සියත මාධ්‍ය ජාලයට හා මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ ට එරෙහි දණ්ඩනය වළක්වමු!

සියත මාධ්‍ය ජාලය විසින් විකාශය කරනු ලබන ‘සියත කතුවැකිය’ හා එහි සම්පාදක, ජේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ මහතා පාර් ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා දඬුවම් කිරීමට දරණ උත්සාහයට එරෙහිව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

එහි ප්‍රධාන ලේකම්වරයාගේ අත්සනින් නිකුත්කර ඇති එම නිවේදනය සම්පූරණයෙන් පහත පළවේ.

මාධ්නි‍ය නිවේවේදනය

සියත මාධ්‍ය ජාලයට හා මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ ට එරෙහි දණ්ඩනය වළක්වමු!

සියත මාධ්‍ය ජාලය විසින් විකාශය කරනු ලබන ‘ටෙලිවැකිය’ කාලීන ජනප්‍රිය වැඩසටහන හා එහි සම්පාදක ලාල් හේමන්ත මාවලගේ ප්‍රවීන මාධ්‍යවෙදියා දණ්ඩණයට ලක්කිරීමේ ක්‍රියාවලියක් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී ව්‍යවස්ථාදායකය විසින් සැළසුම් කිරීම මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකීග

කාලීන දේශපාලන ප්‍රකාශයන් පිළිබඳව විමංශනාත්මක විවරණයක් සිදුකරනු ලබන සියත කතුවැකිය වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් කාලීන රෑපවාහාණී වැඩසටහනක් ලෙස ප්‍රකටය. අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකොට හුදෙක් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩතුරාවට මුවාවී මාධ්‍යට හා මාධ්‍යවේදීන්ට එරෙහි දණ්ඩනය ක්‍රියාත්මක කරන තවත් උත්සාහයක් ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ මේ ක්‍රියාව සැළකිය හැක.

ලාල් හේමන්ත මාවලගේ කෘතහස්ත මාධ්‍යවේදියා 2008 වසරේ දෙසැම්බර් 28 ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාවට කඩාවැදුනු එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වූ මර් වින් සිල්වාගේ බිහිසුනු ප්‍රහාරයකට ලක්ව අමාරුවෙන් ජීවිතය බේරාගත් මාධ්‍යවේදියෙකි. අදටත් ඔහුට එල්ල කළ ප්‍රහාරයට විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීම තවමත් රජයන් අපොහොසත්ව සිටී.

මාධ්‍යවේදීන්ගේ වාර්‍තාකරනයන් වාරණය කරමින් මාධ්‍ය මර්ධනය කරන්නට පෙර අප රටේ ඝාතනය කළ, අතරුදහන් කළ, පහරකෑමට ලක්වූ සහ විනාශ කළ මාධ්‍ය ආයනයන්ට යුක්තිය ඉටුකිරීම ඔබ රජය විසින් සම්පූර්ණ කළයුතු වගකීමක් බව අප සම්මේලනය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිහිපත්කර සිටී.

භාෂණයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික පදනම බව ව්‍යස්ථාදායකය වෙත අවධාරණය කරන මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය පාර්ලිමේන්තුවේ ක්‍රියාව සමාජ, ආර්ථික, දේශපාලන නිදහස වෙනුවෙන් හසුරුවන මාධ්‍ය මෙහෙවරයන්ට සිදු කෙරෙන බලවත් අගතියක් බව සටහන් කිරීම වටී.

මෙවැනි අර්ථ ශුන්‍ය ක්‍රියාවන්ගෙන් වැළකී ”මහජන සේවා ජනමාධ්‍ය” සම්ප්‍රධායක ලක්ෂණයන් පිළඹිබු කෙරෙන ‘සියත කතුවැකිය’ට එරෙහිව සැළසුම් කරණ දණ්ඩනය ඉවත්කර ගන්නා ලෙස රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 167න් සමන්විත, ලක්ෂ හයකට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක් සාමාජිකත්වය උසුලන ලෝකයේ ප්‍රබල ම මාධ්‍ය සංවිධානය වූ ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය :ෂත්‍න්‍* සමග එකතුවෙමින් එහි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සාමාජික සංවිධානයක් ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.

මෙයට විශ්වාසී,
         
ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්
077 364 1111

 

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය පිළබ‍ඳ ගවේෂන වාර්‍තාව හා විඩියෝපට පිරිනැමීම!

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (International Federation of Journalists-IFJ) මග පෙන්වීම හා සහයෝගය ඇතුව IFJ-Union to Union (UTU) Global Union වැඩසටහන යටතේ, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය විසින් මාධ්‍යවේදීන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය හා ජනමාධ්‍ය කර්‍මාන්තය මුහුණදෙන අභියෝග පිළිබඳව සුවිශේෂී ගවේෂණයක යෙදෙමින් සකස්කරණ ලද සමීක්ෂණ වාර්‍තාව හා මාධ්‍යවේදින්ගේ වෘත්තීමය ගැටළු පිළිබඳව දැක්වෙන විඩියෝ පට 16 ක් ඇතුලත් ඩී.වී.ඩී. පටය, යාපනය දිස්ත්‍රික් මාධ්‍යවේදි, කේ. සෙල්වකුමාර් මහතා විසින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට කම්කරු අමාත්‍යාංශයේදි පිරිනමන ලදී.

එම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්, ආර් පී. ඒ. විමලවීර, කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්, ධර්මසිරි ලංකාපේලි, එහි ජාතික සංවිධායක ඩග්ලස් නානායක්කාර ඇතුළු මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ දිස්ත්‍රික් නායකයන් විශාල පිරිසක් සහභාගි විය.

