ය ආයතන තුළට කඩාවැදීම නොසිදුවිය යුතු ක්‍රියාවක්!

මාධ්‍ය නිවේදනය

14. 07. 2022

අරගල නියමුවන් මාධ්‍ය ආයතන තුළට කඩාවැදීම නොසිදුවිය යුතු ක්‍රියාවක්

පසුගිය දින කිහිපය තුළ රාජ්‍ය හා පුද්ගලික රූපවාහිනි නාලිකා තුළට ඇතුල්වී එම ආයතනයන්හී මාධ්‍ය කටයුතුවලට බලපෑම් එල්ල කිරීමට අරගලකරුවන්ගේ නියෝජිත පිරිසකගේ මැදිහත්වීම මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය අනුමත නොකරනු ලබයි. “මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය” රටවල් 146 මාධ්‍ය සංවිධාන 187න් සමන්විත, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) සාමාජික සංවිධානයකි.

රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය හැසිරීම හා මාධ්‍යවේදීන්ගේ, කර්තෘ මණ්ඩල නිදහස, ජනතාව වෙත සමීප කරනු ලබන තොරතුරු පිළිබඳ පාර්ශ්වීයභාවය දීර්‍ඝ කාලයක් තිස්සේ අප සම්මේලනයේ ද දැඩි විවේචනයට ලක්වූ තත්වයක් බව ප්‍රකාශකර සිටී. එවැනි තත්වයක් බලහත්කාරී, ඒකපාර්ශවීය ප්‍රවේශයන් මගින් වෙනස් කිරීමට බලපෑම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට මෙන්ම නිදහස් මාධ්‍ය සම්ප්‍රදායන්ට ද පටහැනි ක්‍රියාවකි. පසුගිය 13 වෙනි දින ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට බලහත්කාරී ලෙස ඇතුල්වී එහි වැඩ සටහන් අත්හිටුවා අරගලකරුවන් ලෙස පෙනී සිටි අයවළුන්ගේ අදහස්, බලපෑම්කර සජීවී ලෙස විකාශය කිරීම නිදහස් මාධ්‍ය සම්ප්‍රදායන්ට එල්ල කරනු ලැබූ මරු පහරක් බව කිව යුතුය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය මෙන්ම පුද්ගලික මාධ්‍ය ‘මහජන සේවා ජනමාධ්‍ය’ (Public Service Media) බවට පරිවර්ථනය කිරීමට පසුගිය දශක දෙකකට කාලයක් පුරාවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ප්‍රමුඛ ජනමාධ්‍ය සංවිධාන අරගල කරමින් සිටිනුයේ රට තුළ ඔබ බලාපොරොත්තු වන නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිවය.

පසුගිය දසක ගණනාවක් පුරාවට රාජ්‍ය පාලනයේ, ජනතා විරෝධී ක්‍රියාපරිපාටීන් නිසා පීඩාවට පත්ව සිටින ජනතාව දහස් ගණන් අරගල බිමට එකතුවෙමින් ගනු ලබන සාමූහික ප්‍රයත්නයන්ට මෙන්ම ප්‍රජාතාන්ත්‍රවාදය දිනා ගැනීමේ අරගලයට ද මෙවැනි ක්‍රියා බාධා මතුකරන බව අප තේරුම් ගතයුතුව තිබේ.

භාෂණයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික පදනමක් බව අවධාරණය කරන මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය මෙවැනි ක්‍රියාවන් සමාජ, ආර්ථික, දේශපාලන නිදහස වෙනුවෙන් මෙහෙයවන අරගලයන්ට සිදු කෙරෙන බාධාවක් බව සටහන් කිරීම වටී. මෙවැනි අර්ථ ශූන්‍ය ක්‍රියාවන්ගෙන් වැළකී මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායක් තහවුරු කිරීම වෙනුවෙන් මාධ්‍ය සංවිධාන ගෙනයන අරගලයද, වත්මන් ප්‍රශස්ත අරගලය සමග ඒකාබද්ධ කිරීමට සමස්ථ ජනසමාජයට අප සම්මේලනය යෝජනාකර සිටී.

මෙයට, විශ්වාසී,

ධර්මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිවස අසල වාර්තාකරණයේ නියැලි මාධ්‍යවේදීන්ට සිදුකළ ම්ලේච්ඡ පහරදීම!

