මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීමේ චූදිතයන් තිදෙනෙකු නිදහස් කිරීමට වූ නීතිපතිවරයාගේ නිරදේශයට එරෙහිව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක තරිඳු උඩුවරගෙදර නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්‍ණයෙන් පහත පළවේ.

2025 පෙබරවාරි 28

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ චූදිතයන්  නිදහස් කිරීම හෙළා දකිමු!

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීමේ චූදිතයන් තිදෙනෙකු  නිදහස් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දී ඝාතනයට අදාල විමර්‍ශන යටගැසීමට නීතීපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ ගෙන ඇති තීරණය මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේනලය දැඩි පිළිකුලෙන් සහ වේදනාවෙන් යුක්තව හෙළා දකී.

ජනවාරි 27 දිනැති ලිපිය මගින් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත්තේ බී 92/2009 අංකය යටතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුවෙහි චූදිතයන්ට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවත්, ඔවුන් නිදහස් කළ හැකි බවත්, ඒ බව මහේස්ත්‍රාත් වෙත දැන්විය යුතු බවත්ය.

මෙසේ නිදහස් කර ඇති චූදිතයන් වන්නේ ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල සහ විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන සැකකරුවන් ය.  දින 14ක කාලයක් ඇතුළත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්‍තා කොට අධිකරණය ගත් ක්‍රියාමාර්‍ගය නීතිපති දෙපාර්තමේන්තුව වාර්‍තා කරන ලෙස දැනුම් දී තිබේ.

මෙය ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලදී ලුහුබැඳීම, අපරාධය සිදු කිරීම සහ අපරාධයෙන් පසු එයට අණ දුන් පුද්ගලයන් ආරක්ෂා කිරීම උදෙසා විමර්‍ශන නොමඟ යැවීම යන අදියර තුනක් පවතින අතර, මෙලෙස නිදහස් කර තිදෙනා පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කළ පුද්ගලයන්ය.

මෙම පුද්ගලයන් තිදෙනා අයත් වන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාල විමර්‍ශන යට ගසමින් අපරාධකරුවන් සැඟවීමට ගත් උත්සාහයන්ට අදාලවය.

දොන් තිස්සසිරි සුගතපාල යනු ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියාය. ප්‍රසන්න නානායක්කාර යනු ගල්කිස්ස ප්‍රදේශය භාරව සිට නියෝජ්‍ය පොලිස්පතිවරයාය. අනෙක් සැකකරුවා වන්නේ යුදහමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු වූ ප්‍රේම් ආනන්ද උදලාගමය.

ලසන්ත වික්‍රමතුංග මහතගේ ක්ෂේත්‍ර සටහන් පොත දේපොළ කුවිතාන්සි අංක 154/09 යටතේ වාර්‍තා කර තිබුණි. ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොතේ පිටු 160න් පිටු 126ක ලසන්ත වික්‍රමතුංග මහතා ඉංග්‍රීසි බසින් සටහන් යොදා තිබුණි. ඊට අමතරව එම පොතේ තමන්ව ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයන්ගේ මෝටර් සයිකල්වල අංක සටහන් කර තිබුණි. තිස්සසිරි සුගතපාල මහතා මෝටර් බයිසිකල් ගැන සොයා තිබුණු අතර එක් මෝටර් බයිසිකලයක් ජාඇල සහ අනෙක් මෝටර් බයිසිකලය බොරලැස්ගමුවේ ලෙස හඳුනාගෙන තිබුණි.

මේ පිළිබඳ විමර්‍ශනය කරන විට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරි මහතාගෙන් තිස්සසිරි සුගතපාල මහතාට ඇමතුමක් ලැබී තිබුණු අතර, ඒ අනුව සුගතපාල සහ හේමන්ත අධිකාරී යන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මුණගැසී තිබුණි.

එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ‘මේවා ලියලා හොයන්න ගිහින් මැරුම් කන්නද හදන්නේ? තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නවා නේද? අරුන්ගෙන් මැරුම් කන්නේ නැතුව තමුසේගේ සටහනුයි නෝට් පොතයි මට දීපන්.‘ යනුවෙවන් කියා තිබුණු බව අධිකරණයට කරුණු වාර්‍තා කර ඇත. මීට අමතරව මෙම සිදුවීම පිටුපස ගෝඨාභය රාජපක්ෂ සිටින බව ප්‍රසන්න නානායක්කාර කියා ඇති බවද, තිස්සසිරි සුගතපාල නිලධාරියා ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත, තිස්සසිරි සුගතපාල නිලධාරියාගේ සටහන් ඇතුළු සාක්ෂි නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාගෙන තිබුණු අතර විමර්‍ශන යටගසා තිබුණි. තිස්සසිරි සුගතපාල නිලධාරියා පසුකාලීනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම විනාශ කළ ලේඛනවල ඡායා පිටපත් 2018 දී ඉදිරිපත් කළ අතර විමර්‍ශන යටගැසූ ආකාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවට මෙන්ම ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු ඉදිරිපත් කර තිබේ. මීට අමතරව සිදුවීම පිළිබඳ කරුණු නොමග යැවීමට ගත් පියවර කිහිපයක් පිළිබඳ සාක්ෂි පවතී.

මීට අමතරව ප්‍රසන්න නානානයක්කාර නිලධාරියා විසින්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙඩි තැබීමකින් සිදු වූවායැයි සාවද්‍ය ප්‍රකාශයක් ලබා දුන් වෛද්‍යවරයාට සැකසහිත දූරකථන ඇමතුම්ද ලබා දී තිබුණි. ඒ අනුව ප්‍රසන්න නානායක්කාර අපරාධයට සම්බන්ධ බවට පවා සැකයක් පවතී.

ප්‍රේම් ආනන්ද උදලාගම නිලධාරියාද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳ චෝදනාවලට ලක්වූවෙකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඉහළ සිටි අණ දුන් පුද්ගලයන් පිළිබඳ කරුණු හෙළි කළ හැක්කේ ප්‍රසන්න නානායක්කාර වැනි නිලධාරීන් හරහා වන අතර, ඔවුන්ව නිදහස් කිරීම තුළින් ඝාතනයේ අණ දුන් පුද්ගලයන්ද නිදහස් වනු ඇත.

අපරාධකරුවන්ට දඬුවම් කිරීම උදෙසා ජනවරමක් ලැබී ඇති වත්මන් ආණ්ඩුව යටතේ නීතිපතිවරයා මෙවැනි පියවර ගැනීමට කටයුතු කිරීම ඉතා බරපතල තත්වයකි. ජනමාධ්‍ය සමාජය ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව පිළිබඳ ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, තීරණාත්මක ලෙස ඒ පිළිබඳ යුක්තිය බලාපොරොත්තු වන බවත් අප සම්මේලනය අවධාරණයකර ටී.

මේ වන විට නීතිපතිවරයා අනෙකුත් සිදුවීම් රැසක් සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය අනුව ඔහු ඉවත් විය යුතු බවට මේ වන විට සමාජ මතයක් ඇතිව තිබෙන අතර, වත්මන් නීතිපතිවරයා තමන්ගේ ධුරයේ කටයුතු නිසිපරිදි ආවරණය නොකරන්නේ නම් එසේ සිදුවිය යුතු බව අප සම්මේලනයේද මතය වේ.

මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) සාමාජික සංවිධානයක් වන අතර මෙම සිදුවීම පිළිබඳ ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) ඇතුළු අන්තර් ජාතික ආයතනවලට දැනුම් දීමට ද  කටයුතු කරන බව වැඩිදුරටත් දන්වා සිටී.

                                               

තරිඳු උඩුවරගෙදර

ජාතික සංවිධායක, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය

076 434 1631