මෙහිදි මාධ්‍යවේදීන් අමතමින් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, කෑලි ක්‍රමයට සේවය කළත් කොන්ත්‍රාත් ක්‍රමයට සේවය කළත් නිදහස් මාධ්‍යවේදී ක්‍රමයට සේවය කළත්, ඒ සියලු‍ දෙනාගේම වෘත්තීය සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීම ප්‍රතිපත්තියක් ලෙස කළ යුතු බවයි. කම්කරු අමාත්‍යාංශය ලෙස තමන් බැදි සිටින්නේ එලෙස සේවය කිරීමට බවත්, පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ද කොන්ත්‍රාත් සහ අර්ධකාලීන රැකියා කරන අයවලුන් ඇතුළත් වන පරිදි කම්කරු නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ බව සිහිපත් කළේය.

කම්කරු නීති සම්පාදනයේ දී පෙර මෙන් මාස අවුරුදු ගණන් ප්‍රමාද කිරීමට තමන් බලාපොරොත්තු නොවන බවත්, කම්කරුවාත් ව්‍යවසායකයාත් ආරක්ෂා වන පරිදි ඉතාම කඩිනමින් අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළ ඔහු මාධ්‍යවේදීන් අමතමින් වැඩි දුරටත් සදහන් කළේ මෙම නව නීති සම්පාදනයේදී මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමටත්, 2023 වර්ෂය අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමටත් තමන් බලාපොරොත්තු වන බවයි.

මෙම අවස්ථාවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ විධායක සභා නිළධාරීන් හා සියලුම මාධ්‍යවේදීන් නියෝජනය කරමින් දිස්ත්‍රික් නායකයින් ගණනාවක් සහභාගි වු අතර අදාල සමීක්ෂණ වාර්තාව හා වීඩියෝ පට ඇතුලත් ඩී.වී.ඩී. පට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා කම්කරු කොමසාරිස් වරයාට වෙතද ඔවුන් විසින් භාරදෙනු ලැබිය.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳ ගවේෂණ වාර්‍තාව – 2022

මාධ්‍ය නිවේදනය
2022 නොවැම්බර් 26

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳ ගවේෂණ වාර්‍තාව – 2022

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (International Federation of Journalists-IFJ) මග පෙන්වීම හා සහයෝගය ඇතුව IFJ-Union to Union (UTU) Global Union වැඩසටහන යටතේ, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය විසින් මාධ්‍යවේදීන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය හා ජනමාධ්‍ය කර්‍මාන්තය මුහුණදෙන අභියොග පිළිබඳව සුවිශේෂී ගවේෂණයක යෙදෙමින් වාර්‍තාවක් සම්පාදනය කරනු ලැබ ඇත. විශේෂයෙන් තරුණ පිරිස් මාධ්‍ය කර්‍මාන්තයට ප්‍රවේශ නොවීම හා තරුණ මාධ්‍යවේදීන් මාධ්‍ය සංවිධාන නායකත්වයට යොමු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් විය.

ඒ සඳහා මුලිකව සකස් කරන ලද ප්‍රශ්නාවලියක් මාර්‍ගගත ගූගල් අයදුම් පත්‍රයක් ලෙස යොමුකොට මාධ්‍යවේදීන්ගේ දත්ත එක් රැස්කර ගනු ලැබීය. මාධ්‍යවේදීන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයේ සිට සෑම තොරතුරක්ම වෙන් වෙන්ව හඳුණාගැනීම හා ඔවුන් විඳින වෘත්තීමය පීඩාවන් පිළිබඳව හා ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්‍මාන්තය අභියෝග හඳුණා ගැනීමේ අවකාශයක් විවරකර ගැනීම මෙම ගවේෂණයේ මුලික අපේක්ෂාව විය.

එම වාර්‍තාව සැකසීම සඳහා ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි විද්‍යුත් හා මුද්‍රිත කේෂේත්‍රයේ 300 කට අධික, ප්‍රධාන දහරාවේ සහ ප්‍රාදේශීය වශයෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා මාධ්‍ය වෘත්තිකයන් පිරිසක් සහභාගී කරවා ඇත.

මේ ගවේශණය හා සම්බන්ධ වෙමින් තරුණ මාධ්‍යවේදීන් විශේෂ පුහුණුවකින් පසු මාධ්‍ය කර්‍මාන්තය හා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ප්‍රශ්ණ පිළිබඳව සිංහළ, දෙමළ හා ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් සැකසූ වීඩියෝපට 15ක් ද නිෂ්පාදනය කර ප්‍රකාශයට පත්කොට තිබේ.

සම්පූර්‍ණ වාර්‍තාව, වීඩියෝ පට 15, සමීක්ෂණයට සහභාගීවූ පිරිස් පිළබඳ සම්පූර්‍ණ විස්තර සටහන් https://fmetu.org/?page_id=9839 අප වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර තිබේ.

එම සමීක්ෂණයෙන් මාධ්‍යවේදීන් හා මාධ්‍ය කර්‍මාන්තය සම්බන්ධ සුවිශේෂි කරුණු රාශියක් හෙළදරව්කර ගැනීමට හැකියාව ලැබි ඇත.

එම සමීක්ෂණ වාර්‍තාවට අනුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයන්හි සේවය කරනු ලබන මාධ්‍යවේදීන්ගෙන් 59% කට නියමිත දිනක වැටුප් නොලැබෙන බව හෙළිදරව් වී තිබේ. එම මාධ්‍යවේදීන් අතරින් 91% පමණ ප්‍රතිශතයකට කිසිදු විශේෂ දීමනාවක් හිමි නොවන බවත්, හෙළිදරව් වී ඇති අතර ඔවුන්ට ලැබෙන වර්‍තමාන වේතනය මාධ්‍යවේදීන්ගේ වෘත්තිය සුදුසුකම් සඳහා ප්‍රමාණවත් නොවන බව 92% ක පිරිසක් පවසා ඇත.