 

මාධ්‍ය නිවේදනය

2022 ජූලි 09

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිවස අසල වාර්තාකරණයේ නියැලි මාධ්‍යවේදීන්ට සිදුකළ ම්ලේච්ඡ පහරදීම!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ආසන්නයේ වාර්තා කරන කටයුතු වල නිරත වෙමින් සිටී සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන්, සිව්දෙනෙකුට, ඔවුන් මුදා ගැනීමට පැමිණි තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට සහ දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදියෙකුට පොලිස් සහ පොලිස් විශේෂ බළකා නිලධාරීන් විසින් ඉතා අමානුෂික ලෙස පහරදීම මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සමඟ එකතු වෙමින් දැඩිව හෙලා දකී.

මෙම පහර දීමට අමතරව මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම පසුගිය දින කිහිපය තුළ ස්ථාන ගනනාවකදී ආරක්ෂක අංශවල බලපෑමට හා තර්ජනයට ලක්විමට සිදුවූ බව වාර්තාවේ. මෙම පහරදීම්, බලපෑම් හා තර්ජනය කිරීම් සිදු කරනු ලබන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට වන අතර එය මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස අප සලකනු ලබයි. එම මූලික මිනිස් අයිතිවාසිකම් කඩකළ නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව අප සම්මේලනය පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

මෙම කෲර පහරදීම් වලට හා වධ හිංසාවට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පැමිණවීම පොලිස්පතිවරයාගේ වගකීම වන බව අප සම්මේලනය දැඩිව විශ්වාස කරනු ලබයි. ජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳි සිටින ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමද මෙවැනි සිදුවීම් පිළිබඳව මැදිහත් විය යුතු බව අවධාරණය කර සිටී.

මෙම ප්‍රහාර හා බලපෑම් සම්බන්ධයෙන් කඩිනම් පුළුල් පරීක්ෂණ සිදුකර මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කරන ලෙසත්, ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති මුලික අයිතිය ආරක්ෂා කිරීමට වගකීමකින් මැදිහත් වන ලෙසත්, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සියළු බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

මෙයට, විශ්වාසි,

ධර්මසිරි ලංකාපේලි,

ප්‍රධාන ලේකම්.

 

 

 

තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් දඟගෙට යන ජූලියන් ඇසේන්ජ්..

ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ මුර බල්ලෙකු යැයි හඳුන්වා ගන්නා එක්සත් ජනපදය විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසේන්ජ් දඩයම් කිරීම අත් හැරීමට සූදානම් නැත. පසුගිය දා එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් ප්‍රීති පතේල්, අධිකරණ තීන්දුව පදනම්ව එක්සත් ජනපදය ඉල්ලා සිටින ආකාරයට ජූලියන් එම රටට භාරදීමට අනුමැතිය ලබා දුන්නාය. එම තීරණය ගැන අභියාචනයක් ඉදිරිපත් කිරීමට තවත් අවස්ථාවක් පවතින නමුත් පතේල් ගේ තීරණය වෙනස්වනු ඇතැයි සිතිය නොහැකිය.

එක්සත් ජනපදය විසින් ජූලියන් ඇසේන්ජ් දඩයම් කිරීම ආරම්භ වූයේ ඔහු 2010 සහ 2011 වසරවල එක්සත් ජනපදය විසින් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සිදු කරන ලද, පැහැදිලිව ම යුද අපරාධ වශයෙන් හැඳින්විය හැකි සිද්ධීන් ගණනාවක් සහ ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයන් ගුවන්තනමෝ කඳවුරේ දී වධ හිංසාවට ලක් කළ ආකාරය දැක්වෙන වාර්තා එළි දැක්වීම නිසාය. එක්සත් ජනපද හමුදාව විසින්ම රූ ගත කරන ලද වීඩියෝ පටි අනුව බැග්ඩෑඞ් නගරයේ සාමාන්‍ය වැසියන් මෙන්ම රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවෙකු හෙලිකොප්ටරයකින් එලල කරන ලද ප‍්‍රහාරවලින් මරා දැමෙන ආකාරය නිරූපනය වී තිබිණ. මෙම සිද්ධීන් පිළිබඳව විධිමත් පරීක්ෂණ කිසිවක් සිදුව නැත. ඒ සියල්ල යටපත් කර තිබිණ.

