මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහ නිදහස සහතික කිරීම සඳහා  (Safety and Independence of Journalists and the Media professionals) ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත, ප්‍රඥප්තියක් කෙටුම්පත් කර සම්මත කර ගැනීම සඳහා දැනටමත් ඉදිරිපත් කර ඇත.

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) මෙම කෙටුම්පත සම්මත කැරගැනීම සඳහා සිය සාමාජික සංවිධාන නියෝජනය කරනු ලබන රටවල්වල සහාය ලබාගැනීමට මැදිහත් වෙන ලෙස සියළු සාමාජික සංවිධාන වලින් ඉල්ලීමක්කර තිබේ. එම ප්‍රඥ්ඥප්තිය එක්සත් ජාතින්ගේ සංවිධානය සම්මත කිරීමටත් පෙර සිට ග්‍රීසියේ ආණ්ඩුව විසින් පිළිගෙන දැනටමත් ක්‍රියාත්මක කරමින් තිබේ.

ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය(IFJ) විසින් ලංකාව ඇතුළු සෙසු රටවල් සඳහා ද මෙම ප්‍රඥ්ඥප්තියේ කෙටුම්පත ඉදිරිපත් කර ඇති අතර  ශ්‍රී ලංකාවේ සාමාජික මාධ්‍ය සංවිධාන වන, මාධ්‍ය සේවක වෘත්තීය  සමිති සම්මේලනය (FMETU), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) හා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA)  ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත මෙම ප්‍රඥප්තිය ඉදිරිපත් කර  ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.

අප සංවිධාන විසින් කරනු ලැබූ ඉල්ලීම පිළිගත් විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ පිළිබඳව සාතච්ඡා කිරීමට විදේශ කටයුතු  අමාත්‍යාංශයේදී හමුවක් සඳහා 2025 අප්‍රේල් 21 දින ආරාධනා කරනු ලැබීය. එම හමුව  සඳහා මාධ්‍ය සංවිධාන නියෝජනය කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු හනා ඉබ්‍රාහිම් මහත්මිය,  ශ්‍රී ලංකා වෘත්තීය  ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ උප සභාපති පබුදු දුෂ්‍යන්ත මහතා, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ  ජාතික සංවිධායක තරිඳු උඩුවරගෙදර මහතා, නියෝජ්‍ය ලේකම් ඉන්දිරා නවගමුව මහත්මිය යන අය සහභාගි වූහ.

ඉතාමත් සුහද ලෙස සාකච්ඡාවට ප්‍රවේශවූ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහ නිදහස සම්බන්ධයේන්  එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත

ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය(IFJ) අනුමැතිය සඳහා යොමුකොට ඇති ප්‍රඥප්තිය පිළිබඳ යෝජනාව පිළිබඳ කරුණු සොයාබලා පාර් ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ඉදිරියේදී කටයුතු කරන බව හා  එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සම්මත කිරීමට සහාය පළකිරීම පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡාකොට අවශ්‍ය පියවර ගැනීමට විදේශ කටයුතු  අමාත්‍යවරයා මෙහිදී එකඟතාවය පළකරනු ලැබීය.