මේ වන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන මාධ්‍යවේදීන්ගෙන් වයස අවුරුදු 35 ට අඩු අය පිරිස ඇත්තේ 26% ක පමණ ප්‍රතිශතයකි. වයස අවුරුදු 35 ත් 45 ත් අතර 31% පමණ ප්‍රමාණයක් ද, වයස අවුරුදු 45 ත් 55 ත් අතර 25% ක ප්‍රමාණයක් ද, සේවය කරන අතර, මේ වන විට වයස අවුරුදු 55 ද ඉක්මවා මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සේවක කරන පිරිස 16% කි.

මෙම මාධ්‍යවේදීන් වැඩිම කොටසක් අ. පො. ස. උසස් පෙළ හැදෑරුවන් වේ. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත්, 36% කි. එමෙන්ම අ. පො. ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදා ඇති අය 19% ප්‍රමාණයක් ක්ෂේත්‍රයේ කටයුතු කරන අතර, ඩිප්ලෝමා ලාභින් 28% ප්‍රතිශතයක්ද, උපාධිධාරින් 9% ක පමණ ප්‍රතිශතයක්ද ජනමාධ්‍යවේදිනියන්, ජනමාධ්‍යවේදීන් ලෙස මාධ්‍ය කර්‍මාන්තයේ නිරත වේ.

මෙම වාර්‍තාවට අනුව සිංහළ භාෂා මාධ්‍යයෙන් 65.2% ද, දමිළ මාධ්‍යයෙන් 34.3% ද, ඉංග්‍රීසි මාධ්‍යයෙන් 10.5% මාධ්‍ය වෘත්තියේ නියැලෙති. මේ අතරින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ 53.3ක් ද, රූපවාහිණී ක්ෂේත්‍රෙයේ 47.9% ද, ගුවන්විදුලි සේවාවන්හී 27.8% ද, ඩිජිටල් මාධ්‍යකරණයේ 27.5% ද සේවයේ නිරත වෙති. විශේෂත්වය වනුයේ ඔවුන්ගෙන් 90% ක්ම පුර්ණකාලින මාධ්‍ය වෘත්තියේ නිරත වීමයි. එහෙත් මෙම සමීක්ෂණය මගින් අනාවරණය වී ඇත්තේ ඔවුන්ගෙන් 18% කටම කිසිදු මාධ්‍ය පුහුණුවක් සඳහා අවස්ථාව ලැබි නොමැති බවයි.

මාධ්‍යවේදීන් අතුරින් ස්ථිර සේවයේ පිහිටුවා ඇත්තේ 21% කි. එසේම ඔවුන්ගෙන් ද උසස්වීම් පිළිබද ක්‍රියාපටිපාටියක් හිමිව ඇත්තේ 14% පමණ පිරිසකට පමණි. මාධ්‍යවේදීන්ගෙන් 52% පමණ ප්‍රතිශතයක් සේවය කරනු ලබන්නේ කෑලි ගණනට (peace rate) වන අතර තවත් 26% ක ප්‍රමාණයක් කොන්ත්‍රාත් පදනමින් සේවයේ යෙදෙයි. වන අතර අනිත් 86% ක පමණ ප්‍රමාණයකට කිසිදු උසස්වීම් ක්‍රියා පරිපාටියක් නොමැති බව තහවුරුකර ඇත.

දිවයිනේ මුද්‍රිත, විද්‍යුත් හා ඩිජිටල් මාධ්‍ය ආයතනයන් සඳහා සේවය ලබාදෙන 80% වඩා වැඩි පිරිසකට වාර්ෂික වැටුප් වර්‍ධක, සේවක අර්‍ථසාධක අරමුදලේ‍ ප්‍රතිලාභ, සේවක භාර අරමුදලේ ප්‍රතිලාභ, සේවා පාරිතෝෂික හෝ ප්‍රසාද දීමනා හිමි නොවන බවද මෙම සමීක්ෂණය මගින් හෙළිවී තිබේ.

මෙම වාර්‍තාවට අනුව පත්වීමේ ලිපියක් හිමිව ඇති පිරිස 66.8කි. පත්වීම් ලිපියක් රහිත පිරිස 31.2කි. බොහෝවිට අනුමාන කළ හැක්කේ සේවාව අළුත්කරනු ලබන ලිපිය, මොවුන් පත්වීමේ ලිපිය ලෙස සළකන බවකි. මාධ්‍ය හැදුණුම්පතට හිමිකම් කියන පිරිස 78.2% ක් වන අතර 21.8 ට හැඳුණුම්පතක් හිමිව නැත.

මෙවන් අඩු සැළකිළි යටතේ සේවය කරන අතරම, වෘත්තිමය වශයෙන් තමන් පීඩාවට පත්වූ අවස්ථාවන් සුලභ බව 68% ක පමණ ප්‍රමාණයක් දක්වා තිබේ. මාධ්‍ය වෘත්තිය කරගෙන යාමේදි තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව දක්වා ඇති මාධ්‍යවේදීන් සංඛ්‍යාව 77% කි. ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත පදනම්ව ප්‍රචන්ඩත්වයට ගොදුරු වූ පිරිස 16.4%කි.

මෙවන් තත්ත්වයක් යටතේ තම සේවා තත්ත්වය උසස් කර ගැනීම සදහා 98% කම අදහස වී ඇත්තේ තමන් සංවිධාන ගත විය යුතු බවකි. එසේම ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර සහය අවශ්‍ය බව 95% ක්ම පිළිගෙන තිබේ.