ගුවන්තනමෝ කඳවුරේ දී ඉරාක සහ ඇෆ්ගනිස්තානු සිරකරුවන්ට අමානුෂික ආකාරයෙන් වධ හිංසා පැමිණවීමට අමතරව ගැටුම්වලට කිසිසේත් සම්බන්ධයක් නැති අහිංසක පුද්ගලයන් ද රඳවා තිබිණ. ඒ අතර ඩිමෙන්ෂියා වැනි මානසික රෝගි තත්වයෙන් පසුවන 89 හැවිරිදි මහල්ලෙකු සහ 14 හැවිරිදි ළමයෙකු ද සිටින බව විකිලීක්ස් මගින් පළ කළ වාර්තාවල සඳහන් විය. මීට අමතරව ලෝකයේ බොහෝ රටවල එක්සත් ජනපද තානාපති කාර්යාල මගින් කරන ලද ඔත්තු බැලීම් පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික වාර්තා 250,000ට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කෙරිණ. මෙම තොරතුරු හෙළිවීම නිසා මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජනපදයේ නිරුවත් භාවය හෙළි කෙරිණ. වෙනත් රටවල සිදුවන මෙවැනි අපරාධ අන්තර්ජාතික අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමටත් තවත් රටවල් සම්බන්ධයෙන් සම්බාධක පැනවීමටත් කිසි විටෙක පසුබට නොවන එක්සත් ජනපදයේ ව්‍යාජ හැසිරීම ලෝකය ඉදිරියේ හෙළි විය.

ජර්මනියේ හිට්ලර් පාලනය යටතේ සිදු වූ සහ කුරිරු ඒකාධිපති පාලනයක් යටතේ පමණක් සිදුවිය හැකි මෙවැනි අපරාධ හෙළිදරවු වූ විට මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අව්‍යාජ ව පෙනී සිටින රටක් වශයෙන් කළ යුතුව තිබුණේ ප‍්‍රමාද වී හෝ අපරාධ කරුවන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කිරීම ය. එක්සත් ජනපදය අනෙක් රටවල්වලින් ඉල්ලා සිටින්නේ ද එයයි. එහෙත් විකිලීක්ස් හෙළිදරව්ව සම්බන්ධයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පුවත් පත් නිදහසේ’ මුරදේවාතාවුන් වශයෙන් පෙනී සිටින එක්සත් ජනපදය ක්‍රියාත්මක වූයේ අපරාධය හෙළි කළ අය දඩයම් කිරීම ය. ඒ අනුව විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසේන්ජ් අත් අඩංගුවට ගැනීමට සූදානම් විය. ඇමරිකානු රජයේ අත් අඩංගුවට පත්වීම ජීවිතයට අනතුරක් බව දුටු ජූලියන් ඉන් මිදීමට ලන්ඩන් නගරයේ ඉක්වැදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය ලබා ගත්තේය. තානාපති කාර්යාලයට හිමි රාජ්‍ය තාන්ත්‍රික වරප‍්‍රසාද නිසා බ්‍රිතාන්‍ය පොලීසිය එහි ඇතුළු නොවු නමුත් තානාපති කාර්යාලයෙන් පිට වූ වහාම අත් අඩංගුවට ගැනීමට එම කාර්යාලය වටලා ගත්හ. 2012 සිට 2019 දක්වා වසර හතකට අධික කාලයක් ජූලියන් තානාපති කාර්යාලයේ කාමරයතට සීමාව සිටියේය.

2022June30[1]julian_assange
ජූලියන් ඇසේන්ජ් [Julian Assange] ගිනිකොනදිග ලන්ඩන් බෙල්මාර්ෂ් [Belmarsh] බන්ධනාගාරදී.. 2020 අගෝස්තු

ඉක්වැදෝරයේ එක්සත් ජනපදයට හිතවත් පාලනයක් ඇතිවීම නිසා ජූලියන්ගේ දේශපාලන රැකවරණය ඉවත්කිරීමත් සමග බ්‍රිතාන්‍ය පොලීසිය ඔහු බලහත්කාරයෙන්ම රැගෙනවිත් බ්‍රිතාන්‍යයේ දරුණුතම සිර ගෙයක් වන බෙල්මාර්ෂ් හි හුදකලා කොට රඳවා ගෙන සිටී. කලින් අධිකරණයකින් ඔහු නිදහස් කළ ද බ්‍රිතාන්‍ය පොලීසිය විසින් ඇමරිකානු රජයේ බලපෑම මත ඔහු දිගටම සිරගත කර ගෙන සිටියි.