මෙම සමීක්ෂණය සඳහා මුද්‍රිත මාධ්‍යයට සම්බන්ධ මාධ්‍යවේදීන් 188 ක් සහභාගි වී ඇති අතර ඔවුන් ප්‍රතිශතයක් ලෙස ගතහොත් 53.3% කි. රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධව සහභාගිවී ඇති මාධ්‍යවේදීන්ගේ ප්‍රතිශතය 47.9% ක් වේ. එම ප්‍රමාණය සංඛ්‍යාත්මතව ගතහොත් 169 කි. මෙම සමීක්ෂණය සදහා ගුවන් විදුලි මාධ්‍යවේදීන් 98 ක්ද, ඩිජිටල් මාධ්‍යවේදීන් 97 ක් ද සම්බන්ධවී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 27.8% ක හා 27.5%ක අගයක් ගනියි.

ලංකාවේ වෘත්තීන් අතර අතිමහත් බහුතරයකට මූලික වෘත්තීය හිමිකම් අහිමි එකම වෘත්තිය ජනමාධ්‍ය වෘත්තිය බව මෙම සමීක්ෂණ වාර්‍තාව මොනවට පැහැදිළි කෙරේ. රටේ හතරවැනි පුරවැසියා, ජාතියේ මුරපල්ලා වැනි විශේෂිත ගෞරව නාමයන්ගෙන් හැඳින්වුවද ඒ සියල්ල කිසිදු වටිනාකමක් නැති ප්‍රලාපයන් සමූහයක් බව මෙම සමීක්ෂණ වාර්තාව මොනවට පැහැදිළි කරණු ලබයි.

2022 සැප්තැම්බර් මාසයේ සම්පූර්‍ණ කළ මෙම සමීක්ෂණ වාර්‍තාව, වෘත්තීමය ගැටළු පිළිබඳ විඩියෝපට 15 නිෂ්පාදනය, සමීක්ෂණය සඳහා තොරතුරු සපයමින් සහය දැක්වූ දිවයින පුරා මාධ්‍යවෙිදිනියන්, මාධ්‍ය සගයන් සැමට, IFJ-Union to Union (UTU) Global Union සම්පූර්‍ණ වැඩ සටහන සාර්‍ථක කිරීමට සහය දුන් සැමට, විශේෂයෙන් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයට (International Federation of Journalists-IFJ) මාධ‍්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය සිය ප්‍රසාදය පළකර සිටී.

මෙයට, විශ්වාසී,

                                       

ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්
විධායක සභාව වෙනුවෙන්.

ශ්‍රී ලංකාවේ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය ඉරණම හෙළිදරව් කෙරේ!

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඉන්දිරා නවගමුව මහත්මිය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමඟ 2022 නොවැම්බර් 22 වැනි දින එම අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පවත්වමින්, ශ්‍රී ලංකාවේ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ දුක්ඛිත සේවා කොන්දේසි පිළිබඳව දීර්‍ඝ හෙළිදරව් කිරීමක් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ බහුතර වෘත්තීය මාධ්‍යවේදීන්ට හිමිවිය යුතු මූලික වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් හිමිව නොමැති බවත්, ශ්‍රී ලංකාවේ මූලික හිමිකම් පවා අහිමි එකම වෘත්තිය ජනමාධ්‍යවේදය බව මාධ්‍ය සේවක සංගම් සම්මේලනය මෙම සාකච්ඡාවේදී ඇමතිවරයා වෙත පැහැදිලි කරනු ලැබීය.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය  විසින් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය සහ මාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග පිළිබඳව සිදුකළ සුවිශේෂී ගවේෂණයක් අනුසාරයෙන් සම්පාදනය කරන ලද වාර්‍තාවක් මගින් අමාත්‍යවරයා වෙත මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කරන ලදී.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) මගපෙන්වීම සහ සහාය ඇතිව IFJ-Union to Union (UTU) Global Union 2022 මාධ්‍ය වෘත්තීය සමිති දිරිගැන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන වෘත්තීමය ගැටළු හා මාධ්‍ය කර්‍මාන්තය මුහුණදෙන අභියෝග පිළිබඳව පුළුල් සාකච්ඡාවක් දෙසැම්බර් 13 වෙනි දින ජනමාධ්‍යවේදීන්ගේ පුළුල් නියෝජනයක් සමග පැවත්වීමට ද මෙහිදී කම්කරු ඇමතිවරයා එකඟතාවය පළකරනු ලැබීය.

කඳුළු ගෑස් ගැන තොරතුරු ලබාදන්නැයි RTI කොමිෂම පොලීසියට නියෝග කරයි!

සමාජය සහ සාමයික කේන්ද්‍රය හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ගොනුකළ පැමිණිල්ලක් විභාග කළ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව පැමිණිලිකරුවන් විසින් කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්‍තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ලකළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම සම්බන්ධයෙන් ඉල්ලා ඇති තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙස නියෝගකර තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය වෙත නියෝගය කළේ සමාජය සහ සාමයික කේන්ද්‍රය හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන යොමු කළ තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමකට අදාල අභියාචනයක් විභාග කර තීන්දුව ලබා දෙමිනි.

මේ සියළු තොරතුරු මහජන වැදගත්කමක් සහිත තොරතුරු බව තීන්දු කළ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව එම තොරතුරු නොවැම්බර් 14 වැනිදාට පෙර මුදා හරින ලෙස ද වැඩිදුරටත් ශ්‍රී ලංකා පොලිසියට නියෝගකර තිබේ.‍

නොවැම්බර් 14 වැනිදාට පෙර අදාල තොරතුරු පෙත්සම්කරුවන් වෙත මුදා හැරීම්ට ශ්‍රී ලංකා පොලිසිය අපහොසත් වන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියට සහ එහි අදාල නිලධාරීන්ට එරෙහිව තොරතුරු පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද කොමිසම තීන්දුකර තිබේ.

මෙම තොරතුරු ලබාගැනීම  පිළිබඳ ඉල්ලීම ජීවිතයට සහ පෞද්ගලික නිදහසට අදාල තොරතුරු පනතේ ප්‍රතිපාදන යටතේ ඉදිරිපත් කළ ඉල්ලීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව හා ඉල්ලා ඇති තොරතුරු සමාජයේ වඩාත් සංවාදයකට ලක්වූ තොරතුරු බැවින් තොරතුරු නිලධාරීන් ද පනතේ ප්‍රතිපාදන පිළිබඳව මීට වඩා උනන්දුවක් දැක්විය යුතුබව ද කොමිෂන් සභාව සිය තීන්දුව මගින් අවධාරණය කර තිබේ.

මාස දෙකකට ආසන්න කාලයක් පුරා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව මෙම අභියාචනය විභාග කළ අතර එම විභාගය සඳහා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ සමඟ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා පෙනී සිට ඇත.

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න, අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු රෝහිණී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන කිෂාලි පින්ටෝ ජයවර්ධන, ජගත් ලියන ආරච්චි සහ මොහොමඩ් නහියා යන කොමසාරිස්රුන්ගේ අත්සන සහිතව ය.

 

 

 

 

බීබීසී (BBC) යට වසර 100 ………. මාධ්‍යවේදීන් ලෙස ඔබට සේවය කළ අපි, අද අසරණයි!

ලියන්නේ කන්තලේ ආර් ජී ධර්‍මදාස

ත්‍රිකුණාමල ලංකාදීප මාධ්‍යවේදිනියක්ව සිටි විශාකා ජයසේකර නංගී වසර විසිතුනකට පමණ පෙරදී එක්තරා දවසක මට හමුවූ අවස්ථාවක මෙසේ පැවසුවාය.

“අයියේ! බී බී සී සංදේශයට ත්‍රිකුණාමල දිසිත්‍රික්කයෙන් වාර්‍තාකරුවෙකු සොයනවා. ඉතාම අපහසුකම් මැද්දේ වාර්‍තාකරණයෙහි යෙදෙන කෙනෙක් තමයි එයාලා හොයන්නේ. මට මේ කථාව කිව්වේ එල්මෝ අයියා. මම ඔයා ගැන කිව්වා. මොකද කියන්නේ කැමතිද?”

විශාකාගේ මෙම යෝජනාවට “එකපයින් ම හා හොඳයි“ කියන්නට තරම් කැමත්තක් මට නොවීය. මන්ද ඇය ඒ වනවිටත් සංදේශයට ප්‍රවෘත්ති ලබාදෙමින් සිටි බැවිනි.

“නංගී එතකොට ඔයා”?

මා ඇසුවේ ඒ නිසය. ඇගේ පිළිතුර වූයේ දෙන්නම එක්ව වැඩකරමු කියා  ය.මම යෝජනාවට කැමත්ත පළ කළෙමි. මා බී බී සී සංදේශයට සම්බන්ධවූයේ එපරිද්දෙනි. එහෙත් සිදුවූයේ එතන්සිට මගෙන් පමණක් ප්‍රවෘත්ති ලබාගනීමය. මා සංදේශයට සම්බන්ධවූයේ විශාකා නංගී නිසා බව මම අදටත් ඉතා නිහතමානීව පවසමි. ඇය දැන් කොහේ සිටී දැයි මම නොදනිමි.

බී බී සී සංදේශයට එක්වීම නිසා මා දැඩිසේ ආදරය කළ ලක්බිම පුවත්පතෙන් සමුගැනීමට මම හිත හදාගත්තෙමි. ලංකාවේ පත්තරයකට ලියනවාට වඩා ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වූ බී බී සී සංදේශයට පුවත් සැපයිම අසීරු කාරියකි. ඒ බව මට වැටහුනේ වැඩකරගෙන යනවිටය.

විශේෂයෙන්ම යුධ බිමක සිට යුද්ධය වාර්‍තා කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. බී බී සි ය කොටි සංවිධානයට පක්ෂව ප්‍රචාරණයක යෙදෙන මාධ්‍ය ආයතනයක් බවට චෝදනා එල්ල වූ පසුබිමක තත්වය වඩාත් භයානක විය. අවි දැරූ සියළු පාර්‍ශවයන්ගෙන් ප්‍රවේශම් වීමට අපට සිදු විය.

කෙසේ හෝ අපි අභියෝගවලට මුහුණ දෙමින් ලොවට සත්‍යය අනාවරණය කළෙමු. යුද්ධය පමණක් නොව විවිධ රසවත් විශේෂංග ද අපේ මාතෘකා අතර විය. අපේ මාධ්‍ය සගයන් වූයේ වව්නියාවේ දිනසේන රතුගමගේ, අම්පාරේ වසන්ත චන්ද්‍රපාල, පොළොන්රුවේ තක්ෂිලා දිල්රුක්ෂී ජයසේන,මඩකළපුවේ ශාන්ති සෙල්වදොරේ, රත්නපුරේ අජිත් ශාන්තලාල් උදය, කොළඹ කේ එස් උදයකුමාර,  හලාවත ප්‍රශාද් පූර්ණමාල් ජයමහ, කොළඹ ඥණසිරි කොත්තිගොඩ ය. මේ අතර බී බී සී තමිල් ඕසේ මාධ්‍යවේදීන් ද අපගේ ගජ මිතුරෝ වූහ. ඔවුන්ගේ නම් මතකයට නඟා ගැනීම අසීරුය. සමාවෙන්න. පසුව තොළඹ බී බී සී වාර්‍තාකරු අසාම් අමින් ද අප අතරට එක්විය. එල්මෝ ප්‍රනාන්දු මහතා අප සියළු දෙනාගේම නියමුවා විය. ඇත්ටම ඔහු නැතිනම් සංදේශයක් නැති තරමිය.