ජූලියන් ඇසේන්ජ්ට විරුද්ධව එක්සත් ජනපදය චෝදනා කරන්නේ ඔත්තු බැලීමේ පනතක් යටතේය. එම පනත යටතේ චෝදනා 18ක් ඉදිරිපත් කර ඇති අතර ඒවා ඔප්පු වුවහොත් ඔහුට වසර 175ක සිර දඬුවමක් නියම වනු ඇත. මෙවැනි චෝදනා පිළිබඳ ව එක්සත් ජනපද අධිකරණය අතීතයේ ක්‍රියාකර ඇති ආකාරය සැලකිල්ලට ගන්නා නීතිවේදීන්ගේ අදහස ජූලියන් ට එරෙහිව නගා ඇති සියලු චෝදනාවලින් වැරදිකරු කිරීමට බෙහෙවින් ඉඩ ඇති බව යි. එමනිසා එය බොහෝ දුරට තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ජූලියන් ගේ අවසානය විය හැකිය.

එක්සත් ජනපදයට ජූලියන් අවශ්‍ය වන්නේ ඔහු කරන ලද හෙළිදරව් නිසාය. පැහැදිලිව ම යුද අපරාධ වශයෙන් හැඳින්විය හැති එම සිද්ධීන් ඔත්තු බැලීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන්නේ අත්තනෝමතික පාලනයක් යටතේ පමණි. ඔහු කරන ලද හෙළිදරවු එක්සත් ජනපදයේ ආරක්ෂාවට තර්ජනයක් යැයි හැඳින්වුවත් සැබැවින් ම ඉන් සිදුව ඇත්තේ එක්සත් ජනපදයේ හමුදා මෙහෙයුම් සිවිල් වැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව හෙළි විමය. මෙම හෙළිදරවු කිරීම් නොවුයේ නම් ඇෆ්ගනිස්ථානයේ විවාහ උත්සවයක් පැවැත්වූ ස්ථානයකට ඇමරිකානු ගුවන් ප්‍රහාර එල්ල වූ ආකාරයත් ඇප්ගනිස්ථානයේම රෝහල් ඇමරිකානු භටයන්ගේ ඉලක්ක වූ ආකාරයත් සෙසු ලෝකයා පමණක් නොව ඇමරිකානු ජනතාව පවා දන්නේ නැත. මෙම තොරතුරු ජනතාව අතට පත් කිරීම එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද තොරතුරු දැන ගැනීමේ අයිතියෙන් ද තහවුරු කර ඇති නීතිමය ප‍්‍රතිපාදනයන් ය.

එහෙත් පුදුමයට කාරණයක් වන්නේ රුසියාව විසින් යුක්‍රේනයේ සිදු කරන්නේයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් මහත් හඬ නගන ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය පවා ජූලියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මුනිවත රැකීම ය. එය සැබැවින් ම අපරාධය සිදු කළ අය වෙනුවෙන් පෙනී සිටීමකි.

කෙසේ වුවත් තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින සමහර ආයතන එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ මෙම පියවර විවේචනයට ලක් කර ඇත. මාධ්‍ය නිදහස ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නිල්ස් මෙල්ස්නර් ජූලියන් හුදකලාව සිරගත කොට තැබීම හැඳින් වූයේ වධ හිංසා පැමිණවීමක් සේය. ඒ පිළිබඳව එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන රටවල් දෙකම වගකිව යුතුයැයි ඔහු හැඳින් වූයේය.

ජූලියන් එක්සත් ජනපදයට භාර දීමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික පෙඩරේෂණයේ සභාපති ඩොමිනික්, ජූලියන් මරණ දඬුවමට ලක්වීමේ අවධානමක් ඇති ජනමාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලන සිරකරුවෙකු වශයෙන් හැඳින් වූයේය. ජනමාධ්‍ය නිදහස අගය කරන සියලු දෙනාම මෙම හිතුවක්කාර තීරණයට විරුද්ධ විය යුතු යැයි ඔහු අවධාරණය කෙළේය.