ලන්ඩන් නුවර සිට විකාශය වූ බී බී සී සිංහල අංශයේ ප්‍රධානියාව සිටියේ අප කවුරුත් ආදරය කරන ප්‍රියාත් ලියනගේ මහතාය. දක්ෂ මාධ්වේදීන් වන චන්දන කීර් ති බණ්ඩාර, උපාලි ගජනායක, විමලසේන හේවගේ, ඉන්දිරා රාමනායක, එම් ජේ ආර් ඩේවිඩ්, ඇතුළු තවත් කීපදෙනෙකු ප්‍රියාත් මහතාගේ කාර්‍ය්‍යමණ්ඩලයට අයත් වූහ. එම වකවානුවේ ලොවපුරා ලක්ෂ විසිඑකක ජනතාවක් බී බී සී සිංහල සංදේශයට සවන් දුන්හ.

බී බී සී ලෝක සේවය තම සියවස් පූරණය පසුගිය දා සමරනු ලැබීය. අසන්නට දකින්ට ලැබුන උදානයන් බොහෝය. එහිදී බී බී සි යට පණ දුන් ප්‍රියාත් ලියනගේ, සහ එල්මෝ ප්‍රනාන්දු යන මහත්වරුන් දෙදෙනා ගැන එක වචනයක් අසන්නට දකින්නට නොලැබුනි. හැබයි සුද්දන් පිළිබඳ පුරවරුණාවේ නම් අඩුවක් නොවීය.

ඉතින් ලංකාවේ අප වැනි දුගී තීරුවේ අය ගැන කවර කථා ද? අපට ආවඩන්නැයි අපි කිසිසිවෙකුටත් කිසිසේත් ම නොකියමු. බී බී සී ලෝක සේවයේ ශ්‍රී ලංකාවේ වාර්‍තාකරුවන්ට සිදුකළ අසාධාරණය පමණක් ඉතා සැකවින් කියමු.

බී බී සී ලෝක සේවය යනු මුළු ලොව පුරා ග්‍රාහකයන් විශාල පිරිසක් සිටින අති දැවන්ත සහ පිළිගැනීම අතින් අංක එකේ මාධ්‍ය ආයතනයක් බව අවිවාදිතය. මෙය පවත්වගෙන යන්නේ මහා බ්‍රිතාන්‍යයයි. එම ආයතනය හා සම්බන්ධ මාධ්‍යකරුවන් පුහුණු කිරීම සඳහා වැයකරන ධනස්කන්ධය ද අසීමිත ය. ලංකාවේ අපට ලබාදුනනේ ද එම පුහුණුවම ය.

බී බී සී ආයතනයෙන් විශේෂ හැඳුනුම් පතක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවෙන් විදේශීය මාධ්‍යවේදීන් සඳහා ලබාදෙන හැඳුනුම් පතක් අපට ද නිකුත්කර තිබුනි. මේ අතර වසරක් පාසා අළුත් කෙරෙන ගිවිසුමක් ද අප අතර විය. මේවා බ්‍රිතාන්‍ය රජය දන්නවාද නැද්ද යන්න අපි නොදනිමු. එහෙත් එකක් දනිමු. එනම්, වසර විස්සක්, විසි පහක් ජීවිත පරදුවට තබා බී බී සී සංදේශයට සේවය කළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් තඹ දොයිතුවක්වත් නොදී ඉවත්කර ඇති බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව නොදන්නා බව නම් අපි ඉඳුරාම දනිමු.

දෙවන ලෝක යුද්ධය පැවති සමයේ ලංකාව පාලනය කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. එහිදි බ්‍රිතාන්‍යය රාජකීය හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකිකයන් දස දහස් ගණනින් බඳවා ගැනුනි. යුද්ධය අවසන් වූ වහාම ඔවුන් සියළු දෙනා විශ්‍රාම ගැන්වූයේ මියෙන තුරා ලැබෙන විශ්‍රාම වැටුපක් ද සමඟය. සිය රටේ වැදගත් මාධ්‍ය ආයතනයක සේවය කළ ශ්‍රී ලාංකික මාධ්‍යවේදින් පිරිසක් නිකම්ම නිකම් දොට්ට දමා ඇති බවක් බ්‍රිතාන්‍ය රජය තවමත් නොදන්නා බව අපි සපථකර කියා සිටිමු.

මා ඉතාමත්ම වගකීමෙන් යුතුව ප්‍රකාශකරන්නේ අපට මෙම වින්නැහිය කළේ ප්‍රියාත් මහතාගෙන් පසුව බී බී සී සිංහල අංශයේ ප්‍රධානියා බවට පත්වූ සංගීත් කළුබෝවිල නැමත්තා බවයි. ඔහු ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති විශේෂංග ලෙස දුටුවේ ගැණුන්ගේ යට ඇඳුම්, යෝනි සාර, මාස් සුද්ධිය වැනි ජරා ගොඩවල්ය. එයින් පිටස්තර පුවත් ලෝකයක් ඔහුට නොවීය. අපේ ගැටළු මේ උම්මත්කයාට ගැහැණුන්ගේ යටි බඩවල් තරම් වැගත් නොවීය.

අවසන් වශයෙන් සඳහන් කරන්නට ඇත්තේ බී බී සී ලෝක සේවයට වසර සියයි. එහි සේවය කළ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වන අපට ප්‍රශ්ණ කෝටියයි යන්න ය

ධර්‍මදාස කියන ඉහළ කථාවත් අහන්න

තවත් විස්තර දැනගැනීම සඳහා……

 

 

 

 

 

නව මාධ්‍ය සහ ඩිජිටල් ආර්ථිකය තුළ මාධ්‍යවේදීන්ගේ සංවිධාන උපාය මාර්‍ග හඳුණා ගැනීම.

මාධ්‍ය නිවෙිදනය

 

2022 ඔක්තෝබර් 17

නව මාධ්‍ය සහ ඩිජිටල් ආර්ථිකය තුළ මාධ්‍යවේදීන්ගේ සංවිධාන උපාය මාර්‍ග හඳුණා ගැනීම.

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) මග පෙන්වීම හා සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්‍මාන්තය හා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් නගාසිටුවීම වෙනුවෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් වැඩ සටහන් මාලාවක් දියත් කරනු ලැබීය.

තරුණ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති නායකත්වය හා සමස්ථ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීම පිළිබඳව ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයක් ලෙස තමන් මුහුණ දෙන අභියෝග හඳුනාගැනීම හා නව මාධ්‍ය සහ ඩිජිටල් ආර්ථිකය තුළ සංවිධානය වීමට පවතින බාධා සහ උපාය මාර්‍ග හඳුණා ගැනීම වැඩසටහනේ මූලික අරමුණ විය.

ප්‍රධාන වශයෙන් ඩිජිටල් මාධ්‍ය භාවිතාව සමග තරුණ මාධ්‍යවේදීන් අතර සන්නිවේදනය, බඳවා ගැනීම, රඳවා තබා ගැනීම සහ ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමට අවශ්‍ය නව කුසලතා හඳුණාගැනීම මාධ්‍ය සංවිධානයක ප්‍රධාන වගකීමකි.

මේ සඳහාල ජනමාධ්‍යවේදීන් සංවිධානයවීමේ වැදගත්කම හා ඔවුන්ගේ වෘත්තීමය ගැටළු හඳුණාගැනීම හා විසඳුම් සඳහා මෙතෙක් ගෙන ඇති හා ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්‍ගයන් පිළිබඳව සිංහළ හා දමිළ මාධ්‍යවේදීන් 200 පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡා සභා දෙකක් සංවිධානය කෙරිණි. සිංහල හා දෙමළ මාධ්‍යයෙන් මෙම සාකච්ඡා සභා වෙන් වෙන් වශයෙන් සංවිධානය කළ අතර සිංහළ හා ඉංග්‍රීසි මාධ්‍යවේදීන් 140 ක් පමණද, දමිල මාධ්‍යවේදීන් 60 ක් පමණ සහභාගී කරගන්නට සමත්විය.

මෙහි දෙවන වැඩසටහන වනුයේ, සමීක්ෂණයක් මගින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින FMETU සාමාජික මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳ ගවේෂණය කිරීම හා එහි තොරතුරු fmetu.org වෙබ් අඩවිය තුළ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ත්‍රෛභාෂා මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්කිරීම වේ.

සකස් කරන ලද ප්‍රශ්නාවලිය මාර්‍ගගත ගූගල් අයදුම් පත්‍රයක් යොමුකොට මාධ්‍යවේදීන්ගේ දත්ත එක් රැස්කර ගනු ලැබීය. මාධ්‍යවේදීන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයේ සිට සෑම තොරතුරක්ම වෙන් වෙන්ව හඳුණාගැනීම හා ඔවුන් විඳින වෘත්තීමය පීඩාවන් පිළිබඳව හා ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්‍මාන්තය හඳුණා ගැනීමේ අවකාශයක් විවරකර ගැනීම එහි අපේකෂාව විය.

දැනටමත් 340 පමණ වූ මාධ්‍යවේදීන්ගේ එක්රැස් කරගන්නා ලද තොරතුරු සියල්ල fmetu.org වෙබ් අඩවියේ IFJ-UTU 2022 පිටුවෙන් ඔබට විවෘතකර තිබේ.

තෙවන වැඩසටහන තරුණ මාධ්‍යවේදීන් සඳහා වූ ජංගම මාධ්‍යවේදය (Mobile Journalism) පිළිබඳ පුහුණු පාඨමාලාව විය. ඩිජිටල් යුගයේ ජනමාධ්‍ය වාර්‍තාකරණයේ කුසලතා වලින් පිරුණු තරුණ ජනමාධ්‍යවෙදීන් හඳුන්වා දීම මෙම පුහුණු පාඨමාලාවේ අරමුණ විය. මෙම පුහුණුව සඳහා කාන්තාවන් 30% සහ දෙමළ සහ මුස්ලිම් මාධ්‍යවේදීන් 30% වන පරිදි මාධ්‍යවේදීන් 21 දෙනෙකු අයදුම්පත් කැඳවා තෝරාගන්නා ලදී. එක් දින පාඨමාලාවක් ලෙස පැවැති මෙම පුහුණු වැඩසටහන ඩිජිටල් මාධ්‍ය විශේෂඥ ආචාර්‍ය්‍ය සමීර තිලකවර්‍ධන මහතා විසින් පවත්වනු ලැබීය.

පුහුණුවෙන් පසු ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්‍මාන්තය හා මාධ්‍යවෙදීන්ගේ වෘත්තීමය තත්වය පිළිබඳ වීඩියෝපට 15 ක් නිෂ්පාදනය කිරීම පුහුණුකරුවන්ගේ එකඟතාවය විය. ඔවුන් විසින් නිෂ්පාදනය කළ වීඩියෝපට 17 ක් fmetu.org වෙබ් අඩවියේ IFJ-UTU 2022 පිටුවේ දැන් ඔබට නැරඹිය හැක.