2022June30[1]_stellamorischildren
ස්ටෙලා මොරිස් සහ පුතුන්, ගේබ්රියෙල් (දකුණේ) සහ මැක්ස් (වමේ) බෙල්මාර්ෂ් බන්ධනාගාරය අසල [2020 අගොස්තු]

වෙනත් සාකච්ඡාවක දී කරුණු දැක් වූ ජූලියන් ගේ බිරිඳ ස්ටෙලා මොරිස් ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම් ප‍්‍රීති පතේල් ගේ තීරණයෙන් පසුව වෙනත් සිර මැදිරියකට ගෙන යන ලද ඔහුට අමුත්තන් මුණ ගැසීමට අවස්ථාවක් පවා ලබා නොදුන් බවත් ඔහු නිරුවත් කොට දවසක් ම රඳවා තැබීමෙන් වධ හිංසාවන්ට ලක් කර ඇති බවත් පැවසුවා ය.

එක්සත් ජනපදය ජූලියන් දඩයම් කරන්නේ ඔහුගේ සංස්කාරත්වයෙන් පළ කළ විකිලීක්ස් හෙළදරවු නිසා විදේශවල සේවය කරන ඇමරිකානු ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයකි යන චෝදනාවයි. එහෙත් එවැනි චෝදනාවක් නිසා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට තහංචි පැනවීමත් තොරතුරු හෙළි කළ අයට දඬුවම් දීමත් සාධාරණය කළ නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේයැයි යන කඩතුරාව නිසා යුද්ධයේ දී පිළිපැදිය යුතු ජිනීවා සම්මුතීන් කඩ කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. යුද්ධයක් පවතින අවස්ථාවක දී වුවද සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගැටුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන් බැඳී සිටී. එම අයිතිය හමුදාවේ ආරක්ෂාව යන දුහුල් පටකින් වසා දැමිය නොහැකිය.

ජූලියන් ඇසෙන්ජ් දඩයම් කිරීමෙන් එක්සත් ජනපදය සහ එහි මිතුරු රටවල් නැවත වරක් තහවුරු කරන්නේ මානව අයිතිවාසිකම් සහ මූලික නිදහස යන සංකල්ප ඔවුන්ට කැමති ආකාරයට නිර්වචනය කළ හැකි හිස් වදන් බවය. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නිල්ස් මෙල්ස්නර් නැවත නැවතත් අවධාරණය කර ඇති ආකාරයට එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ජූලියන් වධ හිංසාවන්ට ලක් කර තිබුණ ද ඒ පිළිබඳ එම රටවල් තැකීමක් කර නැත. මෙක්සිකෝ ජනාධිපති ලොපෙස් ඔබ්‍රඩොර් පුවත් පත් සාකච්ඡාවක දී ඇමරිකානු හමුදා භටයන් බැග්බෑඞ් නගරයේ දී ගුවනින් සාමාන්‍ය වැසියන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය දැක්වෙන වීඩියෝ පටිය ප‍්‍රදර්ශනය කරමින් එය පැහැදිලිව ම යුද අපරාධයක් නිසා එම වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවත්, තමා ඉදිරි දිනක ඇමරිකානු ජනාධිපති හමුවන විට මෙම කරුණු මත කරන බවත්  පැවසුවේය.

දුර්වල මානසික තත්වයක පසුවන ජූලියන් හුදකලාව සිර ගත කර සිටීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් විය හැකි බව වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් ප්‍රමුඛ කීර්තිමත් පුද්ගලයන් ද කරුණු ඉදිරිපත් කර තිබිය දී ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වීමෙන් එක්සත් ජනපදය සහ බටහිර රටවල් මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන් මානව අයිතිවාසිකම් තම දේශපාලන වුවමනාවන්ට යටපත් කරන බව නැවත වරක් සනාථ කර ඇත. කෙසේ වුවත් ජූලියන් ඇසේන්ජ් තොරතුරු දැන ගැනීමේ ශුද්ධ වූ අයිතිය වෙනුවෙන් ජීවිතය කැප කළ වීරයෙකු වශයෙන් ජනතා සිත් සතන් තුළ සදා ජීවත් වනු ඇත.

Mahinda Hattaka
Thanks To

ඔබට ගැටළු තිබේද?
අපව අමතන්න,
නැත්නම් පැමිණෙන්න.

+[94] 773 641 111

අංක 30,
අමරසේකර මාවත,
කොළඹ 05.
ශ්‍රී ලංකාව.

info@fmetu.org

Newsletter

Get latest news & update

© 2021 – FMETU. All rights reserved.

Carefully crafted by Cyber Ceylon