මෙම වැඩසටහන මගින් සම්පාදනය කළ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ සමීක්‍ෂණය හරහා එක්රැස් කරන ලද දත්ත, අද ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු සහ වෘත්තීය ප්‍රශ්ණ මතු කර ඇත. තරුණ මාධ්‍යවෙදීන් විසින් නිෂ්පාදනය කරන ලද වීඩියෝපට සියල්ලම පාහේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන පීඩාකාරී අවකාශයන් පිළිබඳව සාකච්ඡා කෙරේ.

අවසාන වශයෙන් මෙම දත්තයන් සමූහය මත පදනම් වූ වාර්‍තාවල ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණ දෙන වෘත්තීය සහ අයිතිවාසිකම් පදනම් කරගත් ගැටළු කම්කරු ඇමතිවරයා, ජනමාධ්‍ය ඇමතිවරයා සහ රජයේ අදාල බලාධාරීන් වෙත යොමු කරන්නට කටයුතු කරමින් සිටිමු.

මෙම වැදගත් කාර්‍ය්‍යය සඳහා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය වෙත සංවිධානමය උපදෙස් දෙමින් මග පෙන්වූ IFJ-UTU 2022 වැඩසටහනට හා ජනමාධ්‍යවෙදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ ආසියා ෆැෂිපික් කලාපයේ අධ්‍යක්ෂිකා ජේන් වර්තින්ටන් හා කාර්‍ය්‍ය මණ්ඩලයටත් කෘතවේදීත්වය පළකර සිටිමු.

මෙයට, විශ්වාසී,

 

 

 

ධර්‍මසිරි ලංකාපේලි                                                                                                                                                                                                                                                                                                               ක්‍රිෂ්ණි ඉෆාමි
ප්‍රධාන ලේකම්                                                                                                                                                                                                                                                                                                                         සභාපති
077 364 1111                                                                                                                                                                                                                                                                                                                               077 798 6818

මානව විරෝධී, පීඩාකාරී
”‍නිල රහස් පනත”‍
වහා අහෝසි කරනු!

මාධ්‍ය නිවේදනය
2022 සැප්තැම්බර් 29

මානව විරෝධී, පීඩාකාරී ”‍නිල රහස් පනත”‍ වහා අහෝසි කරනු!

රජය විසින් කොළඹ නගරය තුළ, රජයේ ගොඩනැගිලි, අධිකරණ බල ප්‍රදේශ ආදී වශයෙන් විශාල භූමි ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. කවර රජයක් හෝ මෑත භාගයේ භාවිතා නොකළ ”‍නිල රහස් පනත”‍ අවභාවිත කරමින් මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙන බවට ශ්‍රී ලංකා රජය වෙත බරපතල ලෙස චෝදනා එල්ල වෙමින් තිබේ.

සැප්තැම්බර් 23 දින නිකුත් කළ මෙම ගැසට් පත්‍රය මගින් නම්කර ඇති “අධි ආරක්‍ෂිත කලාප” තුළ ඕනෑම මහජන රැස්වීමක් පැවැත්වීමට පොලිසියේ ලිඛිත අවසරය පැය හයකට පෙර ලබාගැනීම අවශ්‍ය වේ.

මෙම කලාපයන් තුළ සිටින ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසියට පුළුල් බලයක් ඇති අතර, එහිදී අත් අඩංගුවට ගන්නා අයට ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයක් මගින් පමණක් බව සඳහන් කෙරේ. මෙම දැඩි සීමා කිරීම් මගින් ජනතාවට ඇති සාමකාමීව රැස්වීම සහ අදහස් ප්‍රකාශනයේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව අනීතික ලෙස බලය යෙදවීමට රජය පියවර ගනිමින් සිටින බව පැහැදිළිය.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස නීති විරෝධී ලෙස සීමා කරන ලෙස පනවා තිබෙන මෙම නව රෙගුලාසි ඉවත් කරගන්නා ලෙස දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන හා තවත් විවිධ සංවිධාන රජයට බලකරමින් තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් කරමින් කිසිදු සාධාරණ හෝ නීතිමය පදනමකින් තොරව පුරවැසියාගේ නිදහස සැලකිය යුතු ලෙස කප්පාදු කිරීමට රජය උත්සාහ කරන බව සඳහන් කර සිටී. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ මෙම පනත මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කෙරෙන බවකි. මෙම යල් පැනගිය නීතිය ඉවත් කරගන්නා ලෙසට රජයට වැඩිදුරටත් යෝජනාකර තිබේ.

රටවල් 146 ක, මාධ්‍ය සංවිධාන 167න් සමන්විත, ලක්ෂ හයකට අධික ජනමාධ්‍යවේදීන් පිරිසක් සාමාජිකත්වය දරණ ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සමග එකතුවෙමින් මාධ්‍ය සේවක වෘත්තී‍ය සමිති සම්මේලනය භාෂණයේ හා ප්‍රකාශණයේ මූලික මිනිස් අයිතිවාසිකම් නොසළකා හරිමින් ජනතාව වෙත එල්ල කෙරෙන මෙම මානව විරෝධී, පීඩාකාරී පනත වහාම හකුලා ගන්නා ලෙස රජයට බලකර සිටී.

ධර්‍මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්
077 364 1111

ඔබට ගැටළු තිබේද?
අපව අමතන්න,
නැත්නම් පැමිණෙන්න.

+[94] 773 641 111

අංක 30,
අමරසේකර මාවත,
කොළඹ 05.
ශ්‍රී ලංකාව.

info@fmetu.org

Newsletter

Get latest news & update

© 2021 – FMETU. All rights reserved.

Carefully crafted by Cyber Ceylon